බුද්ධාගම සහ බුද්ධධර්මය යනු දෙකක් ද? සහෝදර චාල්ස් තෝමස් වරදවා ගනී.

[ කාලය 00:02:17 ]

ඉතින් එතෙන්දි බොහොම ස්ථීර ලෙසම මට කියන්ඩ අවශ්‍යතාවය තියෙන්නේ ආගම සහ ධර්මය ඉරක් ගහලා වෙන් කළ යුතුයි. ආගම කියන තැන දී මිනිස්සුන්ව ඕනෑ තරම් වහල් කරලා තමුන්ට ඕනෑ විදිහට නාස් ලණුව දාලා මෙහෙයවන්ඩ පුළුවන් ආගම කියන මාතෘකාව යටතේ. හැබැයි ධර්මය තුළ ඒ ඉඩකඩ නැහැ. බුදුහාමුදුරුවෝ, ජේසු කිසිසේත්ම ආගමක් දේශනා කරපු අය නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් අවුරුදු හැත්තෑ ගාණකට පස්සෙ තමයි ක්‍රිස්තියානිය ඇතිවෙන්නේ අන්තියෝකයේදී. එතකොට ඒ කියන්නේ ජේසුගේ කාලයේ ක්‍රිස්තියානිය කියලා එකක් තිබිලා නෑ. ...

...

ඒ නිසා මේ රටේ මිනිස්සුන්ව ආගමික ලෙස භක්තිමත් ලෙස තමුන්ගේ වහලෙක් බවට පත්කරගෙන හෙට(?) තමුන්ට අවශ්‍ය මතය ඒ මිනිස්සු ලව්වා ඉටුකර ගැනීමේ අරමුණක් යම් කණ්ඩායමක් සතුව පවතිනවා නං ඒ කණ්ඩායම මිනිස්සු ධර්මාවබෝධයට එන එකට විරුද්ධයි. ...

ඉහත වීඩියෝවේ දැක්වෙන සාකච්ඡාවේදී සහෝදර චාල්ස් තෝමස් ආගම යන වචනයෙන් නොමනා යමක් දැක්වෙන්නේ යැයි නොයෙක් අයුරින් විස්තර කරනවා. ආගම යන වචනයෙන් අන්ධ භක්තික ස්වරූප වූ, මුළාවන ස්වරූප වූ, රැවටිලිකරුවන්ට වහල් වන ස්වරූප වූ විශ්වාසයක්, ඇදහීමක්, පිළිගැනීමක් දැක්වෙන බව හැඟවෙන පරිද්දෙන් සහෝදර චාල්ස් තෝමස් ඒ කරන විස්තර කිරීම් මනා යැයි පිළිගැනීම සුදුසුද? ඒ විස්තර කිරීම්වලට අනුව බුද්ධාගම යන්නෙන් නොමනා දෙයක් දැක්වෙන බවත් බුද්ධධර්මය යන්නෙන් මනා දෙයක් දැක්වෙන බවත් පිළිගත යුතුද?

සහෝදර චාල්ස් තෝමස් ආගම යන වචනය පිළිබඳ ඒ කරන විස්තර කිරීම් ආගම යන වචනයෙන් කුමක් දැක්වෙන්නේ දැයි මනාව නොදැන සිදුකරන හිස් අදහස් දැක්වීම් පමණයි. බුද්ධාගම යන්නෙන් බුදුරජානන් වහන්සේගේ ඉගැන්වීම හැඟවෙනවා. එහි ඇති කිසිම වරදක් නැහැ. බුද්ධධර්මය යන්නෙනුත් බුදුරජානන් වහන්සේගේ ඉගැන්වීම හැඟවෙනවා. ලොව ඇති අන් ආගම් විවිධ මට්ටම්වලින් අන්ධ භක්තික ස්වරූප උවත්, මුළාවන ස්වරූප උවත්, රැවටිලිකරුවන්ට වහල් වන ස්වරූප උවත් බුද්ධාගමේ එවන් ලක්ෂණ ඇත්තේ නැහැ. බුද්ධාගමේ ඇත්තේ සත්‍යය ප්‍රකාශ කරන්නන් සහ සත්‍යය කෙරෙහි භක්තිය ඇති කිරීම, සත්ත්වයින් මුළාවෙන් මුදවා නොමුළාවට පැමිණවීම, කිසිදු රැවටිලිකරුවෙකුට වහල් නොවන නිවහල් තත්ත්වයකට පුද්ගලයින් පැමිණවීම යැයි කියන්න පුළුවන්. මේ නිසා ලොව ඇති ආගම් අතර බුද්ධාගම උත්තරීතරයි.

