කමල් වික්‍රමනායකගේ විකාල භෝජන දානය

භික්ෂූන් වහන්සේලා ශික්ෂාපද සමාදන්ව දිවි හිමියෙන් එම ශික්ෂාපද රැකිය යුතු යැයි මම සිතනවා. විකාල භෝජන ශික්ෂාපදය ගැනත් එසේමයි. අන් අය ඊට ප්‍රතිවිරුද්ධව කටයුතු කර ඇත් නම් ඒ ගැන ලිවීමටත් මම පෙළඹී තිබෙනවා. එසේ වූ මම භික්ෂූන් වහන්සේ නමක් උදෙසා විකාල භෝජන පිරිනැමීමක් මෑතකදී සිදු කලා. මේ ලිපිය ලියන්නේ ඒ ගැනයි.

අදාළ භික්ෂූන් වහන්සේ වයෝවෘද්ධ භික්ෂූන් වහන්සේ නමක්. උකුල් ඇටයක ආබාධයක් හටගෙන ප්‍රතිකාර පිණිස රෝහල් ගතව ශල්‍යකර්මයකට භාජනය වී මේ ලිපිය ලියන අවස්ථාවේදීත් රජයේ රෝහලේ නැවතී ප්‍රතිකාර ලබනවා. පසුගිය සති දෙකක පමණ කාලය තුළ මම උන්වහන්සේට උදෑසන කැඳ ලබාදීමත් ප්‍රතිකාර පිණිස අවශ්‍ය යම් යම් දෑ ලබා දීමත් සිදු කළා. ඇදේම වැතිර ඉන්නා උන්වහන්සේට කෑම කැවීම, උන්වහන්සේව පිරිසිදු කිරීම ආදිය සිදුකරමින් ඉන්නේ උපසම්පදාව ලබා ඇති වයස අවුරුදු තිස් පහක් පමණ වන අන් ගෝල භික්ෂූන් වහන්සේ නමක්.

ආරණ්‍යවාසී මේ භික්ෂූන් වහන්සේලාව මම පෙර දැන සිටියේ නැහැ. උන්වහන්සේලා ගැන වැඩි විස්තර මම දන්නේ නැහැ. මා ගැන වැඩි විස්තර උන්වහන්සේලා දන්නෙත් නැහැ. මේ අපහසු අවස්ථාවේදී උන්වහන්සේලා කතාවෙන් වෙහෙසට පත් වේ නම් එයත් නුසුදුසුයි. ඒ නිසා වැඩි කතා බහක් නොමැතිව උන්වහන්සේලාගේ උවමනා එපාකම් සොයා බලා හැකි පමණින් අවශ්‍යතාවයන් සපුරා දීමටයි මා උත්සුක වූයේ.

රෝගී භික්ෂූන් වහන්සේ දියවැඩියාවෙන් ද පීඩා විදිනවා. දියවැඩියාව නිසා උන්වහන්සේට ඉන්සියුලින් ඖෂධය ලබා දීම ද කෙරෙනවා. ඇදටම වී එකතැන සිටින විට උණුසුම නිසා සමේ හටගන්නා තුවාල කිහිපයක් ද හටගෙන ඇති බැවින් ඊට ද ප්‍රතිකාර කෙරෙනවා.

ශල්‍යකාර්මයෙන් දින කිහිපයකට පසුව බෙහෙත් නිසා දෝ උන්වහන්සේට අතිරේක අපහසුකම් ඇතිවුනා. ඒ සක්‍රීය බව බෙහෙවින්ම අඩු වීම, අසාමාන්‍ය ලෙස බඩ ඉඳිමීම, කෙළ සමඟ දුඹුරු පැහැ යමක් පිටවීම, හිටි ගමන් රුධිර සීනි මට්ටම බෙහෙවින් අඩුව දාඩිය දා සිහි නැති තරම් තත්වයකට පත් වීම, සෙම ගතියක් ඇතිවීම ආදියයි. ඔක්සිජන් දීම ද සිදු කෙරුනා. සමහර විටෙක ඇස් ඇර බැලුවත්, සුළුවෙන් වචන කිහිපයක් කතා කළත්, අතපය මදක් චලනය කළත් උන්වහන්සේ බොහෝ විට ඉන්නේ සිහි මද නිද්‍රා සහගත ලෙසකින්. කටින් ආහාර දීමට නොහැකි වීමක් ඇතිවීම නිසා මේ වන විට නාසයෙන් ඇතුළු කරන ලද නලයක් මාර්ගයෙන් ආහාර ලබා දීම සිදු කෙරෙනවා. මරණාසන්න බවක් පෙනෙන්නේ නෑ. එකවර ඇතිවූ බැවින් මේ අතිරේක අපහසුකම් දින කිහිපයකින් පහව යන්නත් පුළුවන්.

උන්වහන්සේට ඉන්සියුලින් ඖෂධය ලබා දීම රෑ කාලයේදීත් සිදු කෙරෙනවා. රෑ කාලයේදීත් ආහාර ගැනීම වෛද්‍ය උපදෙස්වලට ඇතුලත්.

මෙසේ ඇති විට විකාල භෝජන ශික්ෂාපදය කැඩුනාට කමක් නැද්ද? මම නම් ඉන්නේ ඒත් එය රැකිය යුතුයි යන මතයේ. විකාලයෙහි පානය කළ හැකි දෑ ආදිය භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තිබෙනවා. එසේ උවත් මේ අවස්ථාවේ මට එය අන් අයට ඒත්තු ගැන්වීමට හැකි තත්වයක් නැහැ. ඒ නිසා රෑ ආහාරය සඳහා සූප් සාදා කුඩු කොට පෙරා දීමට ඇති වූ අවශ්‍යතාවය මම කැමැත්තෙන්ම ඉටු කළා. සමහර විට රෝහලින් පිටව යන තෙක් ඉදිරි දින කිහිපයකදීත් මම එය සිදුකරාවි.

නොකළ යුත්තක් සිදුකළා යැයි අදහස් ඇති උවත් මේ ඇති වූ තත්වයේදී විකාල භෝජන ලබා දීම මවිසින් සිදු කරණු ලැබීම පිළිබඳ මම දුක් වන්නේ නැහැ. මම ඒ භෝජන ලබා දීම සිදු කළේ මම එය නොකළොත් අපහසුකම් නොබලා නිදි වරමින් රෝගාතුර ලොකු ස්වාමීන් වහන්සේව පිය සෙනෙහසින් බලාකියා ගන්නා උවටැන් කරන ස්වාමීන් වහන්සේ ආහාර සෙවීමට ගන්නා අතිරේක උත්සාහය වැළැක්වීම පිණිසයි.

විකාල භෝජන කැමැත්තෙන්ම ලබා දුන්නත් භික්ෂූන් වහන්සේලා විකාල භෝජනයෙන් වැළැක්ම පිළිබඳ අන් අය තුළ ප්‍රසාදයක්, නැඹුරුවක් ඇති කිරීම පිණිස මම අවස්ථාවට සුදුසු පමණ යැයි සිතූ යම් යම් සුළු කටයුතු කළා. මතුවටත් එසේ කෙරුමට බලාපොරොත්තු වෙනවා.

සබැඳිය:

  1. විකාලයේ ආහාර පිළිගැනීමෙන් කිරුළපන ධම්මවිජය හිමි ඇවතට පැමිණීම