සිත නොසන්සුන්

Poster's name (Optional): 
yasiru

මට තියෙන ගැටලුව නම් එක දෙයක් ගැන සිත යොමු වීමයි. හැම විටකම හිතෙන්නේ මනස පීඩාවට පත් කරන එක එක සිතුවිලි මයි . මට මේක නවත්තගන්න විදියක් කියන්න පුලුවන්ද? මේ නිසා මගේ එදිනෙද වැඩ අතපසු වෙනවා . මට මේ තත්වයෙන් මිදෙන්න විදියක් පැහැදිලි කර දෙන්න පුලුවන්ද?

පින්වත් යසිරු,

මෙම ගැටළුවෙන් මිදෙන්න විදියක් පැහැදිලි කර දෙන්න පුලුවන්. මෙයට හේතු වන කාරණාවන් හොදින් විමසා බලා අවබෝධයෙන් ප්‍රතිකර්මයක් කලොත් මින් මිදෙන්න පුළුවන්.

මෙවන් තත්වයක් ඇතිවන්න මුල් වන හේතු නම් මිනිසුන් තුල සිහිය හා නුවන යන කරුණු දෙක ප්‍රමාණවත් ලෙස වැඩී නොතිබීම. මෙහි නුවන ලෙස දැක්වූයේ සමාජ අධ්‍යයනය, පුද්ගල සබඳතා, ගණිතය, ඉංග්‍රීසි වැනි කරුණු වල ඇති අවබෝධය හෝ පරිණත බව නොවෙයි. නුවන ලෙස දැක්වුයේ පුද්ගලයෙකු තුල තමාගේ ක්‍රියාකාරිත්වය කෙබඳුදැයි ඇති අවබෝධයට (උදාහරණයකට ඇයි මට යම් යම් දේවල් හිතෙන්නේ, ඒ ක්‍රියාකාරිත්වය වන්නේ කෙසේද ආදී ලෙස).

අප බොහෝ දෙනා කුඩා කාලයේදීවත් මෙවන් සිහිය හා නුවන වැඩෙන ආකාරයෙන් කටයුතු කරලා නැහැ. අපව එවන් යොමුකිරීමකට යොමු කරලත් නැහැ. මේ නිසා සිද්ධ වෙන්නේ ජීවිතයේ අනිවාර්ය අංගයක් වන දුක් කම්කටොළු වලට අපට මුහුන පාන්න වූ විට අප යම් පහසු බවකින් සිටියාද ලෙහෙසියෙන්ම අප එම පහසු බවින් පහළ වැටෙනවා, දැඩි චිත්ත පීඩාවන්ට ගොදුරු වෙනවා. නමුත් අප සිහිය හා නුවන වැඩුනු අයුරකින් දිවි ගෙවනවා නම් දුක් කම්කටොළු වලදී ඒ ඒ අවස්ථාවන්හිදී යම් කායික හෝ චිත්ත පීඩාවන් ඇතිවීම වෙන්න පුළුවන් කරුණක් උනත් දීර්ඝ ලෙස අප එම හේතු නිසා විත්ත පීඩාවන්ගෙන අපව පෙළා ගන්නේ නැහැ. පහසුවෙන්ම අපට අපේ සාමාන්‍ය තත්වයට පත්වෙන්න හැකියී.

ඉතින් දැන් ඔබ අපහසු බවින් සිටියත්, පසුව ඉන් මිදී නැවත මතු කලෙක එවන් දෙයකින් වන පෙළීම ඇතිවීමෙන් මිදීම සඳහාත් ඔබ කල යුත්තේ සිහිය හා නුවන වැඩෙන කරුණු වලට යොමුවීම.

ඉතින් යම් විවේක බවක් ඇති කරගෙන සිහිය වැඩීමේ ක්‍රමයක යෙදෙන්න. සරළ ක්‍රමයක් නම් සක්මන් භාවනාව. මුලදී අපහසු උනත් වීර්යය ඇතිව දින පතා හැකි උපරිම කාලයක් මිඩංගු කර මීට යොමුවුනොත් ටිකෙන් ටික සිහිය පවත්වා ගැනීමේ හැකියාව වැඩිවෙනවා. සක්මන් භාවනාවෙන් සිහිය පැවැත්වීමේ හැකියාවේ වැඩි දියුණු බවක් ලබා ගත් පසු අනාපානසති භාවනාවේ යෙදෙන්නත් පුළුවන්.

