මඟඵල (මාර්ගඵල) ලාබීහු නම් කවරෙක් ද?

Poster's name (Optional): 
සුනෙත් නානායක්කාර

මා හිතවත් කමල් මහතානනි,

මා අසා ඇති ආකාරයට (වැරදි නමි නිවැරදි කිරිමට යටත්ව) මගඵල නම් සෝවාන්, සකර්දාගාමී, අනාගාමී, අරිහත් නම්වේ. යමෙක් මින් කවර හෝ තලයක පිහිටත් ද , සපැමිනෙන්නේද ඔහු හෝ ඇය මගඵල ලාබීන් නමිවේ.
යමෙක් (ගිහි හෝ පැවිදි) මගඵල අරමුනු කොටගෙන පංච සීල‍යේ (අවම වශයෙන්) හැසිරෙමින් ධර්ම මාර්ගයේ ගමන් කරත්ද ඔහු හෝ ඇය ආර්ය ශ්රාඅවකයෙක්යැයි කියනු ලැබෙි.

මටද එලෙසම මෙහි සමිබන්ඳ වන තවත් බොහෝ දෙනාගේ හිත සුව පිණිස මෙය විග්රහකරන ලෙස ඉල්ලා සිටිමි ෴

පින්වත් සුනෙත්,

සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ සිංහල පරිවර්තනයේ "මාර්ග ඵල" යන වචනය නොයෙක් තැන් වල භාවිතා වී ඇති බව මම දැක තිබෙනවා. නමුත් පාලියෙන් "මග්ග ඵල" වැනි වචන භාවිතයක් ත්‍රිපිටකයේ දැකපු බවක් මට මතක නැහැ. ඒ මම පාලියෙන් ඇති දේ බොහොම සුළුවෙන් කියවා ඇති නිසා හෝ "මාර්ග ඵල" යන වචන පාලියෙන් ඇති දේ සිංහලට පරිවර්තනය කිරීමේදී භාවිතා කර ඇති වචන නිසා වෙන්න පුළුවන්. කෙසේ නමුත් "මාර්ග ඵල" යන්න වැරදිව භාවිතා වන බවක් පෙනෙන්නේ නැහැ. පාලි සූත්‍ර වලට අනුවම එය සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, ..., සම්මාසමාධි යන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමේ ඵලයන් වන සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අරහත් ඵලයන් ලෙස තේරුම් ගත හැකියී. මෙසේ වටහා ගැනීම සඳහා සංයුත්‌ත නිකායේ මහා වග්ගයේ මග්ග සංයුක්තයේ පටිපත්‌ති වග්ගයේ සාමඤ්‌ඤ සූත්‍රය බලන්න. මෙම සාමඤ්‌ඤ සූත්‍රයේ සහ ඊට පසුව ඇති බ්‍රහ්‌මඤ්‌ඤ සූත්‍රයේ මෙම ඵල හතර ගැන සඳහන් වෙනවා. සාමාඤ්ඤං (හෝ බ්‍රහ්මඤ්ඤං) යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයම යැයි මෙම සූත්‍රයේ සඳහන් නිසා "මාර්ග ඵල" යනු සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අරහත් ඵලයන් යැයි වටහා ගැනීමේ ගැටළුවක් මම දකින්නේ නැහැ. සමහරක් විට පාලියෙන්ම මෙම කරුණු "මග්ග ඵල" ලෙසින් වෙනයම් තැනක තිබෙන්නත් පුළුවන්.

විශේෂයෙන්ම සංගීති සූත්‍රයේ (මෙම සූත්‍රය බොහෝම වැදගත් සූත්‍රයක් - ඒ කවර නිසාදැයි එම සූත්‍රය කියවා වටහා ගන්න) මෙම ඵල හතර දක්වා ඇත්තේත් "චත්තාරි සාමඤ්‌ඤඵලානි" ලෙසින්.

ඉතින් යමෙක් මාර්ග ඵල ලෙස පැවසුවත්, සතර මාර්ග ඵල ලෙස පැවසුවත් ඒ කියවෙන්නේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමේ ඵලයන්ටයි. සංගීති සූත්‍රයට අනුව ඒවා එසේම යැයි පිළිගත යුතු, ඒ ගැන වාද විවාද කරන්න සුදුසු නැති කරුණු.

