උපධි යන වචනයේ තේරුම කුමක් ද?

යම් භික්ෂූන් වහන්සේ නමක් උපධි යන වචනයේ තේරුම කුමක් දැයි ඊයේ රෑ මගෙන් විමසා සිටියා. ඒ ගැන සොයා බලා මම උන්වහන්සේට එම වචනයේ තේරුම ත්‍රිපිටකයේම දැක්වෙන බව සහ එම තැන ගැන විස්තර ලබා දුන්නා. උපධි යන වචනය මම ඊට පෙර දැක තිබුණත් එම වචනයේ අර්ථය කුමක් දැයි නිසි ලෙස දැනගෙන සිටියේ නැහැ. ධර්මය විමසන අන් අයටත් එසේම වන්න පුළුවන්.  එබැවින් එම වචනයේ අර්ථය ගැන මෙම සටහට තැබීම අන් අයට ප්‍රයෝජනවත් වන්න පුළුවන්.

උපධි යන වචනයේ අර්ථ දෙකක් පිළිබඳ මම දැනුවත්.

උපධි යන වචනය ගේදොර ඉඩකඩම්, යානවාහන, අඹුදරුවන්, ධනධාන්‍ය ආදිය හැඟවීම පිණිස භාවිතා වීම එක් අර්ථයක්. කර්මසමාදානය පිළිබඳ කියැවෙන විට "උපධිසම්පත්ති", "උපධිවිපත්ති" ලෙස එම වචනය එම අර්ථයෙන් යෙදෙන බව සමහර අය මේ වන විටත් දන්නවා විය හැකියි. ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ විභඞ්ගප්‍රකරණයේ ඤාණවිභඞ්ගයේ 183 පිටුවේ එම වචන යෙදී තිබෙනවා.

උපධි යන වචනය යෙදෙන දෙවන අර්ථය නම් එම වචනය ක්ලේශයෝ, ස්කන්ධයෝ සහ අභිසංස්කාරයෝ හැඟවීම පිණිස භාවිතා වීමයි. එම වචනයෙන් එම කරුණු දැක්වෙන බව ත්‍රිපිටකයේ ඛුද්දකනිකායේ මහානිද්දෙසපාළියේ තිස්සමෙත්තෙය්‍යසූත්‍රනිර්‍දේශයේ 195 පිටුවේ දැක්වෙනවා. එම වචනය යෙදී ඇති එක් සූත්‍රයක් ලