"පද නිරුක්තියෙන්" ත්‍රිලක්ෂණ

විශේෂ සටහන: (2017 Jan 03) සුධීර විසින් අසන ලද ප්‍රශ්ණයට මා (කමල් වික්‍රමනායක) විසින් ලියා ඇති පිලිතුරේ දක්වා ඇති සමහර කරුණු මෑතකදී දකින ලද සමහරක් සූත්‍ර වල අඩංගු කරුණු සමඟ නොගැළපෙන බවක් ඇති බව පෙනේ. එනමුත් පහත පිලිතුර ලියන ලද්දේද අන් සමහරක් සූත්‍ර වල අඩංගු කරුණු සලකාමයි.

වසර දෙකකට පමණ ඉහතදී ලියන ලද පහත දැක්වෙන පිලිතුර පංචස්කන්ධය අනිච්ච, දුක්ඛ, හා අනාත්ම ලෙස දැකිය හැකි ආකාරයන් සීමිත ප්‍රමාණයක් ගැන පමණක් සලකා සහ පංචස්කන්ධය අනිච්ච, දුක්ඛ, හා අනාත්ම ලෙස දැකිය හැකි අන් නිවැරදි ආකාරයන් වැරදි යැයි ප්‍රතික්ෂේප කරමින් ලියා ඇත්තේ දැයි සැකයක් මතුව තිබේ. අතිරේකව මා විසින් පහත පිලිතුරේ ලියා ඇති අනිච්ච සහ දුක්ඛ ලක්ෂණයන් ගැන සමහර කරුණු ධර්ම අර්ථයන්ට මනා සේ නොගැළපෙන ලෙස පටලැවී තිබේදැයි සැකයක් මතුව තිබේ.

මෙසේ වූ විට කවර අර්ථයන් ගැළපේද, කවර අර්ථයන් නොගැළපේද, කවර කවර ආකාරයන්ගෙන් පංචස්කන්ධය අනිච්ච, දුක්ඛ, හා අනාත්ම ලෙස දැකිය හැකිදැයි බොහෝ සූත්‍ර නැවත නැවත විමසා බලා තීරණය කිරීමට සිදුවේ. මේ සඳහා යම් කාලයක් ගත විය හැක. එනමුත් එසේ කිරීමෙන් පංචස්කන්ධය අනිච්ච, දුක්ඛ, හා අනාත්ම ලෙස දැකිය හැකි ආකාරයන් ගණනාවක් පිළිබඳ විස්තර මනා අර්ථ සහිතව ගෙන හැර දැක්වීමට මතු කාලයකදී හැකි වේ යැයි සිතමි.

Poster's name (Optional): 
සුධීර

දැන් දැන් බුදුබණේ එන අනිච්ඡා, අනාත්ම යන ත්‍රිලක්ෂණ වලින් දෙකක් "පද නිරුක්තියෙන්" වෙනස් ආකාරයකට අර්ත දක්වනු ලබනවා සමහර හිමිවරු. උදාහරනයක් ලෙස අනිච්චා යනු අනිත්‍ය නොවේ- එය අන+ඉච්ච , එනම් තමන්ට කැමැති අයුරින් පවත්වා ගැනීමට බැරිකම යනුවෙන් හදුන්වා දෙනවා. අනාත්ම යනු අන+අර්ත අර්තයක් නැති බව ලෙස කියා දෙනවා. ඔබතුමාගේ අදහස කුමක්ද මේ ගැන. මේ අර්ත දැක්වීම බුදු බණට එකඟද?

පින්වත් සුධීර,

යම් කිසි කෙනෙක් අනිච්ච යනු "තමන්ට කැමැති අයුරින් පවත්වා ගැනීමට බැරිකම" ලෙස අර්ථ ගන්වනවාද එය මනා සේ දේශනා කර ඇති සද්ධර්මයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. මෙවන් අර්ථ ගැන්වීමක් කරනවානම් එයින් සිදුවන්නේ සම්බුද්ධ ශාසනය අතුරුදහන් කිරීමට කටයුතු කිරීමක්මයි.

මෙලෙස සිතා බලන්න. යමක් තමන්ට කැමති අයුරින් පවත්වන්න බැරි වන්නේ ඇයි? ඒ එම දෙයෙහි ඇති විනාශ වෙන, ක්ෂය වෙන, වෙනස්වන සුළු, නැතිවන සුළු ආදී බව නිසා. එනම් යමක් තමන්ට කැමති අයුරින් පවත්වන්න බැරි වන්නේ ඒ එම දෙයෙහි ඇති දුක්ඛ ලක්ෂණය නිසා (දුක් බව නිසා). යමක් විනාශ වන, ක්ෂය වන, වෙනස් වන, නැති වන ආදී බව පවතින්නේ ඒ එම දෙය නිත්‍ය නොවන නිසා. එනම් අනිත්‍ය නිසා.

