පෘතග්ජන ජීවිතය

Poster's name (Optional): 
yasiru

මේ ලබපු ජීවිතය තේරුම් ගන්න අපි මහණ වෙන්න ඕනෙද? නැත්නම් පෘතක්ජනයෝ වශයෙන් ලැබූ ජීවිතය සතුටින්, විනෝදයෙන් ගත කරන ගමන් අපිට සත්‍ය අවබොධ කරගන්න පුලුවන්ද? එදිනෙදා ජීවිතයේ සතුටින් ඉන්නේ කොහොමද?

පින්වත් යසිරු,

මේ ලැබූ ජීවිතය තේරුම් ගන්න නම් අපි ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න ඕනෑ. මහණ වීම ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය හැකි පහසුම පසුබිම සකස් කර දෙනවා. හැබැයි ඉතින් දැන් කාලේ මහණ වූ බොහෝ අය බුදු පියානන් පැවසූ ක්‍රමය අතහැර මහණකමේ නාම මාත්‍රිකව හැසිරෙනවා. එයින් පව් පිරෙනවා මිසක ඒ අයට හෝ අන් අයට සිදුවන හොදක් නැහැ, නරකම තමයි සිදුවන්නේ. එවන් ප්‍රතිපදාවේ නොයෙදෙන මහණකම ගැන නෙමෙයි මම පැවසුවේ. නිවැරදි ප්‍රතිපදාවේ යෙදෙන මහණකම තමයි සත්‍ය අවබෝධයට ඇති පහසුම ක්‍රමය. බුද්ධ කාලයේ සෝවාන්, සකෘදාගාමී හා අනාගාමී ඵලයන් ලැබූ බොහෝ අය ගිහි උපාසකයන් සහ උපාසිකාවන් ලෙස සිටි බව සමහර සූත්‍ර වල දැක්වෙනවා. ගිහි ගෙයි සිට සත්‍ය අවබෝධ කිරීම කරන්න බැරි දෙයක් නොවෙයි. හැබැයි එය අපහසු කරුණක්. එක් එක් පුද්ගලයාට මෙම අපහසු බවේ ප්‍රමානය වෙනස් විය හැකියී. යම් පුද්ගලයෙක් කෙතරම් උත්සාහවන්ත උවත්, වීර්යයවන්ත උවත් මහණ නොවී සත්‍ය අවබෝධ කරන්න යන විට එම පුද්ගලයාගේ ගිහි වගකීම් හා ගිහි බැඳීම් සත්‍ය අවබෝධයට බාධාවන් ඇති කරනවා. සත්‍ය අවබෝධය පිණිස රුකුල් දෙන කාරණාවන් බුදුන් ජීවමානව සිටි කාලයේ මෙන් වර්ථමානයේදී බහුල ලෙස නැහැ. මේ නිසා මෙකල සත්‍ය අවබෝධ කිරීම ගිහිව සිටියත් අපහසුයි, මහණවී සිටියත් අපහසුයි. මහණවී ඉන්නා අයටනම් වඩාත්ම ගැටළුව වී ඇත්තේ ඔවුන් මහණවීත් නිවැරදි ප්‍රතිපදාවේ නොයෙදීම. ඊට අමතරව මහණවී ඉන්නා අයටත් දහම් කරුණු ගැන කියා දෙන්න සහ නිවැරදි ප්‍රතිපදාවේ හික්මවන්න හැකි භික්ෂූන් වහන්සේලාගේ ඉතාම අඩු බවක් තිබෙනවා. නමුත් මේ අඩුපාඩු ඇතැයි සිතා නුවනැති අය සත්‍ය අවබෝධ කරන්න මෙකල බැරියැයි හිතුවොත් එය මුලාවක්මයි. අපහසුයි තමයි, නමුත් ඵල ලැබීමට හැකි පමණිනින් තවම සද්ධර්මය පවතිනවා. එනිසා නුවනැති අය වීර්ය කිරීමම වටිනවා.

