ගන්දබ්බ අවස්ථාව

Poster's name (Optional): 
සුධීර

පින්වත් කමල් මහතාණෙනි,

මරණයෙන් පසු ඊලඟ භවයට පෙර, "යමෙක්" ගන්දබ්බ අවස්ථාවක් පසු කරන වා යැයි දේශනා කරන භික්ෂූන් වෙති. සුදුසු මව්කුසක් ලැබෙන තුරා ගන්දබ්බයෙක් ලෙස ගතකරනවා යැයි කීම ආත්මවාදයට "හොර පාරක්" බව මගේ වැටහීමය. මේ ගන්දබ්බ මතය බුදු දහමට එකඟද? කරුණාවෙන් පහදන්න.

පින්වත් සුධීර,

සත්වයෙක් මරණයෙන් පසු භවය තෙක් ගන්දබ්බ අවස්ථාවක් පසු කරනවා යැයි හෝ සුදුසු මව්කුසක් ලැබෙන තුරු එබදු ස්වරූපයකින් සිටිනවායැයි හෝ සදහනක් බුදු දහමේ මා දැක නැහැ. නමුත් අපගේ පියවි ඇසට නොපෙනෙන ආකාරයේ සත්වයෙක් ලෙස යම් මැරුණ සත්වයෙක් උපතක් ලබා ගත හැකි බව බුදු දහමට අනුකූල කරුණක්. එයද භවයක්ම මිස වෙන යම් දෙයක් නොවේ. මීට අමතරව ආන්න සුදුසු මව් කුසක්, මම දැන් මේ ඉන්නා සත්ව සවභාවයෙන් චුත වෙමි, එම මව් කුසේ පිළිසිඳගන්නෙමී යැයි සිතමින් මියගොස් යම් මව් කුසක ඉපදීමට හැකියාවක් යම් හෝ සත්ව කොටසකට ඇතැයි සිතීමට අපහසුයි. බුදු දහමට අනුව අප දන්නේ කර්මය අනුව සකස්වන ආයුෂ අවසන් වීමෙන් මිය යන සත්වයින් ගැනයි. අප අසා ඇත්තේ එසේ ආයුෂ අවසන් වන තෙක් කය ඇසුරු කොට දිවි ගෙවන සත්වයින් ගැනයි. හිතූ පමණින් පවතින කය අතහැර මිය ගොස් වෙනත් රූපමය ස්වභාවයකින් උපතක් ලබන්න හැකි සත්වයින් ගැන අප අසා නැහැ (එය සමහරක් විට විශේෂිත හැකියාවන් ඇති අයට පමණක් කරන්න පුළුවන් ඇති - උදාහරණයකට බෝධිසත්වයින් පස් මහා බැලුම් බලා දෙව් ලොවින් චුතව බුද්ධත්වය පිනිස මනු ලොව උපත ලැබූ අයුරින්).

මේ නිසා එවන් ගන්දබ්බ මතයක් ඔබේ වැටහීම පරිදිම බොහෝ විට ආත්ම දෘෂ්ඨිය මූලාශ්‍රයෙන්ම හට ගැනුනක් විය හැකියී.

මරණයෙන් කය හැර දමන සත්වයා වෙනත් කයකට නොපැමිණ පැවතිය හැකි බවක් සද්ධර්මයේ එකම එක තැනක සුළුවෙන් සදහන්ව ඇති බවක් මම දැක තිබෙනවා. එම කුතුහලය උපදවන කරුණ සංයුක්ත නිකායේ සළායතන වග්ගයේ කුතුහලශාලා සූත්‍රයෙහි සඳහන්. එහි සඳහන් වන්නේ ගින්න දර සහිත බැවින් පවතින ආකාරයට සත්වයාගේ උපත උපාදානය සහිත බැවින් සිදුවන බවත්, යම් කලෙක සුළඟ නිසා දර වලින් මිදී දුරට ගිය ගින්න වාතය උපදාන කොට පවතින අයුරින් (එනම් දර වලින් මිදී ගිය ගිනි සිලක් මෙන්) යම් කලෙක පවතින කය හැර දමන සත්වයෙක් වෙනත් කයකට නොපැමිණියේ නම් එසමයෙහි එම සත්වයා තණ්හාව උපාදානය කොට ගන්නා බවයි.

මෙම කුතුහලශාලා සූත්‍රයේ සඳහන් පැවති කය හැර දමන ලද, වෙනත් කයකටද නොපැමිණි, තණ්හාව උපාදානය කොට ඇති සත්වයාගේ ස්වභාවය ගැන වැඩි විස්තරයක් මා අන් තැන් වල දැක නැහැ. අටුවාවේ සහ ටිකාවේ යම් සුළු ලෙස සඳහන් කිරීමක් මේ සූත්‍රය ගැන පවතිනවා, නමුත් පාලියෙන් කියා ඇත්තේ කුමක්දැයි මට වැටහෙන්නේ නැහැ. බොහෝ සූත්‍ර වල සඳහන් පරිදි රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාන යන උපාදානස්කන්ධ වලින් සමන්විත සත්වයින් ගැන විමසන විට කුතුහලශාලා සූත්‍රයේ සඳහන් කය රහිත ස්වභාවය කෙබදුදැයි පැහැදිලි අවබෝධයක් මා තුල නැහැ (පංච උපදාන ස්කන්ධයන්ගෙන් සමන්විත නොවන ස්වභාවයේ සත්වයෙක් යැයි සිතීමට අපහසුයි).

එම කරුණ එසේ පැවතුනත් සත්වයෙක් මරණයෙන් පසු භවය තෙක් ගන්දබ්බ අවස්ථාවක් පසු කරනවා යැයි හෝ සුදුසු මව් කුසක් ලැබෙන තුරු එබදු ස්වරූපයකින් සිටිනවායැයි හෝ සදහනක් බුදු දහමේ මා දැක නැහැ. කෙනෙකුට කුතුහලශාලා සූත්‍රයේ සඳහන් ස්වභාවය ගන්දබ්බ අවස්ථාව ලෙස පවසන්නත්, සුදුසු මවු කුසක් ලැබෙන තුරු එබදු ස්වරූපයකින් සිටිනවායැයි කියන්න බැරි කමක් නැහැ. නමුත් ඒ අපට ලැබුනු බුදු දහමේ ඇති කරුණු වලට අමතරව අපට නොලැබුනු අතිරේක කරුණුත් එක්කාසු කරලානේ. නමුත් මේ ආකාරයට තර්ක කරන්න පුළුවන් පමණින් කතන්දර ගොතන්න යෑම සුදුසු දෙයක් නොවෙයි. මේ නිසා කුතුහලශාලා සූත්‍රයේ සඳහන් කරුණ එම සූත්‍රයේ සඳහන් ප්‍රමානයට වඩා අතින් දා කරන පැහැදිලි කිරීමක් කරන්න මම යන්නේ නැහැ. එහි ඇති කරුණ අන් සූත්‍ර වල ඇති කරුණු සමඟ යම් පමණකින් ගලපන්න අපහසු බවක්, එහි විශේෂිත බවක් ඇති බව පමණක් සඳහන් කරන්න කැමතියී. එය පිළිගන්නවත්, ප්‍රතික්ෂේප කරන්නවත් මම යන්නේ නැහැ. එය මට තවම විෂය නොවන කරුණක්.

මීට අමතරව ඔබට වෙනත් කරුණක් ගැනත් සඳහන් කරන්න කැමතියී. එනම් බුදු පියානන් නොපැවසූ කරුණු බොහෝමයක් පැවසූ කරුණු ලෙස සමාජගතව තිබෙනවා. ඒවා හරිද, වැරදිද ලෙස තේරුම් ගන්න හරිම අමාරුයි. උදාහරනයකට අපි නොඇසූ හෝ නොකියවූ සූත්‍රයක, විනය කරුණක එවන් දේ සඳහන්ව ඇත්දැයි අපට සැක නිසා වැරදි දෙයක් අසන්න ලැබුනත් අපට එකවර එය වැරදි යැයි තේරුම් ගන්න අපහසු වෙනවා. නමුත් ධර්ම විනය ගැන බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවක් අපට ඇතිකරගන්න පුළුවන්නම් සමාජගතව ඇති එවන් වැරදි මත වැරදි ලෙස දකින්න, තේරුම් ගන්න අපට පහසු බවක්, හැකියාවක් ඇතිවෙනවා. මේ නිසා ඔබ ත්‍රිපිටකය කියවීම කෙරෙහි නැඹුරු බවක් ඇතිකරගන්න. එය යහපත් ඵල පිනිසමයි පවතින්නේ. බුදු පියානන් වහන්සේ පෙල දහම දැන ගැනීම, බෙහෙවින්ම ඇසූ පිරූ තැන් ඇති බව බොහෝ තැන් වල අගය කර තිබෙනවා, එහි අවශ්‍යතාව පෙන්වා දී තිබෙනවා.

අනෙක් කරුණ නම් බුදු පියානන් පවසා ඇති කරුණු නුවනින් විමසීම කෙරෙහි වැඩි නැඹුරු බවක් ඇති කරගන්න. එනම් මම හෝ වෙනයම් ස්වාමීන් වහන්සේලා හෝ කියන කරුණු බෙහෙවින් විමසන්න යෑම වෙනුවට බුදු පියානන් පවසා ඇති කරුණු විමසීම කරන්න. බුදු පියානන් පවසා ඇති සූත්‍ර, විනය ආදිය විමසා බැලීමේදී මම හෝ වෙනයම් ස්වාමීන් වහන්සේලා හෝ කියන කරුණුත් අවශය නම් අවබෝධය පිනිස ආධාර කරගන්න. නමුත් දහම් අවබෝධය පිනිස වන ප්‍රධාන ආකාරය ලෙස මම කියන දෙයක් හෝ වෙනයම් ස්වාමීන් වහන්සේලා කියන දේවල් විමස විමසා ඒවා හරිද, වැරදිද යැයි හොයන්න යන්න එපා. කල යුත්තේ බුදු පියානන් පැවසූ ධර්ම, විනය කරුණු ආදිය ගැන විමසා බැලීමයි. මේ නිසාත් ඔබ ත්‍රිපිටකය කියවීම කෙරෙහි වැඩි නැඹුරුවක් ඇතිකරගන්න. එහි ඇති කරුණු බොහෝ සෙයින්ම නුවනින් විමසා බලන්න. ඊට උපකාරී වන ලෙස මම කියන කරුණු හෝ වෙන යම් ස්වාමීන් වහන්සේලා කියන කරුණු ආධාර කර ගන්න. එවිට මා වැන්නෙකු හෝ වෙන යම් ස්වාමීන් වහන්සේ නමක් හෝ අතපසුවීමකින් හෝ වැරදි මතයක සිට පවසන කරුණුත් වැරදි ලෙසින්ම දැකීමට ඔබේ ඇති හැකියාව වැඩි වෙනවා. මෙයින් කියවෙන්නේ නැහැ ඔබ අන් අය කියන දේ කොහෙත්ම අසන්නේ නැතුව ත්‍රිපිටකයම කියවන්න කියලා. භික්ෂූන් වහන්සේලා පවසන අප අසා නොමැති දහම් කරුණු, පැහැදිලි කිරීම් ආදිය බොහෝම වටිනවා අපේ අවබෝධය වැඩි දියුණු කර ගැනීමට. නමුත් අප තේරුම් ගන්න ඕනෑ අප කල යුත්තේ බුද්ධ දේශනාව තේරුම් ගැනීමට වෙහෙසීම මිස අන් අය පවසන දේවල් තේරුම් ගන්න උත්සාහ කිරීම නොවන බව. භික්ෂූන් වහන්සේලා පවසන්නේත් ඒ බුද්ධ දේශනාවම තමයි. නමුත් මේ කාලේ වැරදි මතත් නොදැනුවත්කමින් හෝ පැවසෙන ස්වභාවය වැඩි නිසා අප යම් ප්‍රතිපත්තියක කටයුතු කොට නිවැරදි අවබෝධය වැඩිවන ආකාරයට, වැරදි අවබෝධයන් සද්ධර්මය ලෙසින් අප තුලට ඇතුළුවන ආකාරය අවම වන ලෙසට කටයුතු කරන්න ඕනෑ. මේ නිසයි මම පවසන්නේ අඩු තරමින් මා කියන දේවල්වත් විමසන්න යන්න එපා, ඒ වෙනුවට බුද්ධ දේශනාව විමසන්න, ඊට උපකාරයක් ලෙස අවශ්‍ය නම් මා හෝ වෙන යම් අය කියන කරුණු භාවිතා කරන්න කියලා.