මේ කරුණ තවත් හොදින් පැහැදිලි කරගන්න පුළුවන් බුදු පියානන් මේ කරුණු වල අවබෝධය ඇති කිරීම පිණිස ශ්‍රාවකයින්ගෙන් විමසන ප්‍රශ්නයක් ඇසුරින්:

"යමක් අනිත්‍ය නම්, දුක් නම්, වෙනස් වන සුළු නම් (අන් දෙයකට පෙරලෙන සුළු නම්) ඒ දෙය මම හෝ මාගේ හෝ මාගේ ආත්මය ලෙස දැකීම සුදුසුද?"

ඉතින් යම් කිසි කෙනෙක් අනිච්ච යනු "තමන්ට කැමැති අයුරින් පවත්වා ගැනීමට බැරිකම" ලෙස අර්ථ ගන්වනවාද ඒ ඇත්තටම ඉහත බුදු පියානන් අසන ප්‍රශ්නයේ අගට ආ යුතු දෙයක් මුලට තිබිය යුතු යැයි පැවසීමක් වෙනවා. "තමන්ට කැමැති අයුරින් පවත්වා ගැනීමට බැරිකම" යන්න බොහෝම ලඟයි "මාගේ" යන අදහසට (නමුත් එයම නොවෙයි). ඉතින් යමක් "තමන්ට කැමැති අයුරින් පවත්වා ගැනීමට බැරිකම" යනු ඒ අනිත්‍ය දේ දුක් නිසාත්, දුක් නිසාම ඒ දෙය තමන්ට කැමැති අයුරින් පවත්වා ගැනීමට බැරි බවින් යුතු ලෙස තේරුම් ගැනීමයි සුදුසු ආකාරය.

මේ නිසා යම් කිසි කෙනෙක් අනිච්ච යනු "තමන්ට කැමැති අයුරින් පවත්වා ගැනීමට බැරිකම" ලෙස අර්ථ ගන්වනවාද එය මනා සේ දේශනා කර ඇති සද්ධර්මයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. මෙවන් අර්ථ ගැන්වීමක් කරනවානම් එයින් සිදුවන්නේ සම්බුද්ධ ශාසනය අතුරුදහන් කිරීමට කටයුතු කිරීමක්මයි.

යමෙක් මෙවන් පටලැවිල්ලක් කලොත් එයින්ම උත්සාහ කරන්නන්ගේ අනිච්ච සංඥාව වැඩීම පටලවනවා. යමෙක් අනිච්ච සංඥාව පටලවා ගත්තාද, ඔහුට නිවන් මඟ වැසුනා වෙනවා. පටලවන කෙනා නිර්වාන මාර්ගය වසන කෙනෙක්ම තමයි.

යම් කිසි කෙනෙක් අනාත්ම යනු "අර්තයක් නැති බව" ලෙස කියා දෙනවා නම් එය මනා සේ දේශනා කර ඇති සද්ධර්මයට බොහෝ සෙයින් නොගැලපෙන්නේ නැහැ. නමුත් ඒ අනාත්ම යන්න අන+අර්ත ලෙස පද බෙදීම නිසා නොවෙයි. ඒ "අර්තයක් නැති බව" යන්න "හිස් බව", "කිසිවක් නැති බව" යන අරුත් වලට ආසන්න නිසා.

මෙහෙදී වඩාත් සුදුසුයි "ආත්ම" යැයි පුද්ගලයෙක් තුල අනවබෝධය නිසා ඇතිවන හැඟීම, පුද්ගල අනන්‍යතාවයකින් යුතු දෙයක් තමන් කෙරෙහි කවර අයුරකින් හෝ පවතිනවා යන හැඟීම හුදෙක් වැරදි හැඟීමක්ම, වැරදි අදහසක්ම මිස පුද්ගල අනන්‍යතාවයකින් යුතු දෙයක් (ආත්මයක්) තමන් කෙරෙහි කවර අයුරකින් හෝ නැති බව දැකීම, "ආත්ම බවක් නැත" යන සංඥාව (අදහස, අරුත, හැඟීම) "අනාත්ම" ලෙස තේරුම් ගැනීම.

මේ නිසා යම් කිසි කෙනෙක් අනාත්ම යනු "අර්තයක් නැති බව" ලෙස කියා දෙනවා නම් එය මනා සේ දේශනා කර ඇති සද්ධර්මයට බොහෝ සෙයින් නොගැලපෙන්නේ නැහැ. නමුත් අනාත්ම බව වඩාත් හොදින් තේරුම් ගන්න හැකි අයුරින් වෙනත් වචන භාවිතයෙන් කියා දිය හැකියී. එවන් පැහැදිලි කිරීමකදී "අර්තයක් නැති බව" ආදී ලෙස පැවසීම අනාත්ම යන්නෙහි අරුත නම් "ආත්ම බවක් නැත" යන්නයි ලෙස තේරුම් ගැනීම පිනිස කරන විස්තර කිරීමකට උපකාර කරගැනීමක් නම් එය වරදක් ලෙස මා දකින්නේ නැහැ. හැබැයි ඒ කලින් පැවසූ පරිදි පද බෙදීමක් නිසා නම් නොවේ.