මීට අමතරව යමෙකුට "මාර්ග ඵල" යන්න වෙනත් කරුණු වලටත් භාවිතා කල හැකි බවකුත් තිබෙන බවක් පෙනෙනවා. මා එසේ පවසන්නේ "සාමඤ්‌ඤඵල" යන්න දීඝ නිකායේ සාමඤ්‌ඤඵල සූත්‍රයේ යෙදී ඇති ආකාරය නිසා. මෙම සූත්‍රයේ කරුණු ගනනාවක් සාමඤ්‌ඤඵල ලෙස දැක්වෙනවා. මේ නිසා සෝවාන්, සකෘදාගාමී, අනාගාමී හා අරහත් ඵලයන් "මාර්ග ඵල" ලෙස අප භාවිතා කලත්, ඒ ගැන වාද විවාද නොකලත් වෙනත් කරුණු වලටත් මෙම වවන භාවිතා කල හැකි බව අප තේරුම් ගන්න ඕනෑ. කියන්නාත්, අසන්නාත් දෙදෙනාම මේ ආකාරයට තේරුම් ගෙන වචන භාවිතා කරොත් පටලවාගැනීමකින් තොරව දහම් දෙසන්නත් පුළුවන්, දහම් අසන්නත් පුළුවන්.

ඉතින් මෙම සතර ඵලයන් ලැබූ අය මාර්ග ඵල ලාභීන් ලෙස සැලකීම ඉහත දැක්වූ සාමඤ්‌ඤ සූත්‍රයට අනුවත්, සංගීති සූත්‍රයට අනුවත් සුදුසු බවක්ම තමයි මම දකින්නේ.

බුදු පියානන් නොයෙක් ආකාරයන්ට පුද්ගලයින්, පිරිස් බෙදා දක්වා තිබෙනවා. එක් බෙදීමක් නම් ආර්ය සහ අනාර්ය පිරිස් නම් කවුරුන්ද යන්නයි. ඒ ගැන අංගුත්තර නිකායේ දුක නිපාතයේ පරිස වග්ගයේ චතුත්ථ සූත්‍රයේ දැකිය හැකියී. එහි ආර්ය ශ්‍රාවකයා යන පද යෙදුම සඳහන් නැහැ. නමුත් ආර්ය පිරිස ගැන පැහැදිලි කර ඇති අයුරින් ආර්ය යන වචනය මෙම ස්ථානයේ භාවිතා කර ඇත්තේ හුදෙක් ශ්‍රාවක භික්ෂූන් වහන්සේ නමක් හෝ ශ්‍රාවක භික්ෂුනීන් වහන්සේ නමක් හෝ ශ්‍රාවක උපාසකයෙක් හෝ ශ්‍රාවක උපාසිකාවක් ගැන හැඟවීමට නොවෙයි. මෙහි දැක්වෙන අයුරින් ආර්ය පිරිස යැයි සඳහන් වන්නේ ඉහත දැක්වූ මාර්ග ඵල ලාභීන්ටමයි. මම එසේ පවසන්නේ ආර්ය පිරිස දුක, දුඃඛසමුදය, දුඃඛනිරෝධය හා දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාව යන්න "තත් වූ පරිදි දනිත් (යථාභූතං පජානන්ති)" ලෙසින් මෙම සූත්‍රයේ සඳහන් වන නිසා. මෙම සූත්‍රයේ "ආර්ය පිරිස" ගැන ඇති පැහැදිලි කිරීම "ආර්ය පුද්ගලයා" යනු කවරෙක්දැයි වටහා ගැනීමටත් එකසේම ප්‍රයෝජනවත්. එයට හේතුව නම් "පිරිස" සහ "පුද්ගලයා" යන වචන වල ඇති එකම වෙනස නම් එකක් බහු වචනත්, අනෙක ඒක වචනත් වීමයි.