ආගම යන වචනයෙන් අන්ධ භක්තික ස්වරූප වූ, මුළාවන ස්වරූප වූ, රැවටිලිකරුවන්ට වහල් වන ස්වරූප වූ විශ්වාසයක්, ඇදහීමක්, පිළිගැනීමක් දැක්වෙන්නේ යැයි සැලකීම සුදුසු නැහැ.

බුද්ධධර්මය හැඟවීම පිණිස බුද්ධාගම යන වචනය භාවිතා කිරීමෙන් අර්ථ විකෘතියක් සිදුවන්නේ නැහැ. තවද ඉන් බුදුරජානන් වහන්සේව, ධර්මය හෝ සංඝයාව හෑල්ලුවට ලක්කිරීමක්, බාල්දු කිරීමක්, පහත් කොට සැලකීමක්, අපහාසයට ලක්කිරීමක් සිදුවන්නේත් නැහැ.

මෙසේ විස්තර කළත් නුවණැත්තන්ට වඩාත් යෝග්‍ය වන්නේ ආගම යන වචනය පෙර කල කෙසේ භාවිතා වී ඇත්දැයි විමසා බැලීම. මේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ දසකනිපාතයේ පඨමපණ්ණාසකයේ අක්කොසවග්ගයේ කුසිනාරා සූත්‍රයෙන් උපුටා ගැනීමක්:

[ පාලි භාෂාවෙන් ]

පුනචපරං භික්ඛවෙ චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං: “බහුස්සුතො නු ඛොම්හි සුතධරො සුතසන්නිචයො යෙ තෙ ධම්මා ආදිකල්‍යාණා, මජ්ඣෙ කල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්ථා සබ්‍යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති. තථාරූපා මෙ ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානු පෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො, උදාහුනො”ති? නො චෙ භික්ඛවෙ භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්‍යාණා මජ්ඣෙ කල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්ථා සබ්‍යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, තස්ස භවන්ති වත්තාරො: “ඉඞ්ඝ තාව ආයස්මා ආගමං පරියාපුණස්සූ”ති. ඉතිස්ස භවන්ති වත්තාරො.

[ සිංහල පරිවර්තනය ]

