වහරක අභයරතනාලංකාර හිමි සත්ත්වයා මරණින් මතු ඉපදීම පිළිබඳ අන්තරාභවයක් සහ ගන්ධබ්බයෙකු ඇසුරින් අධර්මය දෙසීම

සත්ත්වයෙක් මියගොස් මතු ඉපදීමේදී ඒ අතර කාල පරාසයක් තුළ එම සත්ත්වයාට අන්තරාභව නම් අවධියක් ඇතැයි ද, එකල්හි ගන්ධබ්බයා යන නමින් හැඳින්වෙන එම සත්ත්වයා මතු උපදිනා තෙක් එම ස්වරූපයෙන් සැරිසරනා බව ද බුදු දහමට ගැළපෙන සත්‍ය ප්‍රකාශ නොවෙයි. එම අදහස් අධාර්මිකයි. පහත දැක්වෙන්නේ වහරක අභයරතනාලංකාර හිමි අන්තරාභවයක් ඇතැයි ද, ඊට අනුරූප ගන්ධබ්බ නම් සත්ත්වයින් ඇතැයි ද යන ධර්මානුකූල නොවන අදහස් එසේ නොව ධර්මානුකූල බවට විස්තර කරන ආකාරය දැක්වෙන වීඩියෝවක්. වැරදි වැටහීම මත එහිමියන් පවසන එම කරුණුවලට ප්‍රතිවිරුද්ධ කරුණු එහිමියන් විසින්ම පැවසෙන බව එම වීඩියෝව පරික්ෂාකාරීව නැරඹුවොත් වටහා ගන්න පුළුචන්.

එම වීඩියෝවේ මෙසේ පැවසෙනවා:

[ කාලය 1:25 ]
... දැං ඒ අවස්ථාව අද මේ ථේරවාදී පරපුරේ නිගමනයක් තියෙනවා මැරුනට පස්සෙ ක්ෂණයකින් උපදිනවා මිසක් ආයෙ සැරයක් කොහෙවත් ඉන්නේ නෑ කියලා. ඒක මේ හදාගත්ත දෙයක් මිසක් යථාර්ථයක් නෙවෙයි. ධර්මානුකූල පැත්තක් නෙවෙයි ඒ. ...

[ කාලය 3:44 ]
... විඤ්ඤාණය පවතින්නේ කොහොමද කියන එක බුදුරජානන් වහන්සේම දේශනා කරනවා. වච්ඡ, මේ කයත් අත්හැරියා, මතු කයකට ගියෙත් නෑ. ඒ අතර සත්ත්වයා තණ්හාව උපාදානය කරගෙන ජීවත්වෙනවා කියලා බුදුරජානන් වහන්සේ දේශනා කරනවා. එහෙනං උපාදානය කරලා තියෙන්නේ, විඤ්ඤාණය පවතින්නේ තණ්හාව උපාදානය කරගෙන. ...

[ කාලය 5:15 ]
... එහෙනං ඉතින් මෙතන ඒ ටිකත් තියෙනවා නං ඒකාන්තයෙන් අදෘෂ්‍යමානව හිටියත් ගන්ධබ්බයා කියන සත්ත්වයා එතන ඉන්නවා. ඒක තමයි තණ්හාව උපාදානය කරගෙන ජීවත් වෙන(?) සත්ත්වයා. එයා සූක්ෂම කායිකව ඉන්නවා කිව්වෙ ඕකයි. ...

[ කාලය 6.28 ]
... විඤ්ඤාණයක් තනිකර කොහෙවත් යන්නේ නෑ. ඒක දේශනාවෙ පැහැදිලි කරලා තියෙනවා රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සඤ්ඤාවෙන් තොරව, සඞ්ඛාරයෙන් තොරව විඤ්ඤාණයක ගමනක් හෝ හිටීමක් හෝ වැඩීමක් හෝ චුතියක් හෝ නොකියමි කියලා බුද්ධ දේශනාවේ පැහැදිලිවම දේශනා කරනවා. එහෙනං විඤ්ඤාණයක් මව් කුසට යනවා කියලා බුදුරජානන් වහන්සේ පෙන්නුවා. යන්නේ කොහොමද, තනියෙන් යන විඤ්ඤාණයක් නෑ, රූප, වේදනා, සඤ්ඤා, සඞ්ඛාර කියන හතරෙන් තොරව.