මීට අමතරව මටත් එතරම් පැහැදිලි නැති කරුණක් සංයුක්ත නිකායේ ඛන්ධක වග්ගයේ ඔක්කන්ති සංයුක්තයේ චක්ඛු වග්ගයේ චක්ඛු සූත්‍රයේ සඳහන් වෙනවා. මෙම සූත්‍රයට අනුව සද්ධානුසාරී සහ ධම්මානුසාරී පුද්ගලයින් සම්මතනියාම ලෙස සත්පුරුෂ භූමියට පැමිනුන පෘතග්ජන ස්වභාවය ඉක්මවූවන් ලෙස කියවෙනවා. අන් සූත්‍ර සමඟ සැසදීමේදී මෙම සද්ධානුසාරී සහ ධම්මානුසාරී පුද්ගලයින් ආර්ය පුද්ගලයින් ලෙස නොසැලකෙන බවයි මට වැටහෙන්නේ. නමුත් මෙම චක්කු සූත්‍රයේ සඳහන් සම්මතනියාම යන වචනයේ කවර අරුතක් ඇත්ද යන්න සහ පෘතග්ජන ස්වභාවය ඉක්මවූවන් ලෙස සඳහන්ව පැවතීමත් යන කරුණු මමත් පසුව පැහැදිලි ලෙස තේරුම් ගන්න ඕනෑ. සමහරක් විට මෙයින් කියවෙන්නේ සද්ධානුසාරී සහ ධම්මානුසාරී පුද්ගලයින් නියත ලෙසින්ම ආර්ය නොවූවත් ඔවුන් පෘතග්ජනයින් මෙන් හැසිරීමෙන් ඉවත්ව කටයුතු කරන පිළිවෙතකට එලඹ ඇති බව විය හැකියී (එනිසා විය හැකියී සම්මතනියාම යන වචනය භාවිතා කර ඇත්තේ).

නමුත් "ආර්ය ශ්‍රාවක" යන පද යෙදුම නම් මාර්ග ඵල ලැබූ අය ගැන සඳහන් කිරීමට පමනක්ම භාවිතා වී නොමැති බවක් තමයි මගේ මතකයේ තියෙන්නේත්. මීට අමතරව "බුද්ධ ශ්‍රාවක", "සම්මා සම්බුද්ධ ශ්‍රාවක" යන වචනත් සිංහලෙන් සහ අනුරූප පාලියෙන් ත්‍රිපිටකයේ භාවිතා වී තිබෙනවා. මෙම "ආර්ය ශ්‍රාවක" යන වචන භාවිතය සූත්‍ර බොහෝමයක මාර්ග ඵල ලැබූවන් ගැන විස්තර කිරීම් වල යෙදී ඇති අයුරු දැකිය හැකියී. 100%ක් නිවැරදිව "ආර්ය ශ්‍රාවක" යන වචනය භාවිතා වන්නේ මාර්ග ඵල ලැබූ සහ නොලැබූ සම්මා සම්බුදු රජානන් වහන්සේගේ සියළු ආකාරයේ ශ්‍රාවකයින් හැදින්වීමට යැයි පැවසීමට මට නොහැකියී (මෙම වචන භාවිතය ගැන මම එතරම් ගැඹුරින් විමසා, පරික්ෂාකාරීව සූත්‍ර අධ්‍යයනය කර නොමැති නිසා). නමුත් බොහෝ සෙයින් එසේ සිතීම නිවැරදි අයුර විය හැකි බවක් තමයි මම දකින්නේ. උදාහරනයකට අංගුත්තර නිකායේ ඦක්ක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ ආහුනෙය්‍ය වග්ගයේ මහානාම සූත්‍රයේ "අරියසාවකෝ ආගතඵලෝ... (ආර්ය ශ්‍රාවකයෙක් ප්‍රාප්ත ඵල ඇතියේ...)" ලෙසින් සඳහන් වෙනවා. එසේ නම් ප්‍රාප්ත ඵල නොමැති ආර්ය ශ්‍රාවකයින් සිටීමට හැකියාවක් (ප්‍රාප්ත ඵල නොලැබූවන් හඟවන අරුතින් "ආර්ය ශ්‍රාවක" යන වචන භාවිතා කිරීමට හැකියාවක්) තිබෙන බවට ඉඟියක් මෙයින් ලැබෙනවා. නමුත් මෙපමණකින් අවසාන නිගමනයකට එන්න අමාරුයි. උදාහරණයකට සංයුක්ත නිකායේ මහාවග්ගයේ සෝතාපත්ති සංයුක්තයේ පුඤ්ඤාභිසන්ද වග්ගයේ අභිසන්ද සූත්‍රය බැලුවොත් එහි පැවසෙන්නේ සිව් සෝවාන් අංගයන් ගැනයි (එනම් අඩුතරමින් සෝවාන් පුද්ගලයෙක්වත් වෙන්න ඕනෑ මෙම ගුණාංගයන් පිහිටන්න). නමුත් මෙම සූත්‍රය හොදින් විමසා බැලුවොත් ආර්ය ශ්‍රාවකයෙක් මෙම ගුණාංගයන්ගෙන් යුක්තම යැයි (එනම් අඩුතරමින් සෝවාන් පුද්ගලයෙක් යැයි) පැවසීමට මෙම සූත්‍රය ප්‍රමාණවත් වන්නේ නැහැ. මෙම සූත්‍රයෙන් පැහැදිලිවම වටහාගත හැක්කේ සිව් සෝවාන් අංගයන් යනු (එකක් වුවත්) සැපයට ප්‍රත්‍යවන පුණ්‍යනදී, කුශලනදී බවයි.