ගිහි ගෙයි වසන පෘතග්ජනයින්ට ජීවිතය සතුටින් හා විනෝදයෙන් ගත කරන ගමන් සත්‍ය අවබෝධ කරන්න පුළුවන්ද යන කාරණාවෙදී සතුට ඊට බාධාවක් වන්නේ නැහැ. නමුත් එහෙම බාධාවක් නොවන්නේ සතුට යන්න රාගික අරමුණු වලින් තොරව ලබන සතුටක් නම් පමණයි (මෛත්‍රිය, කරුණාව, සතිය, සමාධිය ආදිය තුලින් ලබන සතුට). නමුත් ගිහි ගෙයි වසන පෘතග්ජනයින් බොහෝ විට සතුට කියන්නේ රාගික අරමුණු වල තෘප්තිමත්භාවයට (උදාහරණයකට මිල මුදල්, රක්ෂාව, කීර්තිය, ආහාර පාන, ස්වාමියා හෝ බිරිද, දරුවන්, ඇදුම්, නිවාස, ආදිය). එවන් රාගික අරමුණු වලින් සතුටු වෙන්න යාම සත්‍ය අවබෝධයට බාධාවක්. විනෝදය යනු සැප විදීම් වල ප්‍රීතිය උපදවමින් කුල්මත් වීම ලෙස සැලකුවොත් එම විනෝදය නම් සත්‍ය අවබෝධ කරන්න යොමුවන අය පිස්සුවක් ලෙසින් සලකා එය නොසලකමින් තමයි සත්‍ය අවබෝධයෙහි හික්මෙන්නේ. එයත් සත්‍ය අවබෝධයට බාධාවක්. පෘතග්ජනයින් සතුටින් හා විනෝදයෙන් ජීවිතය ගත කරනවා කියන්නේ කාමසුඛල්ලිකානු යෝගයට. එහි යෙදෙමින් සත්‍ය අවබෝධ කරන්න බැහැ. කාමසුඛල්ලිකානු යෝගය රාගය ඇතිකරවන පිළිවෙතක්. එහි යෙදෙමින් විරාග සුවය පිණිස, නිර්වාණ සුවය පිණිස ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න බැහැ. කාමසුඛල්ලිකානු යෝගයේ යෙදෙමින් සත්‍ය අවබෝධ කරන්න යෑම ගින්නක් නිවීමට එම ගින්නට ඇවිලෙන සුළු තෙල් දැමීමක් වැනි කරුණක්.

රාගික අරමුණුවල සැප යැයි හැඟීම් ඇති පෘතග්ජනයින් එදිනෙදා ජීවිතයේ සතුටින් ඉන්නවා කියන එක සැප වේදනාව ලැබෙන පමණින් සිදුවන දෙයක්. නමුත් ඒ සඳහා ඔවුන් ගන්නා ආයාසය අතිශයින් කටුක සහ නීරස බව ඒ බොහෝ අය හිතා වත් නැහැ. මේ ගැන යම් අවබෝධයක් ලබාගන්න මජ්ඣිම නිකායේ මහාදුක්ඛක්ඛන්ධ සූත්‍රය කියවා බලන්න. අහන්න කැමතිනම් මේ සූත්‍රය දහම් දැකීම තුන් වන කොටසේදී විස්තර කර තිබෙනවා. මීට අමතරව රාගික අරමුණු හේතුවෙන් තම තමන් පෙළා ගන්නා අයුරු සහ එම පෙළා ගැනීමේ ප්‍රමානය ගැනත් පෘතග්ජනයින්ට පැහැදිලි අවබෝධයක් නැහැ (ඒ ගැනත් දහම් දැකීම තුන් වන කොටසේ සඳහන්). සද්ධර්ම ශ්‍රවණයෙන් හා නුවනින් විමසීමෙන් ඔවුන්ට මේ ගැන ඇති අවබෝධය වැඩි දියුණු කර ගන්න පුළුවන්.