රූප කිව්වහම අපි දකින මස් ලේ කය විතරක් රූප කියලා ගණන් ගත්තොත් තමයි මේ මුළාවට පත් වෙන්නේ. රූප අති සියුම්. සූක්ෂම රූප තියෙනවා, ඒවාගේම ඝනීභවන රූප තියෙනවා, දෙවියන්ගේ දිව්‍යමය රූප තියෙනවා, ප්‍රේතයන්ගේ ප්‍රේතමය රූප තියෙනවා, ගන්ධබ්බයාට ගන්ධබ්බ රූප තියෙනවා. මස් ලේ කයක් ඇත්තා වූ මේ කරජකාය කියන කෙනාට කරජකාය රූපයක් තියෙනවා. ...

ගන්ධබ්බ නම් දේව කොට්ඨාශයක් ගැන ත්‍රිපිටකයේ බොහෝ විස්තර පවතිනවා. එනමුත් ඒ සඳහන්ව ඇත්තේ වහරක හිමි පවසා ඇති ස්වරූපයේ මරණය සහ ඉපදීම අතර ස්වභාවයක ඉන්නා සත්ත්ව පිරිසක් ගැන නොවේ. ඉහත වීඩියෝවේ කයක් රහිත තණ්හාව උපාදාන කරගත් සත්ත්වයින් ගැන පැවසෙනවා. වහරක හිමි ඒ දක්වා ඇත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ සළායතනවග්ගයේ අඛ්‍යාකතසංයුත්තය අබ්‍යාකතවග්ගයේ කුතූහලශාලා සූත්‍රයේ අවසානයේ සඳහන්ව ඇති කාරණාව. කුතූහලශාලා සූත්‍රයේ සඳහන් මේ කයත් අතහැර මතු කයකටත් නොපැමිණි තණ්හාව උපදාන කරගත් සත්ත්වයා ගන්ධබ්බයා යැයි දක්වා ඉන් පසුව ඒ ගැන යම් විස්තරයක් කොට ගන්ධබ්බයාට සූක්ෂම කයක් ඇති බව වහරක හිමි පවසන අයුරු වීඩියෝවේ දැක්වෙනවා. සූක්ෂම කයක් ඇති බව වහරක හිමිම කුතූහලශාලා සූත්‍රයෙන් දක්වන ලද කරුණු වලට ගැළපෙන්නේ නැහැ. වහරක හිමිගේ එම අන්තරාභව සහ ගන්ධබ්බ කථා දහම් පද පටලවා දෙසීමක් මිස සත්‍ය දෙසීමක් නොවන බව එආකාරයෙන් දකින්න පුළුවන්.

"පිරිසිදු ථේරවාදය අන්තරා භවය ප්‍රතික්ෂේප කරනවාද?" යන මාතෘකා ඇතිව පළ කොට ඇති වහරක හිමිගේ දේශනාවකත් එහිමියන්ගේ අන්තරාභව, ගන්ධබ්බ පාපී දෘෂ්ටියට අනුරූප කරුණු කියැවී තිබෙනවා:

[ කාලය 1:12 ]
... එදා කිව්ව අන්තරාභවය කියන එකයි, අද අදහස් කරන අන්තරාභවය කියන එකයි එකක් නෙවෙයි. මේක දෙකක්. ...

[ කාලය 5:40 ]
... ඉතින් අන්තරාභවය ප්‍රතික්ෂේපයි කියලා කිව්වහම අන්තරාභවය කියන්නේ මොන අන්තරාභවයද? ඒ පොතේ පෙන්නපු අන්තරාභවය නං ඒකාන්තයෙන් පිළිගන්න හේතු නෑ. ...

[ කාලය 6:18 ]
... මේ දැන් මේ කථා කරන අන්තරාභවය කියන්නේ එහෙම නැති එකක් ගැන නෙවෙයි මේ කියන්නේ. ඒක රූප සහිතයි, වේදනා සහිතයි, සඤ්ඤා සහිතයි, සඞ්ඛාර සහිතයි, විඤ්ඤාණ සහිතයි. ඒක මොන භවයටද අයිති? කාම භවයටයි අයිති. ඒ ජාතියේ එකක් ගැනයි දැන් කියන්නේ. ...

ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ කථාවස්තුප්‍රකරණයේ අට්ඨමවග්ගයේ අන්තරාභවකථා යටතේ අන්තරාභවයක් යැයි යමක් නොමැති බව දැක්වෙනවා. ඉහත දක්වන ලද දේශනාවේ වහරක හිමි පවසා ඇත්තේ අන්තරාභවය යැයි එහිමියන් දක්වා ඇති අන්තරාභවය කථාවස්තුප්‍රකරණයේ විස්තරව ඇති මිත්‍යා දෘෂ්ටික අන්තරාභවය නොවන බවයි. අන්තරාභවයක් නොමැතිය යන කථාවස්තුප්‍රකරණයේ ඇති කාරණාවෙන් බේරී වෙනත් ස්වරූපයක අන්තරාභවයක් ඇති බව දැක්වීමට වහරක හිමි උත්සාහ කොට තිබුනත් එහිමියන්ද ඒ පවසා ඇත්තේ දහම් පද පටලවාගෙන අසත්‍යයක් බව පෙර විස්තර කළ අයුරින් වටහා ගන්න පුළුවන්.

"ගන්දබ්බයාගේ චුති පටිසංදිය." යන මාතෘකා ඇතිව පළව ඇති වහරක හිමිගේ තවත් දේශනා කොටසක ද කුතූහලශාලා සූත්‍රය ඇසුරෙන් වහරක හිමිම පවසන ලද්දට විරුද්ධ කරුණු කියැවී තිබෙනවා:

[ කාලය 0:20 ]
ගන්ධබ්බ කියලා කියන්නේ අමුතු ජාතියේ එක්කෙනෙක් නෙමෙයි. මේ සැරිසරාගෙන යන ලෝකයේ සූක්ෂම කායිකව ජීවත් වන සත්ත්ව අවස්ථාවක්. ඒ අවස්ථාවෙදි ගන්ධබ්බ රූපය සියුම්. ඒ සියුම් රූපයකින් ඉන්න පුද්ගලයාට පේනවා, ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා. කන බොන ආහාර කන්ඩ බොන්ඩ පුළුවන් - සියුම් ආහාර (ඊට?) ගැළපෙන ඒවා. ඒ විදිහෙ අත්බැවක්.

... ගන්ධබ්බ අවස්ථාවට පත් උනාම එයා කාමාවචර ලෝකයේ ඉන්න සත්ත්වයෙක්මයි. භවය කාම භවයමයි. ...

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ ඛන්ධවග්ගයේ ඛන්ධසංයුත්තයේ උපයවග්ගයේ ආරම්භයේ ඇති උපය සූත්‍රය, බීජ සූත්‍රය සහ උදාන සූත්‍රය යන සූත්‍රවල පහත දැක්වෙන කාරණාව දකින්න පුළුවන්:

මහණෙනි, යමෙක් මෙසේ කියා නම් (කිසේ යැ: ) “මම රූපය තබා වේදනා තබා සංඥාව තබා සංස්කාර තබා විඥානයාගේ ආගතිය හෝ ගතිය හෝ ව්‍යුතිය හෝ උත්පත්තිය හෝ වෘද්ධිය හෝ විරූඪිය හෝ විපුලත්වය හෝ පනවමි” යි (කියායි). තෙල කරුණ විද්‍යමාන නො වෙයි.

එසේ සඳහන්ව තිබූ පමණින් සත්ත්වයා මරණින් මතු ඉපදීමේදී රූප, වෙදනා, සඤ්ඤා, සඞ්ඛාර, විඤ්ඤාණ ඇතිව ගන්ධබ්බ නම් සත්ත්වයෙක් ලෙස මතු ඉපදීමක් කරා ගමන් කරන්නේ යැයි කෙසේ පවසන්නද? එබඳු දහමක් බුදුරජානන් වහන්සේ පවසා නැහැ. බුදුරජානන් වහන්සේ නොපවසා ඇති දෙයක් බුදුරජානන් වහන්සේ පවසා ඇති දෙයක් ලෙස දහම් පද පටලවා ගෙන හැර දැක්වීමකුයි වහරක හිමි කර ඇත්තේ.