තවත් "ආර්ය ශ්‍රාවක" යන වදන් පෙළ භාවිතා වන්නේ අඩු තරමින් සෝවාන් ඵල ලාභියෙකුට යැයි ඉඟි කෙරෙන සූත්‍රයක් තමයි සංයුක්ත නිකායේ මහාවග්ගයේ සෝතාපත්ති සංයුක්තයේ පුඤ්ඤාභිසන්ද වග්ගයේ නන්දිය සූත්‍රය. මෙහිදී බුදු පියානන් වහන්සේ "අරිසවුතෙමේ කෙසේ නම් පමා විහරණ ඇත්තේ වේද යත්..." ලෙසින් පවසා පමා විහරණ ඇති අර්ය ශ්‍රාවකයා ගැන විස්තර කරන විට එම පමා විහරණ ඇති ආර්ය ශ්‍රාවකයාගේ පවත්නා ගුණාංගයන් ලෙස දක්වා ඇත්තේ සිව් සෝවාන් අංගයන්මයි.

ඉහත දැක්වූ ආදී කරුණු නිසා 100% නිවැරදිව "ආර්ය ශ්‍රාවක" යන පද භාවිතය මාර්ග ඵල ලැබූවන් ගැන පමණක් සඳහන් කිරීමට භාවිතා කරනවාද, නොඑසේනම් මාර්ග ඵල නොලැබූ ශ්‍රාවකයින් ගැනත් සඳහන් කිරීමට භාවිතා කල හැකිදැයි පැවසීමට මට තවම අවබෝධයක් නැහැ.