මේ නිසා පෘතග්ජනයින් හොඳටම නීරස හා කටුක දේ බහුලවම දවස පුරා කරන ගමන් අල්ප වූ, තාවකාලික වූ සැප වේදනාවන් ලැබීමෙන් තාවකාලික උද්ධාමයට පත්වෙවී වාසය කිරීම තමයි සතුටින් ඉන්නවා කියලා කියන්නේ. මේ නිසා ඒ විදිහේ සතුටක් නම් විදින්න ඕනෑ ඒ ආකාරයේ රාගික පිළිවෙතකින් එය ලබාගන්න පුළුවන්. සද්ධර්මය පොඩ්ඩක්වත් තේරුම් ගන්න බැරි ස්වභාවයේ පෘතග්ජනයින් සතුටින් දිවි ගෙවිම යැයි කියන්නේ, හිතන්නේ ඔච්චරටමයි, ඔය පැවසූ කාරණාව එහෙමයි කියලා තේරුම් ගන්නත් ඔවුන්ට බැහැ. මෙහි ඇති ගැටළුව නම් සතුටින් ඉන්නට හේතු වෙනවා යැයි සිතමින් දැඩි පෙළීම් ඇතිකරන කරුණුම පෘතග්ජනයින් විසින් පිළිගැනීම. එම පෙළීම පෙළීමක් ලෙස දහම් නෑසූ, දහම් අවබෝධයේ අදක්ෂ පෘතග්ජනයින්ට හිතෙන්නෙත් නැහැ. නමුත් ඉහත දැක්වූ මහාදුක්ඛක්ඛන්ධ සූත්‍රය ආදී බුදු දහම් අහලාම තමයි යම් අයෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ තමන් කරලා තිබෙන්නේ දිනන්නෙමී යැයි හිතමින් දුවන තරඟයක් දහඩිය හලමින් දිව්වා වාගේ කාරණාවක් බවත් දිනන්නෙමී යැයි අදහසක් තිබුනත් තරඟයේ අවසානයක් නොමැති බවත්. යම් අයෙක් එවන් පිළිවෙතක් ජීවිතය සතුටින් ගත කිරීම ලෙස දකිනවා නම්, සලකනවානම්, එම පිළිවෙතේ යෙදෙනවා නම් ඒ පුද්ගලයාට දහඩිය හලමින් දිවීම මෙන් කරන දැඩි ආයාසය තමයි දිගටම අත්විදින්න වෙන්නේ. මෙහිදී යම් රාගික අරමුණුවල මත් වීම නිසා යම් කුල්මත් බවක්, ප්‍රීතියක් උපදිනවානම් එය හරියට හති දමමින් හා දහඩිය හළමින් දැඩි ආයාසයෙන් දුවන පුද්ගලයාගේ මූණට වදින් සුළං නිසා යම් සිසිලසක් ඇතිවුනා හා සමානයි. දහම් නෑසූ, දහම් අවබෝධයේ අදක්ෂ පෘතග්ජනයින්ගේ සුව හා දුක් පිනිස වන කාරනාවන් පටලවා ගැනීම සුළං රැල්ලේ සිසිලසෙහි උද්දාමයට පත්ව එය වැඩි වැඩියෙන් ලැබීම තමයි මෙලොව ලබන්න පුළුවන් උපරිම සුවය යැයි සලකා ඒ සුවය ලැබීම පිණිස දිගටම හති දමමින්, දහඩිය හළමින්, දැඩි ආයාසයෙන් දිවීමමයි කල යුත්තේ යැයි සිතීම හා සමානයි.