මමත් හැකි පමණින් බුද්ධ දේශනාවම විකෘති කිරීමකින් තොරව ගෙන හැර දක්වන්න උත්සාහ ගන්න බව ඇතත. නමුත් ඔබෙත් මගෙත් අන් සියළු අයගේත් යොමුව පැවතිය යුත්තේ අප එක එක්කෙනාගේ මති මතාන්තරයන් අන් අයට අවබෝධ කරවීම නොවෙයි, බුද්ධ දේශනාව අවබෝධ කිරීම පිණිසමයි. ලොව යම් සුභාශිතයක් ඇත්ද, එය බුදුන් දෙසූ කරුණක්ම පමණයි. මමත් අන් බොහෝ අයත් එම සුභාශිතයන්ම අන් අයට ගෙන හැර දක්වන්න උත්සාහ කරනවා තමයි. නමුත් එම කාර්යයේදී අප සමහරෙක් එතරම් සාර්ථක වන්නේ නැහැ. අප අතින් අපේ අනුවනකම නිසා සමහරක් විට සුභාශිතයන් විකෘති වී පැවසීමක් සිදුවෙනවා. මේ කාලයේ එය බෙහෙවින්ම සිදුවෙනවා. මේ නිසා අප එම විකෘති වීම අවම කර ගැනීමේ ක්‍රමයකට දහම් දෙසන්නත් ඕනෑ, අසන අය විකෘති වීම අවම වන ක්‍රමයකටම දහම් අසන්නත් ඕනෑ. එනම් දහම් දෙසන අයත්, දහම් අසන අයත් නවාංගයන්ගෙන් යුත් පෙල දහම හදාරමින්ම, ඊට අනුකූල ලෙසින්ම මෙම කටයුත්ත කරන්න ඕනෑ. එසේ නොකර නොදන්නා දේ පිරවීමට අතින් දා දහම් දෙසන්න ගියොත් සහ පවසන්නාගේ නුවනැති බව හෝ ප්‍රසිද්ධිය නිසා හෝ වෙන යම් කරුණක් නිසා හෝ ඇසෙන හැමදේම එසේමයැයි ධර්ම විනයෙහි දන්නා පමණින් වත් නොවිමසා පිළිගනිමී යැයි දහම් අසන්න ගියොත් කියන අයත් වරදවා ගන්නවා, අසන අයත් වරදවා ගන්නවා, සම්බුද්ධ ශාසනය වහ වහා කැඩී විසිරී යනවා, ඉක්මනින් අතුරුදහන් වෙනවා. නමුත් බුදු පියානන් පැවසූ දේම දෙස බලමින්, එයට අඩුවෙනුත් එපා, එයට වැඩියෙනුත් (පිටින් දේත්) එපා, බුද්ධ දේශනාවම පවසමු, බුද්ධ දේශනාවම අවබෝධකරමු යන ආකාරයෙන් කටයුතු කලොත් බොහෝ පිරිස් දහම් අවබෝධ කරනවා මෙන්ම සම්බුද්ධ ශාසනය බොහෝ කලක් පැවතීම පිණිස එය හේතු වෙනවා. සද්ධර්මයේ දැනටමත් අපට අපැහැදිලි කරුණු පවතින බව ඇත්ත. එහිදී අපේ අවබෝධයෙන් එම අපැහැදිලි කරුණු අරුත්ගැන්වීමක් කරන්න සිදුවෙනවා. නමුත් එසේ කර අන් අයට පැවසිය යුත්තේත් බුදු පියානන් පවසා ඇති අයුරටමයි, එවන් දෙයක් අසන්නන් විසින් ඇසිය යුත්තේත් බුදු පියානන් පවසා ඇති අයුරටමයි (අපේ වාසනාවට ඒ ගැන බුදු පියානන් පවසා ඇති කරුණු ත්‍රිපිටකයේ අපැහැදිලි බවකින් තොරව පවතිනවා).

මේ නිසා ගන්දබ්බ මතය ගැන උනත් 100% හරියටම දැනගන්නෙමී යැයි විමසන්න යන්න එපා. මොකද ඒක බුදු පියානන් පැවසූ දෙයක් නොවෙයිනේ. කවදා හෝ එහෙම දෙයක් ත්‍රිපිටකයේ දැක්කොත් එදාට බුදු පියානන් පවසා ඇත්තේ කුමක්දැයි විමසන්න. මම නම් එහෙම දෙයක් තවම ත්‍රිපිටකයේ දැක නැහැ, ත්‍රිපිටකයේ නොබලපු හෝ නොදැකපු හෝ අතහැරුන තැනක එහෙම දෙයක් ඇතැයි සිතන්නත් අපහසුයි. එහෙම සිතන්නේ බලපු, දැකපු, අත නොහැරුනු තැන් වල ඇති කරුණු වලට අනුව එවන් ගන්දබ්බ බවක පැවැත්මක් ගැන සමහරු පවසන කතාවන් වල ගැලපුමක් නැති බවක් දකින නිසා.