කෙසේ නමුත් සම්මා සම්බුද්ධ ශාසනයේ සතර ආකාර ශ්‍රාවකයින් වන භික්ෂූ, භික්ෂුනී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසෙන් උපාසක බව (හෝ උපාසිකා බව) ලැබීම යනු කවර නිර්නායකයක් (හෝ නිර්නායක) මත තීරණය කල හැකිදැයි පැහැදිලිව සඳහන්. මේ සඳහා සංයුක්ත නිකායේ මහාවග්ගයේ සෝතාපත්ති සංයුක්තයේ පුඤ්ඤාභිසන්ද වග්ගයේ මහානාම සූත්‍රයත්, අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ගහපති වර්ගයේ මහානාම සූත්‍රයත් කියවා බලන්න. සූත්‍ර දෙකම බෙහෙවින්ම එකම වාගේ පෙනුනාට ඒවායේ වෙනස් කරුණුත් අඩංගුයි. මේ අනුව ශ්‍රාවක උපාසකයෙකු (හෝ උපාසිකාවක) වීමේ අවම නිර්නායකය නම් තිසරණ සරණ ගිය බවයි. ඊට වඩා උසස් තත්වයක් වන සීල සම්පන්න උපාසකයෙකු යැයි කීමට නම් ප්‍රාණ ගාතයෙන්, හොරකම් කිරීමෙන්, කාමයෙහි මිහිහසරෙහි යෙදීමෙන්, බොරු කීමෙන් හා රහමෙර මත්පැන් භාවිතයෙන් වැළකුණු අයෙකු වෙන්න ඕනෑ. මෙම කරුණු එකවර පංච ශික්ෂා පද (පන් සිල් පද) සමඟ පටලවා ගන්න එපා (සීලය නම් ගුණයක් සහ ශික්ෂා පද නම් ගුණයක් ඇතිකරගැනීම පිණිස හික්මෙන ක්‍රමයකට අදාල දෙයක්). පංච ශික්ෂා පදයන්ගේ භාවිතා වන්නේ "වෙරමණී" යන වචනය. මෙහි දැක්වූ මහානාම සූත්‍ර වල භාවිතා වන්නේ පංච ශික්ෂා පදයන්ට අනුරූප කරුණු නමුත් පාලියෙන් භාවිතා කර ඇත්තේ "පටිවිරතෝ හෝති" ලෙසින්. "වෙරමණී" යන වචනය "වැළකෙන" ලෙසිනුත්, "පටිවිරති" යන වචනය "වැළකුණු" ලෙසිනුත් සමහර තැන්වල සිංහලට නගා තිබෙනවා. මෙම "පටිවිරති" නම් වචනය භාවිතා වී ඇති වෙනත් ස්ථානත් බැලුවොත් (උදා: මහාචත්තාරිසක සූත්‍රය, මහාධම්මසමාදාන සූත්‍රය) මෙය "වෙරමණී" යන ස්වභාවයට වඩා උසස් වූ, ඉන් ඔබ්බට ගිය ස්වභාවයක් දක්වන බව පෙනෙන්න තිබෙනවා. මහාචත්තාරිසක සූත්‍රයේ ආස්‍රව සහිත වූ, පුණ්‍යභාගික (පින් ඇති කරන කරුණු වලට, පාර්ශවයට අයත්) වූ, මත්තෙහි සැප විපාක ලබාදෙන කරුණු සදහන් කරන විට "වෙරමණී" යන වචනය භාවිතා වී ඇති අතර ආර්ය වූ, අනාස්‍රව වූ, ලෝකෝත්තර මාර්ග අංග දක්වන විටයි "පටිවිරති" යන වචනය භාවිතා වී ඇත්තේ (ආරති, විරති, පටිවිරති, වෙරමණී ලෙසින්). මේ අනුව සීල සම්පන්න උපාසකයෙක් යනු ප්‍රාණ ගාතයෙන්, හොරකම් කිරීමෙන්, කාමයෙහි මිහිහසරෙහි යෙදීමෙන්, බොරු කීමෙන් හා රහමෙර මත්පැන් භාවිතයෙන් "වැළකෙණ අයෙක්" යන ප්‍රමාණය ඉක්මවන ලද අයෙක්. ආරති, විරති, පටිවිරති, වෙරමණී යන වචන හතරෙන් පටිවිරති යන වචනය වෙන්කොට එහි තේරුම හරියටම තෝරාදෙන්න මෙම අවස්ථාවේ මම අසමර්ථ උනත් ආරති, විරති, පටිවිරති, වෙරමණී යන සියළු වචන භාවිතා කර ප්‍රාණ ගාතය, හොරකම් කිරීම, කාමයෙහි මිහිහසරෙහි යෙදීම, බොරු කීම හා රහමෙර මත්පැන් භාවිතය යන අකුසලයන්ගෙන් වෙන්වූ අයෙකු දක්වනවා නම් ඒ දක්වන්නේ අනායාසයෙන්ම සිල්වත් බව රැකෙන මට්ටමට ගොඩනගාගත් උසස් වූ සීලමය ගුණයක්, සීලමය ස්වභාවයක් ඇති අයෙක්වයි. එම කරුණු කෙරෙහි කැමැත්තක් හෝ රාගයක් ඇති නොවන සුළු, ඊට ඇති උවමනා බවක් නොමැති (ඉන් මිදුණු), ඊට ඇති උවමනා බවකින්වත් තමන්ම තමාව නොපෙලා ගන්නා, එවන් කරුණු වල නොයෙදීමෙන්ම සතුටු සිත් ඇති ස්වභාවයෙන් යුත් උසස් සීලමය ගුණයෙන් යුතු අයෙකු ගැනයි එම වචන වලින් කියවෙන්නේ. පන්සිල් පද සමඟ සැසදීමේදී "හික්මෙන" යන්න වෙනුවට "මනා සේ හික්මුණු" අයෙකු ගැනයි පටිවිරති යන වචනය භාවිතා කර උපාසකයෙකු කෙතෙකින් සීල සම්පන්න වන්නේදැයි යන ප්‍රශ්නයට පිළිතුරු ලෙස බුදු පියානන් පවසා ඇත්තේ.

