බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරමු

පහත දැක්වෙනුයේ බුදුසසුන සුරක්ෂිත කොට පෝෂණය කිරීම පිණිස බුද්ධ ශ්‍රාවකයින් විසින් වර්තමානයේ කවරක් කළ යුතු දැයි මට සිතෙන සහ කිරීම පිණිස මම උත්සාහ ගන්නා දෑ. මතුවට වැඩි විස්තර එකතු කිරීමට සහ අඩුපාඩු මගහරවා ගැනීමට නියමිතයි. මෙය වඩාත් ප්‍රයෝජනවත් වන ලෙස සකසා ගැනීමට උපකාරී විය හැකි අදහස් ඇත්නම් එවන් දෑ ගැන දැනුවත් කරන්නේ නම් කෘතඥ වෙමි.

  1. සියලු භික්ෂූන් වහන්සේලා පාමොක් උදෙසීමෙහි යෙදවීම.
  2. විනය නොපිළිගන්නා එහි නොහික්මෙන භික්ෂූන් සසුනෙන් ඉවත් කිරීම.
  3. මහානායක, අනුනායක ආදී ශාසන අනුලෝම නොවන තානාන්තර අවලංගු කර දැමීම.
  4. බෞද්ධ රාජ්‍ය නායකයෙකු පත්කර ගැනීම.
  5. භික්ෂූන් වහන්සේලා දේශපාලනය කිරීමෙන් වැළැක්වීම.
  6. භික්ෂූන් වහන්සේලා රැකියා කිරීමෙන් ඉවත් කිරීම සහ භික්ෂූන් වහන්සේලාට රැකියා දීම වැළැක්වීම.
  7. භික්ෂූන් වහන්සේලා මුදල් පරිහරණයෙන් වැළැක්වීම.
  8. මුදල් එකතුකිරීම පිණිස පන්සල්වල පිංකැට භාවිතා කිරීම වැළැක්වීම.
  9. භික්ෂූන් වහන්සේලා විසින් බැංකුවල පවත්වාගෙන යන ගිණුම් ඇත්නම් ඒවා අවලංගු කිරීම.
  10. භික්ෂූන් වහන්සේලා විසින් පවත්වාගෙන යන ණය සහ හර කාඩ්පත් ඇත්නම් ඒවා අවලංගු කිරීම.
  11. බැංකු සහ වෙනත් මූල්‍ය ආයතනවලින් භික්ෂූන් වහන්සේලාට ණය සේවාවන් ලබාදී ඇත්නම් ඒවා නැවැත්වීම සහ මතුවට ලබාදීම වැළැක්වීම.
  12. පන්සල්වල ශාසන අනුලෝම නොවන වෙනත් ආයතන පවත්වාගෙන යෑම වැළැක්වීම.
  13. ධර්ම ග්‍රන්ථ, දේශනා ආදියට කර්තෘ හිමිකම් කීම, ප්‍රකාශන හිමිකම් කීම, පිටපත් කිරීමේ අයිතීන් අවුරා තිබීම ආදිය ශ්‍රාවකයින් විසින් කර තිබීම නොසලකා හැරීම සහ මතුවට එවැනි අයිතීන් දක්වමින් පළ කිරීම වැළැක්වීම.
  14. කර්තෘ හිමිකම්, ප්‍රකාශන හිමිකම්, පිටපත් කිරීමේ අයිතීන් අවුරා තිබීම ආදිය ශ්‍රාවකයින් විසින් කර තිබීම නොසලකා හැරියත් ධර්ම ග්‍රන්ථ, දේශනා ආදිය භාවිතා කිරීමේදී සහ ප්‍රචාරය කිරීමේදී බුදු දහමට අනුකූල ලෙස කිරීමට ඉඩ සැලසීම සහ අනනුකූල ලෙස කිරීම වැළැක්වීම.
  15. පුවත්පත්, සඟරා, ගුවන්විදුලිය, රූපවාහිනිය ආදිය හරහා ධර්ම ප්‍රචාරය කිරීමේදී ධර්මයට විනයට අනුකූල ලෙස එය කරන්නේ කෙසේ දැයි කර්තෘවරුන්ව සහ වෙනත් අදාළ පුද්ගලයින්ව දැනුවත් කිරීම සහ ධර්මයට විනයට අනුකූල නොවන ලෙස ධර්මය ප්‍රචාරය කිරීම වැළැක්වීම.
  16. දැනට ඇති ස්වරූපයට අනුව යූටියුබ් සහ ෆේස්බුක් වැනි වෙබ් අඩවි ධර්ම ප්‍රචාරය සඳහා භාවිතා කිරීම නිසා ශාසනයට සිදුවන අගතිය පිළිබඳව බුද්ධ ශ්‍රාවකයින් දැනුවත් කිරීම.
  17. යූටියුබ් සහ ෆේස්බුක් වැනි වෙබ් අඩවි භාවිතයේදී ධර්මයට සහ විනයට අනුකූල ලෙස බුදු දහම ප්‍රචාරය කෙරුමට පරිශීලකයින්ට ඉඩ දෙන ලෙස සහ අධර්මවාදී අවිනයවාදී ක්‍රියාවන් කෙරුම අවුරන ලෙස එම ආයතනවලට දැන්වීම සහ එසේ නොකරයි නම් යූටියුබ් සහ ෆේස්බුක් වැනි වෙබ් අඩවි ලංකාවේ තහනම් කිරීම සහ එවැනි වෙබ් අඩවිවලට පිවිසීමට ඇති හැකියාවන් වැළැක්වීම.
  18. සමාජයේ පාලි භාෂා අවබෝධය වැඩි කිරීමට කටයුතු කිරීම.
  19. කවරෙක් ධර්මය නිවැරදිව දේශනා කරනවා ද, කවරෙක් ධර්මය නිවැරදිව දේශනා නොකරනවා ද යැයි සොයමින් සිටිනා බුද්ධ ශ්‍රාවකයින්ව නිවැරදි ධර්ම දැනුමෙහි අභිවෘද්ධිය පිණිස සහ ධර්මය ප්‍රතිවෙධ කෙරුම පිණිස කවර ලෙසකින් ක්‍රියා කළ යුතු දැයි දැනුවත් කිරීම.