තවත් කරුණක් නම් සමහර කරුණු එතරම් වැදගත් නැති බව. උදාහරණයකට ගන්දබ්බ බවක් (දහම්හි සඳහන් නොවුනත් උදාහරණයකට පමණක් මෙසේ සදහන් කරන බව සලකන්න) තිබුනත් නැතත් අප කල යුතු දෙයෙහි වෙනසක් වන්නේ නැහැ. කල යුත්තේ මේ රාග, දෝස, මෝහ ප්‍රහානයමයි. ඒ මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමෙන්මයි. ඒ නිසා අප වැඩි පුර මහන්සි විය යුත්තේ මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමටමයි. ඒ සඳහා සුළු කරුණු වල පැහැදිලි බව උපකාරී වෙනවා තමයි. ඊටත් අමතරව කවර කරුණක් වැදගත්ද (ඒ නිසා එම අවබෝධය පිණිස වැඩිපුර මහන්සි විය යුතුද), කවර කරුණක් නොවැදගත්ද (ඒ නිසා එම අවබෝධය පිණිස වැඩිපුර මහන්සි නොවිය යුතුද හෝ කිසි සේත්ම විමසීමක් නොකර සිටිය යුතුද) යන අවබෝධය එන්නේත් මේ ආර්ය අෂ්ඨාංගික මඟ වැඩීම තුලින්ම පමණයි. ඒ නිසාත් අන් අය පවසන දේවල් පැත්තක තිබුනාවේ, බුදුන් පැවසූ දේම අවබෝධ කරමියී, ඊට අඩුවෙනුත් එපා, ඊට වැඩියෙනුත් (පිටින් දේ, බුදුන් පැවසූ දේ විස්තර නොවේ) එපා යැයි සිතමින් බුදුන් පැවසූ දේම පසුපස හඹා යෑම තමයි කල යුත්තේ. එසේ කරන විට වැඩි වන අවබෝධය තුලින් පහසුවෙන්ම අන් අය පවසන කරුණු කෙබදුදැයි වැටහීමකුත් ඇතිවනවා. සමහරක් විට අන් අය පවසන දේවල් සම්පූර්ණයෙන්ම වැරදි දේ ලෙස හෝ හරි දේ ලෙස හෝ තේරුම් ගන්න පුළුවන්, එම කරුණු වල වටිනාකමක් ඇති බව හෝ නොවටිනා බව තේරුම් ගන්න පුළුවන්. මේ නිසා අන් අයගේ ප්‍රකාශන වලට අප්‍රධාන බවක් දී, බුද්ධ දේශනාවම අවබෝධ කිරීම පිණිස වෙහෙසෙන්න.

කමල්

පින්වත් සුධීර,

ඉහත කමෙන්ටුවේ සිදුවූ යම් අඩුවක්, නොපැහැදිලි බවක් ගැන සඳහන් කරන්න කැමතියී. එය නම් ත්‍රිපිටකයේ බුදු පියානන් වහන්සේ පැවසූ කරුණු වලට අමතරව සැරියුත්, මුගලන්, ආනන්ද, මහා කාශ්‍යප ආදී බොහෝ ස්වාමීන් වහන්සේලා පවසන ලද කරුණුත් ඇතුලත්. එම කරුණුත් බෙහෙවින්ම විමසිය යුතු කරුණු. මොකද ඒවාත් අපට ලැබී ඇති පිරිසිදු බවින් ඉහලම දහම් කොටස්. ඉහත කමෙන්ටුවේදී බුදු පියානන් පැවසූ කරුණු පමණක් විමසන්න යැයි පැවසීම නිසා යමෙක් පිරිසිදු බවින් උපරිමයෙන් අපට ලැබී ඇති අන් ස්වාමීන් වහන්සේලා පවසන ලද කරුණු නොවිමසා සිටියොත් එය බොහෝම අඩුවක්, වැදගත් කරුණු බොහොමයක් නොසලකා හැරීමක් වෙනවා. එම අන් ස්වාමීන් වහන්සේලා පවසන ලද කරුණුත් බුදුන් මූලාශ්‍රයෙන්ම තමයි පවතින්නේ. සමහරක් එවන් අන් භික්ෂූන් වහන්සේලා, භික්ෂුනීන් වහන්සේලා පවසන ලද කරුණු බුදු පියානන් විසින් අනුමත කරත් තිබෙනවා. සමහරක් එසේ අනුමත කර ඇතැයි ත්‍රිපිටකයේ සඳහන් නැහැ. නමුත් ඒවාත් පිරිසිදු බවින් උපරිම ලෙස අපට ලැබී ඇති දහම් කරුණු නිසා අතහැරිය යුතු නැහැ.

ඉහත කමෙන්ටුවේදී මා අතින් වූ අඩුපාඩුව නිසා යමෙක් වැරදි වැටහීමක් ඇතිකර ගත්තොත් එය බොහෝම අලාභයක්, නුසුදුසු කරුණක් නිසා මෙසේ එම අඩුපාඩුව නිවැරදි කරන්න කැමතියී.

කමල්

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.