බුදු දහමේ නොයෙක් ආකාරයේ සත්ත්වයින් ගැන කියැවෙනවා. ස්කන්ධ පහේම ප්‍රතිලාභයෙන් යුතු සත්ත්වයින් ගැන ද, සඤ්ඤා රහිත සත්ත්වයින් ගැන ද, අරූප සත්ත්වයින් ගැන ද බුදු දහමේ කියැවෙනවා. සත්ත්වයින්ගේ විවිධත්වය පිළිබඳ මෙබඳු බොහෝ විස්තර ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ විභඞ්ගප්පකරණයේ ධම්‌මහදය විභඞ්ගයේ සඳහන්ව තිබෙනවා. එම විවිධත්වයන් පිළිබඳව නිවැරදිව නොදැන සිටි නිසා වසර ගණනාවකට පෙර මම ද යම් යම් දහම් පද වරදවා ගත් අවස්ථාවන් තිබී තිබෙනවා.

ගමන් කරන විඤ්ඤාණයක් පරමාර්ථ ලෙස නොමැති බව සහ විඤ්ඤාණය පටිච්චසමුප්පන්නව හටගන්නා බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිමනිකායේ මූලපණ්ණාසකයේ මහායමකවග්ගයේ ඇති මහාතණ්හාසඞ්ඛය සූත්‍රයට අනුව ද වටහා ගන්න පුළුවන්. විඤ්ඤාණයේ ගමන් කිරීමක් පිළිබඳ සාති නම් භික්ෂූවකට උපන් පාපී දෘෂ්ටියක් පිළිබඳ සහ ඒ පිළිබඳ බුදුරජානන් වහන්සේ පැවසූ දෑ එම සූත්‍රයේ විස්තර වී තිබෙනවා.

එම මහාතණ්හාසඞ්ඛය සූත්‍රයේ (622 පිටුව) ගැබ්ගැනීම පිළිබඳව ද සඳහන්ව තිබෙනවා. ඒ මෙසේයි:

තිණ්ණං ඛො පන භික්ඛවෙ සන්නිපාතා ගබ්භස්සාවක්කන්ති හොති: ඉධ මාතාපිතරො සන්නිපතිතා හොන්ති, මාතා ච න උතුනී හොති, ගන්ධබ්බො ච න පච්චුපට්ඨිතො හොති, නෙව තාව ගබ්භස්සාවක්කන්ති හොති. ඉධ මාතාපිතරො ච සන්නිපතිතා හොන්ති, මාතා ච උතුනී හොති, ගන්ධබ්බො ච න පච්චුපට්ඨිතො හොති, නෙව තාව ගබ්භස්සාවක්කන්ති හොති. යතො ච ඛො භික්ඛවෙ මාතාපිතරො සන්නිපතිතා හොන්ති, මාතා ච උතුනී හොති, ගන්ධබ්බො ච පච්චුපට්ඨිතො හොති, එවං තිණ්ණං සන්නිපාතා ගබ්භස්සාවක්කන්ති හොති.

මවගේ සහ පියාගේ සන්නිපතිතයත්, මවගේ ඔසප් වීමත්, උපදනා සත්ත්වයෙකුගේ එළඹ සිටීමත් යන කාරණාවන් තුන එක්ව සිදුවීමෙන් ගැබ්ගැනීම සිදුවන බව එහි විස්තර වෙනවා. උපදනා සත්ත්වයෙකුගේ එළඹ සිටීම පාලි භාෂාවෙන් එහි දැක්වෙන්නේ "ගන්ධබ්බො ච පච්චුපට්ඨිතො හොති" ලෙසින්. ඒ සඳහන් "ගන්ධබ්බෝ" යන වචනයෙන් වහරක හිමි පවසා ඇති ආකාරයේ ගන්ධබ්බ නම් සත්ත්වයෙක් දැක්වේ යැයි මිත්‍යා දෘෂ්ටි ගත් සමහර පුද්ගලයින් සිටිනවා. "ගන්ධබ්බො ච පච්චුපට්ඨිතො හොති" යන්නෙන් එබඳු සත්ත්වයෙක් ගැන කියැවෙන්නේ නැහැ. ඉන් දැක්වෙන්නේ පිළිසිඳ ගැනීමට ආසන්න සත්ත්වයෙක් බවත්, මවගේ සහ පියාගේ සන්නිපතිතය සමීපයේ සිට බලා සිටින සත්ත්වයෙක් යැයි ඉන් නොදැක්වෙන බවත්, කර්ම යාන්ත්‍රණයෙන් එම අවස්ථාවේ ඉපදීමට ආසන්න සත්ත්වයෙක් ඉන් දැක්වෙන බවත් බුද්ධඝොස අටුවාචාරීන් වහන්සේ මහාතණ්හාසඞ්ඛයසූත්‍රවණ්ණනාවේ (258 පිටුව) ලියා ඇති විස්තරයට අනුව වටහා ගන්න පුළුවන්:

ගන්ධබ්බොති තත්‍රෑපකසත්තො. පච්චුපට්ඨිතො හොතීති න මාතාපිතුන්නං සන්නිපාතං ඔලොකයමානො සමීපෙ ඨිතො පච්චුපට්ඨිතො නාම හොති, කම්මයන්ත-යන්තිතො පන එකො සත්තො තස්මිං ඔකාසෙ නිබ්බත්තනකො හොතීති අයමෙත්ථ අධිප්පායො.

බුද්ධඝොස අටුවාචාරීන් වහන්සේගේ විස්තරය අන් දහම් පද සමඟ ද ගැළපෙන බවත්, වහරක හිමිගේ එම අන්තරාභව ගන්ධබ්බ කථා අසත්‍ය ගෙතීම් බවත් තවත් අයුරකින් වටහා ගන්න පුළුවන්. ඒ මිලින්දප්‍රශ්න ඇසුරෙන්. සාගලපුරයේදී මැරෙන යම් අයෙක් කාශ්මීරදේශයෙහි ඉපදීමේදීත්, යම් අයෙක් බ්‍රහ්මලොකයෙහි ඉපදීමේදීත් යන ඉපදීම් දෙකේදී කවරෙක්වත් වැඩි ශීග්‍රතරව නොමැතිව එක සමව උපදින බව මිලින්ද රජතුමා සහ නාගසෙන හිමියන් අතර සිදුව ඇති සාකච්ඡාවේ සිංහල මිලින්දප්‍රශ්නය පොතේ 96 වෙනි පිටුවේ මුල් ඡේද දෙකෙන් දැක්වෙන සාකච්ඡා කොටසට අනුව වටහා ගන්න පුළුවන්. වහරක හිමි පවසා ඇති කරුණු සත්‍යය වූවා නම් නම් එය එසේ සිද්ධ වෙන්න බැහැ. සූක්ෂම කයක් ඇතැයි සැලකුවහොත් එම සූක්ෂම කය දරන වහරක හිමි පවසා ඇති ආකාරයේ කාමභවයේ සත්ත්වයින් එක සමාන කාලයකින් සාගලපුරයේ සිට කාශ්මීරදේශයටත්, සාගලපුරයේ සිට බ්‍රහ්මලෝකයට කෙසේ නම් යන්නද?

සත්ත්වයෙක් මියගොස් මතු ඉපදීමේදී ඒ අතර කාල පරාසයක් තුළ එම සත්ත්වයාට අන්තරාභව නම් අවධියක් ඇතැයි ද, එකල්හි ගන්ධබ්බයා යන නමින් හැඳින්වෙන එම සත්ත්වයා මතු උපදිනා තෙක් එම ස්වරූපයෙන් සැරිසරනා බව ද බුදු දහමට ගැළපෙන සත්‍ය ප්‍රකාශ නොවෙයි. මරණින් මතු උපතේදී පටිච්චසමුප්පන්නව රූප, වෙදනා, සඤ්ඤා, සඞ්ඛාර, විඤ්ඤාණ හටගැනීම සිදුවනවා මිස විඤ්ඤාණය පමණක් ගමන් කරන්නේ යැයි කීවත් එසේ නොව රූප, වෙදනා, සඤ්ඤා, සඞ්ඛාර සමඟ විඤ්ඤාණය ගමන් කරන්නේ යැයි කීවත් එබඳු ගමන් කිරීම් ගැන බුදු දහමේ කියැවෙන්නේ නැහැ. එම අන්තරාභව, ගන්ධබ්බ සහ විඤ්ඤාණයේ ගමන් කිරීම පිළිබඳ කථා අධාර්මිකයි.