නුවන වැඩීම සඳහා භාවිතා කල හැකි එක් ක්‍රමයක් නම් පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවයන් හොදින් මෙනෙහි කිරීම. මේ අවබෝධය ඇති කර ගැනීම සඳහා මා විසින් පවත්වන ලද දහම් දේශනාවන් වලින් දහම් දැකීම - පළමු කොටස හොදින් ශ්‍රවනය කර පංච උපාදාන ස්කන්ධය පිළිබඳ කරුණු මෙනෙහි කිරීම බහුල ලෙස කරන්න. ඔබ හොදින් මේ කරුණු ග්‍රහනය කර ගත්තොත් (හොදින් වටහා ගත්තොත්) සමහරක් විට එක් දිනකින්ම හෝ මද වේලාවකින්ම ඔබේ අපහසු බව නැති වෙන්නත් පුළුවන්. සමහරක් විට ඊට දින කිහිපයක් ගතවෙන්නත් පුළුවන්. එය ඔබේ අවබෝධ කිරීමේ හැකියාව මතයි රඳා පවතින්නේ.

ඉතින් මේ කරුණු දෙකේ ඔබ දක්ෂ ලෙස යෙදුනොත් ඔය අපහසුව ඉක්මණින් නැතිවී යාවි. දහම් දැකීම - තුන්වන කොටසේත් ඔබට උපකාරී වෙන දහම් කරුණු අඩංගුයි. එහි රාගය, ද්වේෂය, මෝහය නිසා පෙළීම ඇතිවන අයුරු ගැන විස්තරවලට හොදින් සවන් දී ඒ කාරණාවන් ඔබ කෙරේ බලපාන අයුරු විමසා බලන්න.

සමහරක් අයට බණ අසන්න, මෙවන් සිහිය සහ නුවන වැඩිවන ක්‍රමයන්ගේ යෙදෙන්න යැයි කීවාට එවන් බණ අසන්නත් ඔවුන් ප්‍රිය කරන්නේ නැහැ, එවන් ක්‍රමයන්ගේ යෙදෙන්නත් ඔවුන් ප්‍රිය කරන්නේ නැහැ. ඒ වෙනුවට තමා පෙළන කරුණෙහි රාග, ද්වේෂ, මෝහ සිත් වැඩිපුර ඇතිවන ලෙස ඒ කෙරෙහිම යොමුවන්නත් (ඒ ගැනම හිත හිතා ඉන්නත්), ඉන් මිහිරක් විදින්න හෝ ක්‍රෝධය ඇති කරගෙන ඒ ක්‍රෝධය නිසා උපදින මිහිර විදින්නත් ඒ අය කැමතියී. එය ඔවුන්ගේ පෙළීම වැඩි කරන්නම ප්‍රත්‍ය වන බව, හේතු වන බව, සිහිය හා නුවන ඇතිකරගැනීමෙන් එවන් පෙළීම් වලින් පහසුවෙන් මිදෙන්න පුළුවන් බව ඔවුන් තේරුම් ගන්නේ නැහැ. ඉතින් එවන් අය පැටළුනු නූල් බෝලයක ඇති ගැට අරින්න අපහසු ලෙස තම දිවිය ගැටළු ඇතිකරගැනීමටම යොමුකරගෙන අපහසුවෙන් දිවි ගෙවනවා.

මෙහි දැක්වූ සිහිය සහ නුවන වැඩීමේ කරුණු ලොකු කුඩා කාටත්, පෙළීමකට භාජනය වී සිටියත් නොහිටියත් ප්‍රයෝජනවත් වන දහම් කරුණු. මේ කරුණු වල බහුල ලෙස යෙදෙන අය තම දිවිය පහසු කරගන්නවා, සුවපත් කර ගන්නවා.

පින්වත් යසිරු, ඉපදුන පුද්ගලයා දුක් කම්කටොළු වලට මුහුණ දෙන්න වෙනවා කියන එක වෙනස් නොවන ධර්මතාවයක්. යමෙක් ඉපදුනානම් එය අනිවාර්යයෙන්ම උරුම කරුණක්. එනිසා එය ඔබට පමණක් උරුම දෙයක් නොවෙයි, මටත් උරුමයි, අන් සියළු ඉපදුණු අයටත් උරුමයි. මෙහිදී කායික පීඩාවන්ට බෙහෙත් ආදිය ලබා ගන්න වෙනවා ඉන් සුවපත් බවක් ලබන්න. චිත්ත පීඩාවන්ගෙන් වන පෙළීමෙන් මිදීම නම් සිහිය හා නුවන භාවිතයෙන් කල හැකියී. ඒ හැකියාව වැඩි කර ගන්න. කායික සහ චිත්ත පීඩාවන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්නේ කෙසේද කියාත් බුදු පියානන් පවසා තිබෙනවා.

කමල්

බොහොම පින්

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.