දෙවියන් ගැන ප්‍රලාප දෙසන හෑගොඩ විපස්සි හිමි බුදුරජානන් වහන්සේව හඳුනාගෙන නැත

හෑගොඩ විපස්සි හිමි පිළිබඳව මම සිතා සිටියේ දේශපාලනමය නැඹුරුවකින් කටයුතු කරන බවක් පෙනුනත්, බහුලව දහම් දේශනා නොකරන බව පෙනුනත්, ගැඹුරු දහම් කරුණු මනාව විස්තර කරන්න හැකි භික්ෂූන් වහන්සේ නමක් විය යුතුයි කියා. ධර්ම විකෘතිකයින්ට විරුද්ධව එහිමියන් බොහෝ වෙහෙස වී කටයුතු කර ද තිබෙනවා. එනිසා එහිමියන් හමුවීමට බොහෝ කලක සිට මට උවමනාවක් පැවතියා. අද දින උදෑසන රත්මලානේ එහිමියන් වැඩ වාසය කරන විහාරස්ථානයට ගොස් එහිමියන්ව හමුවන්නට මට හැකි වූවා.

මම එහිමියන්ගෙන් චතුරාර්යය සත්‍යයන්හි සංඛත අසංඛත බව පිළිබඳව සහ මාර්ග සත්‍යය අනිත්‍යයි ලෙස බලමින් අනිත්‍යානුපස්සනාවක් වැඩීම ප්‍රයෝජනවත්ද, නැත්ද යන්න පිළිබඳව යම් විමසීමක් කළා. එහිමියන්ගේ පිළිතුරු දීම ගැන මම ප්‍රසාදයට පත් වූයේ නෑ.

"කෙලෙස් නසන්න යන අය වරදවා ගන්නවා, කෙලෙස් නැසෙන්නයි ඕනෑ.", "පව් නොකර බිරිඳ සහ දරුවන් සමඟ මනාව ජීවිතය ගත කරමින් ධර්මය ප්‍රගුණ කිරීමයි ගිහියෙකු ආර්යය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතු ක්‍රමේ.", "පුරුෂයෙක් තම දරුවන් සහ බිරිඳ හැර දමා පැවිදි වීම මහා අපරාධයක්." ආදී දෑ ද එහිමියන් පැවසුවා. එහිමියන් පැවසූ දෑ අතුරෙන් මට එකඟ විය නොහැකි දේවලුත්, යම් සීමාවන්ට යටත්ව එකඟ විය හැකි දේවලුත් පැවතියා. නිවන් දැකීම ගැන බුදුරජානන් වහන්සේ යම් යම් ආකාරයන්ට දේශනා කර තිබෙනවාද, හෑගොඩ විපස්සි හිමි ඊට ප්‍රතිවිරුද්ධ දෑ ද පවසන බවයි මට හිතුනේ.

සෘජුව සාකච්ඡා නොකෙරුනත් භික්ෂූන්ට අකැප මුදල් භාවිතය පිළිබඳව එහිමියන් කළ යම් යම් සදහන් කිරීම් නිසා එහිමියන් පවට හිරි නැති බැවින් අලජ්ජී භික්ෂුවක් ලෙසයි මම දැක්කේ.

එහිමියන් සමඟ පැවති සාකච්ඡාවේදී ධර්ම විකෘතිකයින්ගේ ක්‍රියාවන් පිළිබඳව ද සාකච්ඡා කෙරුනා.

සාකච්ඡාව අතරතුර එහිමියන් පැවසූ දෙයක් නම් හෙට දින අරුණ පුවත්පතේ එහිමියන්ගේ ලිපියක් පළවන බවයි. පහත දැක්වෙනුයේ දෙදහස් විස්ස වසරේ මාර්තු අට වන දින ඇතිව පළ කෙරී ඇති "සති අග අරුණ" නම් පුවත්පතේ "කතරගම දෙවියෝ දර්ශනය වූ අය ඉන්නේ පිස්සන් කොටුවේ" යන මාතෘකා ඇති හෑගොඩ විපස්සි හිමි සමග තුෂාර උඩවත්ත නම් ලේඛකයෙකු කරන ලද සාකච්ඡාවක් දැක්වෙන එම ලිපියෙන් උපුටා ගන්නා ලද කොටස් කිහිපයක්:

Bhikkhu Hegoda Vipassi lies about God

"දෙවියන්, මරුන්, බඹුන් නැත." යන මිසදිටු අදහසේ සිට හෑගොඩ විපස්සි හිමි පවසා ඇති අන්ධබාල කථා රැසක් එම ලිපියෙහි සඳහන්. "කතරගම දෙවියන්" පිළිබඳව මම නොදන්නා නමුත් හෑගොඩ විපස්සි හිමි පවසා ඇති  "දෙවියන්, මරුන්, බඹුන් නැත." යන්න සත්‍ය නම් පරම පවිත්‍ර බුද්ධ භාෂිතය අඩංගු ත්‍රිපිටකය විහිළු සහගත පොත් ගොඩක් සහ ලොව සිටි අග්‍රම ප්‍රඥාවන්තයා වූ බුදුරජානන් වහන්සේ යනු තවත් එක් මෝඩපහේ පුද්ගලයෙකු ලෙසයි විද්‍යාමාන වන්නේ.

බුදුරජානන් වහන්සේ යනු හෑගොඩ විපස්සි හිමි පවසා ඇති ආකාරයේ විහිළු සහගත ක්‍රියා කර ඇති අයෙක් නොවෙයි. බුදුරජානන් වහන්සේ යමක් පැවසුවාද එහි අන් පරිද්දක් නෑ. හෑගොඩ විපස්සි හිමි බුදුරජානන් වහන්සේව හඳුනාගෙන නැහැ.

වයස අවුරුදු දහයේදී පැවිදිව මෙතුවක් කල් ගිහිල්ලත් ඔවැනි අන්ධබාල දෑ පවසනවා නම් හෑගොඩ විපස්සි හිමිගේ පැවිද්ද හිස්.

උක්ත ලිපිය කියවූ විට මට මෙසේත් සිතුනා: "හෑගොඩ විපස්සි හිමිට පිස්සු හැදිලා"