"සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය" ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අදාල දෙයක් නොවෙයිද?

Poster's name (Optional): 
නයන

පින්වත් කමල්,

“ධම්ම චක්කපවත්තන සූත්‍රය සහ මහා චත්තාරීසක සූත්‍රය අතර ඇති සම්බන්දය“ යන මාතෘකාව යටතේ ඔබගේ පහත අර්ත දැක්වීම දෝශ සහිත බව අපගේ වර්ථමාන වැටහීමයි.

"සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය" ලෙස බුදු පියානන් මහාචත්තාරීසක සූත්‍රයේ සදහන් කර ඇති සම්මා දිට්ඨිය ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අදාල දෙයක් නොවෙයි. එනිසයි එම සම්මා දිට්ඨිය දක්වන විට "ආය්‍ය ... මාර්ගාඪග" ලෙස නොදක්වා ඇත්තේ. බුදු පියානන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස දේශනා කර ඇත්තේ එකම එක මාර්ගයයි. එම මාර්ගයට ඇතුලත් සම්මා දිට්ඨිය තමයි "ආය්‍ය වූ අනාස්‍රව වූ ලෝකොත්තර මාර්ගාඪග වූ සම්‍යග්දෘෂ්ටිය" ලෙස බුදු පියානන් දක්වා ඇත්තේ.

"සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය" පමනක් නොව මිථ්‍යාදෘෂ්ටිය ‘මිථ්‍යාදෘෂ්ටි’ යයි දැන ගැනීම ද, ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි එන සම්මා දිට්ඨීයට අදාල බවද,
එපමනක් නොව
සම්‍මා සඞ්කල්පනය පිලිබද සම්මා දිට්ඨිය –
(මිථ්‍යා සඞ්කල්පනය, මිථ්‍යා සඞ්කල්පනයයි ද, සම්‍මා සඞ්කල්පනය, සම්මා සඞ්කල්පනයයි ද, සම්මා සඞ්කල්පනය දෙ ආකාර යැයි ද දැන ගැනීම)
සම්‍මා වචනය පිලිබද සම්මා දිට්ඨිය –
(මිථ්‍යා වචනය මිථ්‍යා වචනයයි ද, සම්‍මා වචනය සම්‍මා වචනයි ද, සම්‍මා වචනය දෙ ආකාර යැයි ද දැන ගැනීම)
සම්‍මා කර්‍මාන්තය පිලිබද සම්මා දිට්ඨිය –
(මිථ්‍යා කර්‍මාන්තය මිථ්‍යාක ර්‍මාන්තයයි ද, සම්‍මා කර්‍මාන්තය සම්‍මා කර්‍මාන්තයයි ද, සම්‍මා කර්‍මාන්තය දෙ ආකාර යැයි ද දැන ගැනීම)
සම්‍මා ආජීවය පිලිබද සම්මා දිට්ඨිය –
(මිථ්‍යා ආජීවය මිථ්‍යා ආජීවයයි ද, සම්‍මා ආජීවය සම්‍මා ආජීවයයි ද, සම්‍මා ආජීවය දෙ ආකාර යැයි ද දැන ගැනීම)
දැන ගැනීම තුලින් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි එන සම්මා දිට්ඨීය පූර්ණ වන බවද අපගේ වැටහීම වන අතර ඔබගේ ඒ සම්බන්දව අදහස් බලා පොරොත්තු වෙමි.

පින්වත් නයන,

"ධම්ම චක්කපවත්තන සූත්‍රය සහ මහා චත්තාරීසක සූත්‍රය අතර ඇති සම්බන්දය" යන මාතෘකා ඇති සාකච්ඡාවේදී මවිසින් පවසන ලද ඔබ ඉහත උපුටා දක්වා ඇති කරුණට අමතරව තවත් කරුණු දොස් සහිත වෙන්න පුළුවන්.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ උපරි පණ්ණාසකයේ අනුපදවග්ගයේ ඇති මහාචත්තාරීසක සූත්‍රයේ දෙපරිද්දකින් දක්වා ඇති සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත සහ සම්මාආජීව යන කරුණු වලින් එක් පරිද්දකින් දක්වා ඇති කොටස් පහක් ගෙන එම කොටස් පහ පමණක් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ඇතුලත්ය, අනෙක් පරිද්දෙන් දක්වා ඇති කොටස් පහ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ඇතුලත් නොවේ යැයි කීම අන් සමහර සූත්‍ර වල ඇති කරුණු සමඟ මනාව ගැළපෙන්නේ නැති බව මමත් කලකට ඉහතදී දුටුවා. මහාචත්තාරීසක සූත්‍රයේ දැක්වෙන සමහරක් වචන කවර අර්ථයන්ගෙන් ගත යුතුද යන්න මවිසින් නිවැරදිව වටහා නොගැනීම වැරදීමට කාරණා වූවා වෙන්න පුළුවන්. සමහරක් වැරදි වැටහීම් වචන වලට සීමා නොවී අර්ථ ලෙසින්ම වැරදුණු බවකුත් පෙනෙන්න තිබෙනවා. එසේ කියුවත් එම සූත්‍රයේ සඳහන් සමහරක් විස්තර කිරීම් වල නිවැරදි අර්ථයන් පිළිබඳව මට ඇති වූ කුකුස් තවම සම්පූර්ණයෙන් දුරුව නැහැ. එම කුකුස් දුරු කර ගැනීමට මම තව වෙහෙසෙන්න ඕනෑ.

කමල්

පින්වත් කමල්,

ඉහත සාකච්චාවේදී ඔබගෙන් සිදුවී තිබිය හැකිව ඇති දෝශ සහිත කරුනු ඇති බව නිහතමානීව පිලිගැනීම පිලිබඳව මගේ කෘතඥතාවය ඔබට පුදකරන අතර,
ඉහත සූත්‍රය ඇසුරෙහි ඔබහට ඇතිවි පවතින කුකුස් දුරුකර ගැනීම පිනිස කිසියම් පිටුබලයක් ලබාගත හැකි යැයි මාහට හැගෙන කරුනු මෙසේ සඳහන් කරමි.

1. අප කිසියම් සූත්‍රයක් පරිශීලනය කරන විට බුදු රජාණන් වහන්සේ එම සූත්‍රය දේශනා කල හේතුවද එම පිරිසෙහි මනෝභාවයන් පිළිවදව කිසියම් අවබෝදයකින් යුතුව සූත්‍ර පරිශීලනය කලයුතු බව අපගේ වැටහීමයි.
බුදු රජාණන් වහන්සේ ධම්ම චක්කපවත්තන සූත්‍රය දේශනාකල පස්වග මහනුන් නිවන සොයා යන මාර්ගයට පිලිපන් පිරිසක් බැවින්, ඔවුනට සම්මා දිට්ඨිය ප්‍රකාශ කරන විට ඔවුනට ඇසෙන සම්මා දිට්ඨිය නිර්වාන ගාමී සම්මා දිට්ඨීයම මිස “සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය“ නොවන බැවින් එම සූත්‍රය දේශනා කල පස්වග මහනුන් අරභයා මාහා චත්තාරීසක සූත්‍රයේදී බඳු විග්‍රහයක් සිදු කිරීම අනවශ්‍ය බව අපගේ වැටහීම වෙයි.

නයන

පින්වත් කමල්,

ඔබම ගොනුකල පහත දේශනය පරිශීලනය තුලින් ඔබගේ කුකුස් දුරුකර ගැනීමට උපකාර කාරයක් වනු ඇති බව අපගේ වැටහීම වෙයි.

https://www.youtube.com/watch?v=fC3yYL8s6Z8

නයන

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.