පුද්ගලයෙකුගේ ඉපදීම සිදුවුනා නම් එය ඒකාන්ත කොටම දුක් රැසක හටගැනීමක්. බුදු පියානන් "ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්කන්ධස්ස සමුදයෝ හෝතී." යැයි පටිච්ච සමුප්පාදයේ විස්තර කර ඇත්තේ මේ කාරණාවට. මේ ආකාරයට ජීවිතය ගැන විමසා බැලුවොත් එම ඒකාන්ත දුක් රැස කර පින්නා ගත් මිනිසුන් එදිනෙදා ජීවිතයේදී සතුටින් ඉන්නවා කියලා කුමකටද කියන්නේ කියා හොදින් විමසා බැලිය යුතුයි. එම සතුට මත් බීමක් බී හොඳටම වෙරි වූ පුද්ගලයෙක් පියවි සිහියෙන් තොරව සිටීම හා සමානයි. එවන් උත්සාහයක් තුලින් ඒකාන්ත දුක් රැස වලක්වන්නෙමී, ජීවිතය සතුටින් ගත කරන්නෙමී යැයි යම් අයෙක් හිතනවා නම් එය සිදු වන කාරණාවක් නොවෙයි. එය හුදෙක් සිතීමකට සීමාවන කරුණක් පමනයි. කොපමණ පුද්ගලයින් ඒ ආකාරයන්ගේ උත්සාහ තුලින් ජීවිතය ජයගැනීමට මඟ කියා දෙමී යැයි පැවසුවත් ඔවුන්ගේ එම ප්‍රකාශන වැස්සෙන් භෝග වගා කොට අස්වැන්න ලැබීමට බලාපොරොත්තු වන අයට වැසි රහිත පෙදෙසක භෝග වගා කරන්න කීවා හා සමානයි.

පින්වත් යසිරු, ඒකාන්ත දුක් රැසක් කර පින්නා ගෙන ඉන්නා මිනිසුන් කෙසේ නම් එදිනෙදා ජීවිතයේදී සැබැවින්ම සතුටින් ඉන්නද? මෙම කරුණෙහිදි දෙව් මිනිස් ශාස්තෘන් වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ එම දුක් රැසේ අවසානයක් ලබන එකම එක පිළිවෙත දේශනා කර තිබෙනවා. මිනිසත් බව ලැබූ අපට ඒ පිළිවෙත අසන්න ලැබීමත් මහත් වූ භාග්‍යයක්. ඒ නිසා කිනම් දුක් කරදර විදින්න උනත්, දැන හෝ නොදැන තමන් කරදර වල පැටළුනත් ලැබුවා වූ මේ මිනිසත් බව වහ වහා ධර්මය අවබෝධ කිරීම පිණිස යොමු කිරීම තමයි නුවනක්කාර ක්‍රියාව වන්නේ. දහම් අවබෝධය වහ වහා විපාක දෙන සුළුයි. දහම් අවබෝධ කල පමණින් හැම ආකාරයේ දුක් පීඩාවන්ගෙන් මිදෙන්න බැහැ. උදාහරණයකට දහම් අවබෝධ කලා කියලා බඩ ගින්න නැති වෙන්නේ නැහැ. නමුත් දහම් අවබෝධයේ වැඩීමක් ලබන අය තමාව පෙළාගැනීමත්, අන් අයව පෙළීමත්, තමාත් අන් අයවත් පෙළීමත් අඩු කරගන්නවා. ඊට අමතරව රාගී අරමුණු වලින් බැහැර වූ, විරාගී ස්වභාවයටම යොමුවූ වෙනත් ප්‍රණීත සුව භාවයන් අත්විදින්නත් පුළුවන්.

සියළු දුක් පීඩාවන්ගේ අවසානය නම් පිරිනිවන් පෑමයි. එය ප්‍රීතියට කරුණක්. යම් ආකාරයකට සැළකුවහොත් එම පිරිනිවන් පැම සැබැවින්ම සතුට උදා කරගැනීම, නොනැසෙන සුළු සතුට උදා කරගැනීම යැයි කියන්න පුළුවන්.

එනිසා සැබැවින්ම සතුටට හේතු වන දෙයක් කරන්න කැමතියී නම්, නොනැසෙන සුළු සතුටට හේතු වන දෙයක් කරන්න කැමතියී නම් කරන්න තියෙන්නේ එකම එක දෙයයි. ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම පමණමයි. නොනැසෙන සුළු සැබෑ සතුටක් ඇති කරන්න හැකි වෙන කිසිම දෙයක්, කිසිම ආකාරයක් නැහැ.

මේ ගැන වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම පිණිස මහාධම්මසමාදාන සූත්‍රය කියවා බලන්න.

කමල්

thanks.

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.