මෙම පැහැදිලි කිරීම ප්‍රමානවත් යැයි හිතනවා. තවත් පැහැදිලි කරගන්න ඕනෑ නම් බුදු පියානන් විසින් සූත්‍ර වල නිත්‍ය, සුඛ, ආත්ම සහ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන වචන සියල්ලම (පාලි හා සිංහල පරිවර්තන) භාවිතා කර ඇති අයුරු විමසා බලන්න පුළුවන්. එවිට පද බෙදීමක් කර වෙනත් අරුත් ගැන්වීමක්ද කල යුත්තේ, එහෙම නැත්නම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනු නිත්‍ය, සුඛ, ආත්ම යන වචන වල ප්‍රතිවිරුද්ධ අදහස් ලෙසද තේරුම් ගත යුත්තේ කියා පැහැදිලි කර ගන්න පුළුවන්. එලෙස විමසුවොත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනු නිත්‍ය, සුඛ, ආත්ම යන වචන වල ප්‍රතිවිරුද්ධ අදහස් ඇති වචන බව තේරුම් ගන්න පුළුවන්.

යම් කිසි කෙනෙක් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන කරුණු තේරුම් ගන්න උත්සාහ ගන්නවානම් හෝ වෙනස් ලෙස අරුත් ගන්වනවානම් (පාලියෙන් ඇති දේ මේ නොවෙයි, වෙනත් දෙයකියී ලෙස හෝ දක්වනවානම්) පස් කරුනක් තේරුම් ගැනීම හෝ අර්ත ගැන්වීම කල යුතුයි. එම පස් කරුණු නම්:

1. අනිත්‍ය යනු කුමක්ද? (අනිත්‍ය සංඥාව)
2. දුක්ඛ යනු කුමක්ද? (දුක්ඛ සංඥාව)
3. අනිත්‍ය දෙයෙහි දුක්ඛ යනු කුමක්ද? (අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව)
4. අනාත්ම යනු කුමක්ද? (අනාත්ම සංඥාව)
5. දුක්ඛ දෙයෙහි අනාත්ම යනු කුමක්ද? (දුකෙහි අනාත්ම සංඥාව)

එක හෝ කරුණක් නව ලෙස ඇරුත් ගැන්වීමක් කලත් එම අරුත් ගැන්වීම මේ කරුණු පහම ගෙන ගැලපෙන ලෙස අරුත් ගැන්විය හැකිදැයි පරික්ෂා කර බලන්න පුළුවන්. මම මෙසේ පවසන්නේ නව ලෙස මෙම කරුණු අරුත් ගන්වන්න ඔබව හෝ අන් අයව යොමු කරන්න නොවෙයි. තම තමන් තුල මේ කරුණු ගැන කවර අවබෝධයක් තිබුනත් මෙසේ ගලපා බැලීම මෙම කරුණු වල නිවැරදි තේරුම් දැනගැනීමට, වඩ වඩා පැහැදිලි බවින් දැකීමට, දහම් අවබෝධයේ වැඩි දියුණු කිරීමක්ම පිනිස හේතු වනවා.

මේ සියළු (පංච) සංඥාවන් වැඩීම, බහුල කිරීම නිර්වානය පිණිසමයි පවතින්නේ. මෙම සංඥාවන් වැඩීම, බහුල කිරීම, අතිශයින්ම වැඩ දායකයි. මේවා පටලාගත්තොත් නිවනින් බැහැර වීමක්මයි සිදුවන්නේ, දුක් බව පිනිසමයි පවතින්නේ, අහිත පිනිසමයි පවතින්නේ. පටලවා දේශනා කලොත් එම කරුණු සම්බුද්ධ ශාසනය අතුරුදහන් කිරීම පිණිසමයි පවතින්නේ, තමනුත් දුකේ වැටී අන් අයවත් දුකේ වැට්ටුවා වෙනවා.

කමල්

සාදු සාදු! බොහෝ පිං ලැබේවා.

මම මේ හිමිවරුන්ගේ බණ අසා මහත් අවුලට පත්වුනා. මහත් පසුතැවීමකට පත්වුනා. නිවැරදි දේ, සැබෑ බුදුබණ කුමක්ද යන්න ගැන සැක සාංකා මතුවුනා, එයිනුත් මහත් දුකකට පත්වුනා. දිවා රෑ නිදිවරා කල්පනා කලා. එයිනුත් තවත් අවුලට පත්වුනා.

කිසිවෙකුට පහර ගැසීම මගේ අභිප්‍රාය නොවෙයි. එනිසායි මම කිසිවෙකු නමින් හඳුන්වන්නෙ නැත්තේ. ඔවුන් දේශනා කරනවා පාලියට පරිවර්තනය කිරීමේදී ඇතිවූ දෝශ නිසා දැන් පිලිගන්නා අර්ත දැක්වීම් වැරදි බව. මේ නිසා බොහෝ දෙනෙක් තුල සැක ඇතිවෙනවා, මොකද නිවි සැනසිල්ලේ මෙවා ගැන සොයා බලන්න කාටවත් ඉස්පාසුවක් නැහැ.

නිවැරදිව මේ පහදා දීම කල ඔබට මහත් පින් අත්වේවා.

සුධීර

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.