අඳුරෙන් එළියට

"මහණෙනි, යම් ම මහණ කෙනෙක් අධර්මය ධර්මය යි ප්‍රකාශ කෙරෙත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්ථ පිණිස දෙවිමිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ පව් ද උදා කෙරෙති. ඔහු ම මේ සද්ධර්මය අතුරුදන් කෙරෙත්.

මහණෙනි, යම් ම මහණ කෙනෙක් ධර්මය අධර්මය යි ප්‍රකාශ කෙරෙත් ද ..., අවිනය විනය යි ප්‍රකාශ කෙරෙත් ද ..., විනය අවිනය යි ප්‍රකාශ කෙරෙත් ද ..., තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලද්ද නොතෙපලන ලද්ද තථාතගයන් වහන්සේ විසින් දෙසන ලදැයි තෙපලන ලදැයි ප්‍රකාශ කෙරෙත් ද ..., තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද්ද තෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලදැයි නොතෙපලන ලදැයි ප්‍රකාශ කෙරෙත් ද ..., තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි ප්‍රකාශ කෙරෙත් ද ..., තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරණ ලදැයි ප්‍රකාශ කෙරෙත් ද ..., තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැයි ප්‍රකාශ කෙරෙත් ද ..., තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නොපණවන ලදැයි ප්‍රකාශ කෙරෙත් ද ..., මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්ථ පිණිස දෙවිමිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පව් ද උදා කෙරෙති. ඔහු ම මේ සද්ධර්මය අතුරුදන් කෙරෙත්."

    - සූත්‍ර පිටකය, අඞ්‌ගුත්‌තර නිකාය, ඒකක නිපාතය, අජ්ඣත්තික (ආධ්‍යාත්මික) වග්ගය, තෙත්තිංසතිම - ද්වාචත්තාළීසතිම සූත්‍ර

"මහණෙනි, යම් ම මහණ කෙනෙක් අධර්මය අධර්මය යි දක්වත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උපදවත්. ඔහු ම මේ සද්ධර්මය තබත්.

මහණෙනි, යම් ම මහණ කෙනෙක් ධර්මය ධර්මය යි (යථාවිධියෙන් ගෙණ) දක්වත් ද ..., අවිනය අවිනය යි දක්වත් ද ..., විනය විනය යි දක්වත් ද ..., තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලද්ද නොතෙපලන ලද්ද තථාතගයන් වහන්සේ විසින් නොදෙසන ලදැයි නොතෙපලන ලදැයි දක්වත් ද ..., තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද්ද තෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් දෙසන ලදැයි තෙපලන ලදැයි දක්වත් ද ..., තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරණ ලදැයි දක්වත් ද ..., තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි දක්වත් ද ..., තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැයි දක්වත් ද ..., තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැයි දක්වත් ද ..., මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උපදවත්. ඔහු ම මේ සද්ධර්මය තබත්."

    - සූත්‍ර පිටකය, අඞ්‌ගුත්‌තර නිකාය, ඒකක නිපාතය, අධම්ම වග්ගය, පඨම - දසම සූත්‍ර

ගෞතම සම්මා සම්බුදුරජානන් වහන්සේ විසින් දේශිත ධර්ම, විනය කරුණු අද සමාජයේ පිරිස් විසින් බෙහෙවින්ම විකෘති ලෙසින් තේරුම් ගැනීම සහ අන් අයට විකෘති ලෙසින් පැවසීම සිදුවේ. දහම් විකෘති ලෙස තේරුම් ගන්න හෝ අන් අයට විකෘති ලෙස පැවසීමට අප බොහෝ දෙනෙකුට කොහෙත්ම උවමණාවක් නැත. දහම් නිවැරදි ලෙස තේරුම් ගැනීමටත්, නිවැරදි ලෙසින් අන් අයගේ යහපත පිණිස ඔවුන්ට පැවසීමටත් මහත් උවමනාවක් අප බොහෝ දෙනෙකුට පවතී. නමුත් බොහෝ පිරිසක් අතින් නොදැනුවත්වම මෙම විකෘති වීම සිදුවේ. යම් සුළු පිරිසක් දැනුවත්වම විකෘති කරනවා ද ඇත.