තව ද මහණෙනි, අන්හට චොදනා කරනු කැමැති චොදක මහණහු විසින් මෙසේ ප්‍ර‍ත්‍යවෙක්‍ෂා කටයුතු: “ශ්‍රැතධර වූයෙම් ශ්‍රැතසන්නිචය ඇතියෙම් බහුශ්‍රැතයෙම් ද සාර්ථ සව්‍යඤ්ජන වූ ආදි කල්‍යාණ වූ මධ්‍ය කල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ යම් ඒ ධර්‍ම කෙනෙක් කෙවල පරිපූර්ණ පරිශුද්ධ බ්‍ර‍හ්මචර්‍ය්‍යය ප්‍ර‍කාශ කරත් නම් මා විසින් එබඳු දහම්හු ධෘත වූවාහු බහුශ්‍රැත වෙත් ද, වචනයෙන් පරිචිත වෙත් ද, මනසින් අනූප්‍රෙක්ෂිත වෙත් ද ප්‍රඥාදෘෂ්ටියෙන් සූප්‍රතිවිද්ධ වෙත් ද මට තෙල දහම විද්‍යාමාන ද නැත හොත් අවිද්‍යාමාන දැ”යි. ඉදින් මහණ ශ්‍රැතධර වූයේ, ශ්‍රැතසන්නිචය ඇතියේ බහුශ්‍රැත නො වේ නම් සාර්ථ සව්‍යඤ්ජන වූ ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්ය්‍යවසානකල්‍යාණ වූ යම් ඒ ධර්ම කෙනෙක් කෙවල පරිපූර්ණ පාරිශුද්ධ බ්‍රහ්මචර්ය්‍යය පවසත් නම් ඔහු විසින් එබඳු ධර්මයෝ ධෘත-බහුශ්‍රැත නො වෙත් නම් වචනයෙන් පරිචිත නො වෙත් නම් මනසින් අනුප්‍රෙක්ෂිත නො වෙත් නම් දෘෂ්ටියෙන් සුප්‍ර‍තිවිද්ධ නො වෙත් නම් ඔහට “එසේ නම් ආයුෂ්මත් පළමු ව ආගමය පිරිවහව”යි කියන්නාහු වෙති. ඔහට මෙසේ කියන්නාහු ම වෙත්.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දකනිකායේ පෙතවත්ථුපාළියේ මහාවග්ගයේ අම්බසක්ඛර පෙතවස්තුවෙන් (106 වන පිටුව) උපුටා ගැනීමක්:

[ පාලි භාෂාවෙන් ]

558. සඛිලො වදඤ්ඤූ සුවචො සුමුඛො
ස්වාගමො සුප්පටිමුත්තකො ච,
පුඤ්ඤස්ස ඛෙත්තං අරණවිහාරී
දෙවමනුස්සානඤ්ච දක්ඛිණෙය්‍යො.

[ සිංහල පරිවර්තනය ]

558. මොළොක් ගුණ ඇති දන් දෙනසුලු මනා වචන ඇති නොහොත් කීකරු වූ යහපත් මුහුණක් ඇති මැනැවින් දත් ආගම ධර්මය ඇති පමණ දැන කථා කරන පින් කෙතක් වූ මෛත්‍රීවිහරණ ඇති ඒ මහණ දෙව්මිනිසුන්ගේ දක්ෂිණාවට සුදුස්සෙකි.

ත්‍රිපිටකයේ විනය පිටකයේ මහාවග්‌ගපාළියේ උපොසථක්ඛන්ධකයේ දිසඞ්ගමිකාදිවත්ථුවෙන් උපුටා ගැනීමක්:

[ පාලි භාෂාවෙන් ]

16. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ සම්බහුලා භික්ඛූ විහරන්ති බාලා අබ්‍යත්තා. තෙ න ජානන්ති උපොසථං වා උපොසථකම්මං වා පාතිමොක්ඛං වා පාතිමොක්ඛුද්දෙසං වා. තත්ථ අඤ්ඤො භික්ඛු ආගච්ඡති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්‍යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. තෙහි භික්ඛවෙ, භික්ඛූහි සො භික්ඛු සඞ්ගහෙතබ්බො අනුග්ගහෙතබ්බො උපලාපෙතබ්බො උපට්ඨාපෙතබ්බො චුණ්ණෙන මත්තිකාය දන්තකට්ඨෙන මුඛොදකෙන. නො චෙ සඞ්ගණ්හෙය්‍යුං අනුග්ගණ්හෙය්‍යුං උපලාපෙය්‍යුං උපට්ඨාපෙය්‍යුං චුණ්ණෙන මත්තිකාය දන්තකට්ඨෙන මුඛොදකෙන, ආපත්ති දුක්කටස්ස.”

