මස් කනවා නම් මෛත්‍රී භාවනාව වඩන්න බැරි යැයි මීවනපලානේ පචෝරිස් හිමි මුසාවක් දෙසීම

මස් කනවා නම් මෛත්‍රී භාවනාව වඩන්න බැරි යැයි මීවනපලානේ පචෝරිස් හිමි පවසන ආකාරය ඉහත වීඩියෝවේ විනාඩි 5යි තත්පර 5න් පමණ ඉදිරියට ආසන්නයේ දැක්වෙනවා. එහිමියන් ඒ පවසන්නේ මුසාවක්.

පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ ගහපතිවග්ගයේ ඇති ජීවක සූත්‍රයෙන් කොටසක්:

ජීවකය, මෙ සස්නෙහි මහණෙක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසිරි කොට වාස කෙරෙයි. හේ මෙත් සහගිය සිතින් එක් දිගක් පැහැස විහරණ කෙරෙයි. එසෙයින් මැ දෙවැනි දිග ද එසෙයින් මැ තෙවනි දිග ද එසෙයින් මැ හතරවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මතායෙන් සකල ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාපාද වූ මෙත් සහගිය සිතින් පැහැසැගෙන විහාර කෙරෙයි. තුලුන් කරා ගැහැවියෙක් හෝ ගැහැවිදරුවෙක් හෝ එළඹ සෙට බතින් නිමන්ත්‍රණ කෙරෙයි. ජීවකය, ඒ මහණ කැමැත්තේ මැ අධිවාසනා කෙරෙයි. හෙ එ රැය ඇවෑමෙන් පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන එ ගැහැවියාගේ හෝ ගැහැවි දරුවාගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැනවූ අස්නෙහි හිඳියි. එ ගැහැවියා හෝ ගැහැවිදරුවා හෝ තුලුන් ප්‍රණීත පිණ්ඩපාතයෙන් වළඳවයි. උහුට මෙවන් සිතෙක් නො වෙයි: ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවා නම් මැනැවැ.’ ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ මතුයෙහි මෙවන් ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් මනා මැ නු’ යි. මෙ බඳු සිතෙකුදු නො වෙයි. හේ ඒ පිණඩපාතය ග්‍රථිත නො වී මූර්ඡිත නො වී නො ගිජු වී ආදීනව දක්නාසුලු වැ නිස්සරණ ප්‍රඥා ඇති වැ වළඳ කෙරෙයි. ජීවකය, එ කිමැ’යි හඟිහි එ මහණ එ සමයෙහි ආත්මව්‍යාබාධය පිණිස හෝ සිතන්නේවේ ද? පරව්‍යාබාධය පිණිස හෝ සිතන්නේ වේ ද? (මෙසේ ) උභයව්‍යබාධය පිණිස හෝ සිතන්නේ වේ ද? වහන්ස, තෙල නො වේ මැ යැ. ජීවකය, මහණ එ සමයෙහි අනවද්‍ය වූ මැ අහර වළඳන්නේ නො? වහන්ස, එසේ යැ. වහන්ස, බ්‍රහ්ම තෙම මෛත්‍රීවිහාර ඇතියෙකැ’යි තෙල මා විසින් අසනලදි. වහන්ස, ඒ ශ්‍රැතය නම් මාවිසින් භාග්‍යවතුන් වහන්සේ සාක්ෂ්‍යවශයෙන් දක්නාලදහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි මෛත්‍රීවිහරණ ඇතිසේක. ජීවකය, යම් රාගයෙකින් යම් ද්වෙෂයකින් යම් මෝහයෙකින් ව්‍යාපාද ඇතියෙක් වේ ද එ රාගය එ ද්වෙෂය එ මෝහය තථාගතයන්හට පුහුන් වේ, උසුන්මුල් වේ, මුදුන්සුන් තලක් සෙයින් අවස්තුක කරන ලද වේ. කළ අභාව ඇති වේ. මතුයෙහි නූපදනා සැහැවි ඇති වේ. ජීවකය, ඉදින් තා විසින් මේ සඳහා කියනලද නම් තාගේ තෙල බස් අනුදනිමි’යි. වහන්ස, තෙල සඳහා මැ මා විසින් කියනලදැ’යි.

මාංස අනුභවය ගැන බුදුරජානන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නයකට බුදුරජානන් වහන්සේ දුන් පිළිතුරක කොටසක් එයින් දැක්වෙනවා. නිමන්ත්‍රණය ඉවසා පැමිණි එම භික්ෂුව පිණ්ඩපාතය වැළඳීමේදී ආත්මව්‍යාබාධය පිණිස හෝ පරව්‍යාබාධය පිණිස හෝ උභයව්‍යාබාධය පිණිස හෝ සිත් ඇති කර නොගනිමින් එම පිණ්ඩපාතය වළඳන ආකාරය බුදුරජානන් වහන්සේ තම පිළිතුරෙන් මනාව දක්වා තිබෙනවා.

මස් කනවා නම් මෛත්‍රී භාවනාව වඩන්න බැරි යැයි මීවනපලානේ පචෝරිස් හිමි පවසන ලද්ද මුසාවක් බව බුදුරජානන් වහන්සේගේ එම විස්තර කිරීමට අනුව දැකිය හැකියි.