සෝවාන් වූ බව ප්‍රසිද්ධියේ පැවසීම සුදුසුද?

විශේෂ සටහන: (2017 Apr 21) පහත සාකච්ඡාවේදී මා (කමල් වික්‍රමනායක) විසින් සඳහන් කර ඇති සමහර කරුණු නිවැරදි නොවේ. වැරදී කරුණු ගැන වැඩි විස්තර මද කලෙකින් පැහැදිලි කෙරෙනු ඇත.

Poster's name (Optional): 
සුධීර

පින්වත් කමල් මහතානෙනි,

සෝවාන් වු භික්ෂුවක් හෝ සෝවාන් වු ගිහියෙක් ප්‍රසිද්ධියේ තමන් සෝවාන් බව ප්‍රකාශ නොකරන්නේ යයි මතයක් අප සමාජයේ තිබේ. මේ මතය ධර්ම -විනයට එකඟද?. එහි පදනමක් තිබේද?

පින්වත් සුධීර,

1) බුදු පියානන් වහන්සේ යම් පුද්ගලයෙක් සෝවාන් වී නම් ඒ බව අන් අයට පවසන්නම යැයි කියා නැහැ. එසේම නොපවසන්නම යැයි කියාත් නැහැ. බුදු පියානන් පවසා ඇත්තේ එම පුද්ගලයා කැමතිනම් තමන් සෝවාන් යැයි පැවසිය හැකි බව.

උදාහරණයකට දහම් කැඩපත නම් ධර්ම ක්‍රමය ගැන සදහන් ගිඤ්ජකාවසථ සූත්‍රය බලන්න:
http://thripitaka.org/view/sp/sp11p2/184

මීට අමතරව මෙම සූත්‍රය ආසන්නයේ ඇති තවත් සූත්‍ර බොහෝමයක මේ බව සඳහන් වෙනවා. වෙනත් තැන් වල ඇති සූත්‍ර බොහෝමයකත් මේ ගැන මේ අයුරින්ම (එනම් "... තමා කැමති වන්නේ මම ක්ෂය වූ නිරය ඇත්තෙමි, ..." ආදී ලෙස) සඳහන් වෙනවා.

මේ නිසා කීම හෝ නොකීම ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත මත සිදුකෙරන දෙයක්.

2) විනය පිටකයෙහි මීට යම් පමණක් අදාල නමුත් වෙනයම් කරුණු නම් සඳහන් වෙනවා. එක් කරුණක් නම් තමා තුල නොමැති මෙවන් උතුම් මිනිස්දම් තමා තුල තිබෙනවා යැයි පැවසීම මහණදම් පුරණ අයගේ විනය කැඩීමක් බව. මෙම පූර්ණ විස්තරය ඔබට මෙතනින් කියවා බැලිය හැකියී:
http://thripitaka.org/view/vp/vp1/218

අදාල බුදු පියානන් වහන්සේගේ ශික්ෂා පද පැනවීම මෙම ස්ථානයේ සඳහන්:
http://thripitaka.org/view/vp/vp1/224

එසේම අධිමානය නිසා යමෙක් තමා තුල නොමැති උතුම් මිනිස්දම් තමා තුල තිබෙනවා යැයි පැවසීම විනය විරෝධී නොවන බව තවත් ශික්ෂා පදයක සඳහන් (මෙහිදී එම පවසන පුද්ගලයා තමාගේ අනවබෝධයක් නිසයි පවසන්නේ, නැත්නම් අන් අයට බොරුවක් කියනවා යැයි සිතා නොවෙයි):
http://thripitaka.org/view/vp/vp1/226

3) තවත් කරුනක් අංගුත්තර නිකායේ දුටු හත්ථකාළවක සූත්‍රයෙන් සඳහන් කරන්න කැමතියී. මෙය ඇති ස්ථානය:
http://thripitaka.org/view/sp/sp16/136

මෙහිදී බුදු පියානන් හත්ථකාළවක කුමරු තමා තුල ඇති ගුණ දහම් අන් අය නොදැන ගැනීම ප්‍රිය කිරීම - එනම් හත්ථකාළවක කුමරුගේ අල්පේච්ඡතාව අගය කිරීමක් කර තිබෙනවා.