[ සිංහල පරිවර්තනය ]

16. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක අඥ වූ අව්‍යක්ත වූ බොහෝ භික්ෂූහු වාසය කරත්. ඔහු උපොසථය හෝ උපොසථකර්‍මය හෝ පාතිමොක්ඛය හෝ පාතිමොක්ඛුද්දෙසය හෝ නො දනිත්. එතැනට බොහෝ ඇසූ පිරූ තැන් ඇති දත්ආගම ඇති ධර්‍මධර වූ විනයධර වූ උභයමාතෘකාධර වූ නුවණැත්තා වූ ව්‍යක්ත වූ විදසුන්නුවණැති පව් කිරීමෙහි ලජ්ජා ඇති කුකුස් ඇති ශික්ෂාකාමී වු අන් භික්ෂුනමක් එයි. මහණෙනි, ඒ ආවාසික භික්ෂූන් විසින් ඒ භික්ෂුතෙමේ (ඇඟ ගානා) සුණුයෙන් මැටියෙන් දැහැටියෙන් මුව දෝනාදියෙන් සංග්‍රහ කළ යුතු ය. අනුග්‍රහ කළ යුතු ය. ප්‍රිය වචනයෙන් කතා කළ යුතු ය. උපස්ථාන කළ යුතු ය. ඉදින් සුණුයෙන් මැටියෙන් දැහැටියෙන් මුවදෝනා දියෙන් සංග්‍රහ නො කරන්නාහු නම්, අනුග්‍රහ නො කරන්නාහු නම්, ප්‍රිය වචනයෙන් නො කතා කරන්නාහු නම්, උපස්ථාන නො කරන්නාහු නම්, දුකුළාඇවැත් වේ.”

ඉහත දැක්වූ ත්‍රිපිටක මූලාශ්‍රවලට අනුව ආගම යන වචනය බුදුරජානන් වහන්සේගේ ඉගැන්වීම හැඟවීම පිණිස භාවිතා කර ඇති බව දකින්න පුළුවන්. ආගම යන වචනය සිංහල පරිවර්තනයේ පමණක් නොව පාලි භාෂාවෙන් බුද්ධ වචනයෙන්ම තිබෙන බවත් දකින්න පුළුවන්. එසේ ඇති විට බුද්ධාගම යන වචනය නොමනා යෙදුමකැයි සකාරණව ගරහන්න බැහැ. එබැවින් සහෝදර චාල්ස් තෝමස් ඉහත වීඩියෝවේ දැක්වෙන සාකච්ඡාවේදී ආගම යන වචනය අරභයා පවසන බොහෝ දෑ සහෝදර චාල්ස් තෝමස්ගේ නොදැනුවත්කම නිසා පවසන හිස් අදහස් දැක්වීම් පමණයි.

සහෝදර චාල්ස් තෝමස් ආගම යන වචනය නොමනා අර්ථයකින් භාවිතා නොකොට ස්වකීය අදහස් ඉදිරිපත් කළා නම් තමයි සුදුසු. යම් ආගමක යහපත් දෑ දැකිය හැකි නම් ඒ යහපත් දෑ පැසසීමත්, යම් ආගමක අයහපත් දෑ දැකිය හැකි නම් ඒ අයහපත් දෑ ගැරහීමත් කරා නම් එහිත් වරදක් නැහැ. බුද්ධාගම ගැන කීමේදී යම් පුද්ගලයෙක් හෝ පිරිසක් බුද්ධාගම තමන්ට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවා ගැනීම පිණිස භාවිතා කිරීම, පුද්ගලයින්ව රැවටීම පිණිස භාවිතා කිරීම, නොයෙක් ජන කොටස් අතර වෛරය හිංසනය දුක් පීඩාවන් ඇතිවන පරිදි භාවිතා කිරීම බුද්ධාගමට අනුකූල නොවන නුසුදුසු භාවිතාවන් යැයි හැඟෙන පරිදි සහෝදර චාල්ස් තෝමස් ස්වකීය අදහස් ඉදිරිපත් කළා නම් සුදුසුයි.