ධම්ම චක්කපවත්තන සූත්‍රය සහ මහා චත්තාරීසක සූත්‍රය අතර ඇති සම්බන්දය - II

Poster's name (Optional): 
නයන

පින්වත් කමල්,

“මහණෙනි, යම් කිසි මහණෙක් වේවායි බමුණෙකු වේවායි මේ මහාචත්තාරීසක ධර්ම පර්යාය ගැරහියැ යුතු යැ, බැහැර කළ යුතු යයි සිතන්නේ නම්, දිටුදැමියෙහි මැ (පරා විසින් කී කරුණෙන්) සකාරණ ව ඔහු ගේ වාදානුවාදයෝ දස දෙනෙක් විඥයන් විසින් ගැරහිය යුතු තැනට පැමිණෙත්. ඉදින් භවත් සම්‍යක් දෘෂ්ඨිය ගරහා නම් යම් මැ මිසදුටු ගත් මහණ බමුණු කෙනෙක් ඇත්ද, ඔහු භවතුන් විසින් පූජ්‍යයෝ වෙති. ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙති“

මෙය පහත ආකාරයට අර්ථ ගන්වා ගැනීම උචිත බව මාගේ වර්ථමාන වැටහීමයි.

“මහණෙනි, යම් කිසි මහණෙක් වේවායි බමුණෙකු වේවායි මේ මහාචත්තාරීසක ධර්ම පර්යාය ගැරහියැ යුතු යැ, බැහැර කළ යුතු යයි සිතන්නේ නම්, දිටුදැමියෙහි මැ (පරා විසින් කී කරුණෙන්) සකාරණ ව ඔහු ගේ වාදානුවාදයෝ දස දෙනෙක් විඥයන් විසින් ගැරහිය යුතු තැනට පැමිණෙත්. ඉදින් භවත් සම්‍යක් දෘෂ්ඨිය ගරහා නම් (සකාරණ ව ඔහු ගේ වාදානුවාදයෝ දස දෙනෙක් විඥයන් විසින් ගැරහිය යුතු තැනට නොපැමිණ) යම් මැ මිසදුටු ගත් මහණ බමුණු කෙනෙක් ඇත්ද, ඔහු භවතුන් විසින් පූජ්‍යයෝ වෙති. ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙති“

ඔබට තෙරුවන් සරණයි.
නයන

පින්වත් නයන,

මම කිහිප විටක් ඔබ ලියා ඇති දේ කියවා බැලුවා. නමුත් මට මදක් අපහසු උනා "සකාරණ ව ඔහු ගේ වාදානුවාදයෝ දස දෙනෙක් විඥයන් විසින් ගැරහිය යුතු තැනට නොපැමිණ" යන්නෙන් ඔබ අදහස් කරන ලද අර්ථය කුමක්ද කියා ග්‍රහණය කර ගන්න. මදක් ඒ ගැන පැහැදිලි කරන්න. එවිට ඔබ හරියටම කවර කරුණක් කවර ලෙසකින් දකිනවාද යන්න මට වටහා ගන්න පහසු වේවි.

කමල්

පින්වත් කමල්,

ඉදින් භවත් සම්‍යක් දෘෂ්ඨිය ගරහා නම් (සකාරණ ව ඔහු ගේ වාදානුවාදයෝ දස දෙනෙක් විඥයන් විසින් ගැරහිය යුතු තැනට නොපැමිණ) යම් මැ මිසදුටු ගත් මහණ බමුණු කෙනෙක් ඇත්ද, ඔහු භවතුන් විසින් පූජ්‍යයෝ වෙති. ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙති“
යනු
භාග්‍යවතුන් වහණ්සේගේ මෙම සම්‍යක් දෘෂ්ඨිය වාදයන් දහයක්ම ඉදිරිපත් කරමින් කාරනා සහිතව ප්‍රාඥයන්ගේ ගැරහීමට භජනය නොවී වැරදි බව පෙන්වන මහණ බමුණු කෙනෙක් සිටියි නම්, ඔහුව භාග්‍යවතුන් වහණ්සේගේ පැසසීමට ලක්වන බව.
මෙහි අර්ථය නම්,
භාග්‍යවතුන් වහණ්සේගේ සම්‍යක් දෘෂ්ඨිය කරනා සහිතව ගැරහිය හැකි කෙනෙකු නොමැති බැවින් එසේ භාග්‍යවතුන් වහණ්සේගේ සම්‍යක් දෘෂ්ඨිය ගරහන, භාග්‍යවතුන් වහණ්සේගේ පැසසුමට ලක්වන මහණ බමුණන් නොමැති බවයි.