ඉතින් ඉහත දැක්වූ මහානාම නම් සූත්‍ර දෙකට අනුව සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවක බවේ අවමය කුමක්ද යන්නත්, සිල්වත් උපාසකයෙක් කවරාකාරදැයි යන්නත් පැහැදිලි කර ගන්න පුළුවන්. මීට අමතරව එම සූත්‍රවල උපාසකයෙක් කොපමනකින් ශ්‍රද්ධාවන්ත, ත්‍යාගවන්ත හා ප්‍රඥාවන්ත වන්නේද යන්නත්, කොපමනකින් උපාසකයෙක් තමන්ට හිත පිණිස කටයුතු කරමින් අනුන්ට හිත පිණිස කටයුතු නොකරන්නේද යන්නත්, තමන්ට හිත පිණිස කටයුතු කරමින් අනුන්ට හිත පිණිසත් කටයුතු කරන්නේද යන්නත් ගැන සඳහන්.

සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවක බවේ අවමය මෙපමණකිනුයි දැන ගෙන මමත් එතන ඉන්නවානේ යැයි යමෙක් සතුටුවී එපමණන ප්‍රමානවත්යැයි සිතා පමාවීම නම් කොහෙත්ම සුදුසු දෙයක් නොවෙයි. එසේ පමාවීම දුක් බව පිණිසමයි පවතින්නේ. ඒ නිසා නොපමාව වීර්ය ඇතිකරගන්න උවමනායි, කටයුතු කල යුතුයි සම්මා සම්බුද්ධ ශාසනයේ නොඅත්වින්ද නිර්වාණය ලඟා කර ගන්න. එසේ නැතිව මම නම් දැන්උපාසක හෝ මම නම් දැන් උපාසිකා යැයි සතුටුවෙන්න ගියොත් ඒ අඩු වටිනාකමක් ඇති ලේබලයක් අලවාගෙන සතුටුවීමක්මයි. එයත් යහපත් තමයි, එයත් සුව පිනිස වන කරුණක්ම තමයි, නමුත් එයිට වඩා ගොඩක් යහපත් දේ, සුව පිණිස වන දේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පවතිනවා. මැරෙන්නත් කලින් දැන් දැන් ලබාගන්න, වහ වහා අත්විදින්න පුළුවන් සුවයන් පවතිනවානම් දහම්හි බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව වැඩි දියුණු කරගන්න ගමන් එම ධර්ම ප්‍රතිපත්තියේ යෙදී එම දැන් දැන් ලබාගන්න පුළුවන්, වහ වහා අත්විදින්න පුළුවන් සුවයන් වැඩි වැඩියෙන් අත්කර ගැනීමම තමයි කල යුත්තේ.