සද්ධර්මයේ දැක්මට දුෂ්කර වූ සියුම් කරුණු බෙහෙවින්ම පවතී. එම සියුම් කරුණු වල නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී සියුම් බව නිසාම අප සමහරක් විට එම කරුණු ඊට බෙහෙවින්ම හෝ යම් පමණකින් සමාන ස්වරූප ඇති කරුණු සමඟ පටලවා ගැනීමක් කරයි. මෙවන් අවස්ථාවන්හිදී අප නොඅසන ලද දහම් කරුණු අපට ගෙන හැර දක්වා හෝ හරි හැටි වටහා නොගන්නා ලද දහම් කරුණු නිවැරදිව අපට පැහැදිලි කර දී හෝ අපගේ නිවැරදි බවට පත්වීම පිණිස පිහිට විය හැකි දහම් නිවැරදිව අවබෝධ කරන ලද පිරිස් මෙකල බෙහෙවින්ම විරලය. මේ විරල බව අප සැමගේ අභාග්‍යයකි.

තවද සම්බුද්ධ ශාසනය තුළ සහ සමාජය තුළ අනවබෝධය නිසා අපම ඇතිකරගෙන ඇති ව්‍යාකූල, අහිතකර ස්වභාවයන් නිසා මෙවන් නිවැරදි කිරීම් සිදු කිරීමද දහම් නිවැරදිව අවබෝධ කළ විරල වූද පිරිසට දැඩි බාධාවකි, දැඩි අපහසුවකි. ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් පැවසූ ධර්ම, විනය ප්‍රතිපත්තීන් නොපිළිගෙන ඉන් පිට පැනීම නිසා අපම සම්බුද්ධ ශාසනය තුළ සහ සමාජය තුළ ඇතිකරගෙන ඇති මෙම අහිතකර ස්වභාවයන්ද අප සැමගේ අභාග්‍යයකි.

සද්ධර්මයේ අපැහැදිලි, නොතේරෙන තැන් මට ද බෙහෙවින්ම පවතී. යමෙක් හෝ යම් පිරිසක් මට එවන් කරුණු පැහැදිලි කරන්න සිටීනම්, එවන් පිරිස් බහුල ලෙස සිටී නම් එය මාගේ භාග්‍යක්ම කොට සලකමි.

මේ ලිපි ලිවීමට සිත් වූයේ දහම් කරුණු වැරදි වැටහීම් සහිතව සමාජගතවීම නිසා සිදුවන ආදීනවය මහත් බැවින් වැරදි ලෙස දහම් කරුණු වටහා ගත් අයගේත් අන් සැම දෙනාගේත් යහපත පිණිස හැකි පමණින් එම කරුණු නිවැරදි කළ යුතුය යන අදහසිනි.

අන් අය විසින් නිවැරදිව නොපවසන ලද කරුණු ගෙන හැර දැක්වීමට උත්සාහ ගන්නා මා 100% ක් නිවැරදිව, පූර්ණ ලෙස දහම් අවබෝධයක් ඇති අයෙකු ලෙස දැකීම සුදුසු නොවේ. මට එවන් පූර්ණ අවබෝධයක් නොමැත. නමුත් බොහෝ දෙනා දහම් පටලවාගෙන සිටින සහ පටලවා ගන්නා ආකාරයන් යම් ප්‍රමාණයක් ගැන මට පැහැදිලි බවක් වේ. එසේම ඒකාන්ත ලෙසම වැරදි අයුරකින් අවබෝධ කරන ලද දහම් කරුණු යම් අයෙක් පවසන්නේ යැයි තේරුම් ගත හැකි සීමිත දහම් කරුණු ප්‍රමාණයක් ගැන පැහැදිලි අවබෝධයක්ද මා තුළ පවතී.

යම් කිසි කෙනෙක් මාගේ සද්ධර්මය පිළිබඳ අවබෝධය වැඩි දියුණුවට කටයුතු කරයි නම්, මාගේ අනවබෝධයන් දුරැලීමට මට උපකාරී වේ නම්, මා යම් සදොස් බවක එල්ඹ සිටී නම් බුද්ධ භාෂිතයන් තුළින්ම එය මට වැටහෙන ලෙස පෙන්වා දෙත් නම්, මා යම් අයෙක් හෝ පිරිසක් නොමඟ යවන ලද නම් මා මෙන්ම එවන් අයටද මා වැරදි දේ පවසන ලදැයි සුභාෂිතය ගෙන හැර දක්වා ඔවුන්වද නිවැරදි මඟටම යොමු කරයි නම් එවන් උතුමන් බොහෝ වේවා, එවන් උතුමන් බොහෝ වීම මාගේ භාග්‍යක්මයි. පූර්ණ ලෙස දහම් අවබෝධ නොකර ඇති නමුත් සකාරණව පවසන සුභාෂිතය කුමක්දැයි විමසා වටහා ගැනීමේ හැකියාවක් මා තුළ ද පවතී. මේ නිසා වචන මාත්‍ර වූ දුභාෂිතයන් මා වෙත සුභාෂිතයන් සේ ගෙන හැර දැක්වීම් මෘදුව හෝ දැඩිව ප්‍රතික්ෂේප කරමි.