වෙසක් දින නාඩගම: ධර්මය ගැඹුරුද, නැද්ද?

නිවේදිකා තුමිය:
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ අපට පැහැදිලි කරා බුදුරජානන් වහන්සේ විසින් අවබෝධ කොට දේශනා කළ මේ ධර්මයේ ගැඹුරු බව. ස්වාමීන් වහන්ස, මේ ගැඹුරු වූ ධර්මය සාමාන්‍ය පුද්ගලයාට අවබෝධ කර ගැනීම අසීරුයි ද?

නිර සතුන් ගිය මඟ ඔස්සේ දහම් දෙසන රාජගිරියේ අරියඥාණ හිමි:
එහෙයි, මෙහෙමයි. ධර්මය ගැඹුරුයි කියලා සකස් වෙන්නෙත් හිතක්, පංවූපාදානස්කන්ධයක්. ධර්මය සරලයි කියලා සකස් වෙන්නෙත් හිතක්, පංචූපාදානස්කන්ධය. එතකොට බුදුරජානන් වහන්සේ කියනවා පංචූපාදානස්කන්ධය කියන්නේ මාරයා කියලා. එහෙනං ධර්මය ගැඹුරුයි කියන හිතත්, ධර්මය සරලයි කියන හිතත් දෙකම අනිත්‍යයි කියපු තැන ඔබ ධර්මය තුළ ඉන්නවා.

ඔබ ධර්මය ගැඹුරුයි කියන තාක් කල් ඔබ ධර්මය තුළ නැහැ. ඔබ ධර්මය සරලයි කියන තාක් කල් ඔබ ධර්මය තුළ නැහැ, මොකද ඔබ මේ අවස්ථා දෙකේදිම අනිත්‍ය වූ පංචූපාදානස්කන්ධයක් තමයි අල්ලගෙන ඉන්නේ. මොකද ගැඹුරුයි කියලා කිව්වෙත් ඔබ තුළ ඵස්සය නිසා සකස් උනා වූ විඳීමක්. සරලයි කියලා කිව්වෙත් ඔබ මේ හිත තුළ ඵස්සය නිසා සකස් උනා වූ විඳීමක්. නමුත් ඒ විඳීම ඔබට අයිති නැහැ. එතකොට ඔය ඔබට අයිති නැති දේ ඔබ අතහැරිය තැන අනිත්‍යයි කියලා දැක්ක තැන අන්න ඔබ අවබෝධාත්මකව ධර්මය තුළ ඉන්නවා.

ඒ නිසා නිරතුරුවම මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දි සැබෑම සැපය කියන දේ හඳුනාගන්න. එතකොට ඔබට මේ වෙසක් සමයෙදී ඔබ දක්ෂ උනොත් සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම තුළ මේ ලෝක ධාතුවේ තියෙන සැබෑම සැපය මොකක්ද කියන කාරණය හඳුනාගන්න, අන්න ඔබට පුළුවන් අදින් පස්සේ සැබෑම සැපය කරා යන්නා වූ මාර්ගය තුළ ගමන් කරන්න. ...