තවත් කිව යුතු දෙයක් තිබෙනවා. එය නම් මේ කාලේ තිසරණ සරණ යනවා යැයි කියන්නේ කුමක්දැයි කියන එකත් සමහරුන්ට ගැටළුවක් වීමයි. වචන මාත්‍රික ශ්‍රාවක උපාසක, ශ්‍රාවක උපාසිකාවන් තමයි දැන් බොහෝ ඉන්නේ. ඔවුන්ට බුදු පියානන් මෙසේ පවසා ඇතැයි පැහැදිලි ලෙසින් යම් සුභාෂිතයක් ගෙන හැර දැක්වුවත් අඩු තරමින් අහන්නවත් කැමැත්තක් නැහැ. සමහරු බුදු පියානන් එසේ පවසා තියෙනවා තමයි, නමුත් එම බුදු සමිදුන්ගේ ශ්‍රාවකයින් වන අපි මේ ආකාරයයි පිළිගන්නේ යැයි එහෙම් පිටින්ම බුදු පියානන් පැවසූ සුභාෂිතයන්ට ප්‍රිතිවිරුද්ධ දේ පිළිගන්නවා, එවන් ප්‍රතිපත්ති වල යෙදෙනවා. එවන් පිරිස් තිරසණ සරණ ගිය අය ලෙස සැලකීමට හේතුවක් නැහැ. එතෙකින් එවන් අය සම්මා සම්බුද්ධ ශාසනයෙන් පිටස්තර නමුත් නාම මාත්‍රිකව සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයින්. පුද්ගලයෙක් කවර ආකාර දෙමව්පියන්ට දාව ඉපදුනත් උපතින් සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෙකු වන්නේ නැහැ. තිසරණ සරණ යෑමට ඇති කැමැත්ත බුද්ධ දේශනාව අනුව උපාසක (උපාසිකා) බව සනිටුහන් කරන්නේ නැහැ, එය ප්‍රමානවත් නැහැ (ඉහත දැක්වූ මහානාම සූත්‍ර බලන්න). තිරසණ සහිත පන්සිල් කියවීමත් උපාසක බවට ප්‍රමාණවත් කරුණක් නොවෙයි. තිරසණ සරණ යෑමට ඇති කැමැත්ත සනිටුහන් කරන්නේ උපාසක (උපාසිකා) වීමට ඇති කැමැත්ත පමණයි. ඉතින් මෙලෙස විමසා බලන විට ඔබට වැටහේවි මේ කාලයේ සම්මා සම්බුද්ධ ශාසනයේ උපාසක, උපාසිකා යැයි බොහෝ දෙනා සිතා සිටින්නේ කාලයට අනුකූල සමාජ සම්මතයකට මිස ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අවම ලෙසින්වත් වන උපාසක, උපාසිකා බවකට නොවන බව. උපාසක, උපාසිකාවන් වන පිරිස දැන් ඉන්නේ බොහෝම අල්ප ප්‍රමානයයි. අන් අය තිසරණ සරණ යන්නේ යැයි තම තමන් සම්මත කරගත් ("තිසරණ සරණ ගිය" නොවන) වචන මාත්‍ර උපාසක, උපාසිකාවන් පමණයි. ඉතින් මෙවන් අය තිසරණ සරණ යෑම නම් කුමක්ද, වෙන වෙන සරණ යෑම නම් කුමක්දැයි හොදින් විමසා බලා නිවැරදි බවට පැමිනෙනවානම් එය එම පුද්ගලයින්ටත්, අන් අයටත් බොහෝම ඵලවත් කරුණක්.

කමල්

සැලකිය යුතු වෙනස් කිරීම්:
2015 පෙබරවාරි 6: පටිවිරති යන වචනය භාවිතා වී ඇති අයුර ගැන විස්තරය පෙරට වඩා පැහැදිලි ලෙස වැටහෙන පරිදි එම ඡේදය වෙනස් කරන ලදී.
 

“තථාගතප්‌පවෙදිතො ධම්‌මවිනයො, භික්‌ඛවෙ, විවටො විරොචති, නො පටිච්‌ඡන්‌නො.”
( තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘත වූයේ බබලයි. වැසුනේ නො බබලයි.)

පින්වත් සුනෙත්,

මේ දැක්වෙන්නේ ආර්යශ්‍රාවක යන වදන සෝවාන් නොවූ අය හැඟවීමටත් භාවිතා කරන බවට තවත් සාක්කියක්:

"මහණෙනි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ මේ ... දනී ද, ... සෝවන් වූ අරිසවය යැයි කියනු ලැබේ යි" - සංයුක්ත නිකාය, ඛන්ධක වග්ගය, ඛන්ධ සංයුක්තය, අන්ත වග්ගය, සෝතාපන්න සූත්‍රය (1.3.1.5)

මෙහි "යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ..." ලෙස සදහන් බැවින් එයින් හැඟවෙන්නේ සෝවාන් බව නොලැබූ අයටත් ආර්යශ්‍රාවක යන යෙදුම භාවිතා කරන බවක්.

කමල්

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.