අල්පේච්ඡතාව වටිනා ගුණාංගයක්. මෙය නැති වූ විට මානය ඉස්මතු වෙනවා. මානය නිවන් මගේ යෑමට ගැටළු ඇති කරනවා. සමහරක් දේවල් හරිම සියුම්. උදාහරණයකට සෝවාන් ඵලය නොලැබූ උපාසකයෙක් උවත් තමා පන්සිල් රකිනවා, අන් අය පන්සිල් රකින්නේ නැහැ යැයි හිතමින් තමාගේ සීලය නිසා තමා උසස් ලෙසින් හිතුවොත් ඉන් ඇතිවන මානය නිසාම නොදැනීම සියුම්ව සිල් නොරකින්නන් කෙරෙහි ද්වේෂය ඇතිකරගන්නවා. තවත් උපාසකයෙක් තමා හොදින් වාග් සංවරයක් ඇතිකරගෙන ඉන්නවා, අන් අය නම් කතා බහ වැඩි අය ලෙස හිතමින් තමාගේ ගුණය පිළිබඳ මානයක් ඇති කර ගත්තොත් අන් අය කතා කරනවා ඇසුන ගමන් ද්වේෂය ඇතිවිය හැකියී. ඉතින් මෙසේ සියුම් ලෙස වන තෘෂ්ණාවේ පෝෂණයත් තමාට අහිත පිනිසමයි පවතින්නේ. නොදැනිම තමා තුල ද්වේෂය නිසා කිපීමක් වර්ධනය වීමෙන් දහම් අවබෝධයේ අභිවෘද්ධිය හරි හැටි සිදු නොවීමට, ඊට බාධා වීමට පුළුවන්.

යමෙක් සෝවාන් ඵල ලැබූවා නම් අන් අය පහත් යැයි නොසිතා, මානයෙන් මත් නොවී කටයුතු කිරීම තමාගේ අනාගත අභිවෘද්ධියට හේතුවක්. මෙය සෝවාන් ඵල ලැබුවෙකුට විශේෂයෙන් කියා දෙන්න දෙයක් නොවේ යැයි මා සිතනවා. සෝවාන් ඵල ලැබූ අයෙකුට උනත් එය අන් අයට නොපවසා සිටීම මතු අභිවෘද්ධිය පිණිස පවත්නා යම් පමණක ස්වයං හික්මීමක් පවත්වා ගැනීමට උපකාර වෙනවා. තමා සෝවාන් යැයි අන් අයට පැවසීම මතු අභිවෘද්ධියක් සිදු නොවීමට කරුණක් නොවෙයි. නමුත් හැකි ඉක්මනින් ආර්ය මාර්ගයේ ඉදිරියටම යෑම රිසි අයෙක් සෝවාන් බව අන් අයට (එනම් තමන්ගේ ගුරු ආචාරීන් ආදී අය හැර අන් අයට) නොපවසාම ආර්ය මාර්ගයේ ගමන් කිරීම නම් තමාගේ ක්‍රියාවේ යුහුසුළුව යෙදීම තමයි පහසුම ක්‍රමය.

ඉතින් මේ ඔබට ගෙන හැර දැක්වූවේ මා දන්නා තරමින් කරුණු කිහිපයක්. ඉතින් යමෙක් තමන් සෝවාන් යැයි අන් අයට පවසනවානම් එය එම පුද්ගලයාගේ කැමැත්ත මත වන බවත් ඊට දහම්-විනය ගැටළුවක් වන්නේ නැති බවත් දක්වන්න කැමතියී. එහි සුදුසු නුසුදුසු බව ඒ ඒ පුද්ගලයා තමා කෙරෙහි වන් කරුණු විමසා බැලීමකින්ම කරාවි.

කමල්

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.