නයන

පින්වත් නයන,

මම හිතන්නේ ඔබ සිතූ ආකාරය ගැන දැන් මට වැටහෙනවා. පහත අදහස් වලට අනුව මහාචත්තාරීසක සූත්‍රයේ එම කොටස විමසා බලන්න:

"ඔහු ගේ වාදානුවාදයෝ දස දෙනෙක්" යන සඳහනේ දහයක් ලෙස කියවෙන්නේ සම්‍යග්දෘෂ්ටිය, සම්‍යග්සඞ්‌කල්ප,... සම්‍යක්විමුක්ති යන කරුණු දහය ගැන අදාල පුද්ගලයාගේ වාදානුවාදයෝ දහයයි.

යම් මහණෙක් හෝ බමුණෙක් මහාචත්තාරීසක ධර්ම ක්‍රමය ගැරහිය යුතුය, බැහැර කල යුතුය යැයි සිතන්නේ නම්, ඔහුගේ එම සම්‍යග්දෘෂ්ටිය, සම්‍යග්සඞ්‌කල්ප,... සම්‍යක්විමුක්ති යන කරුණු දහය පිළිබඳ එකකට එක බැගින් වන වාදානුවාදයන් දහය මෙලොවදීම විඥයන් විසින් ගැරහෙන තැනට පැමිණෙනවා.

කොහොමද විඥයන් විසින් ගැරහෙන්නේ?

සම්‍යග්දෘෂ්ටිය ගැන එම පුද්ගලයාගේ වාදානුවාදයට අදාළව විඥයන් ඔහුව මේ ආකාරයෙන් ගරහනවා: "ඔබ සම්‍යග්දෘෂ්ටිය ගරහනවා නම් යම් මිසදිටු මහණ බමුණෙක් ඇත්නම් ඔබ එම මිසදිටු මහණ බමුණාට පූජා කරනවා, ඔබ එම මිසදිටු මහණ බමුණාව පසසනවා.".

සම්‍යග්සඞ්‌කල්ප ගැන එම පුද්ගලයාගේ වාදානුවාදයට අදාළව විඥයන් ඔහුව මේ ආකාරයෙන් ගරහනවා: "ඔබ සම්‍යග්සඞ්‌කල්ප ගරහනවා නම් යම් මිත්‍යාසඞ්‌කල්ප ඇති මහණ බමුණෙක් ඇත්නම් ඔබ එම මිත්‍යාසඞ්‌කල්ප ඇති මහණ බමුණාට පූජා කරනවා, ඔබ එම මිත්‍යාසඞ්‌කල්ප ඇති මහණ බමුණාව පසසනවා.".

...

සම්‍යග්විමුක්ති ගැන එම පුද්ගලයාගේ වාදානුවාදයට අදාළව විඥයන් ඔහුව මේ ආකාරයෙන් ගරහනවා: "ඔබ සම්‍යග්විමුක්ති ගරහනවා නම් යම් මිත්‍යාවිමුක්ති ඇති මහණ බමුණෙක් ඇත්නම් ඔබ එම මිත්‍යාවිමුක්ති ඇති මහණ බමුණාට පූජා කරනවා, ඔබ එම මිත්‍යාවිමුක්ති ඇති මහණ බමුණාව පසසනවා.".

ඉහත පරිදි මහාචත්තාරීසක සූත්‍රයේ එම කොටස විමසා බලා මෙම අර්ථය සහ ඔබ සිතූ අර්ථය ගැන ඔබට හිතෙන දේ සඳහන් කරන්න.

කමල්

පින්වත් කමල්,

"ඉදින් භවත් සම්‍යක් දෘෂ්ඨිය ගරහා නම්‍" යන්නෙහි "භවත්" යනු "භාග්‍යවතුන් වහණ්සේගේ" යන අර්තය නොව "ඔබ" යන අර්තය ඇති බවත් පාලි භාෂාව දන්නා විද්වතුගේ අර්ථ දැක්වීමද වෙයි.

එලෙස ගැනීමේ දී ඔබගේ අර්ථ දැක්වීම නිවැරදි බවත්, මාගේ අර්ථ දැක්වීම වැරිදි බවත් සඳහන් කරනු කැමැත්තෙමි.

තවද මෙම නිවැරදි කිරීම හමුවේ ඔබගේ දායකත්වය ඉතා අගය කොට සලකමි.

ඔබට තෙරුවණ් සරනයි.
නයන

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.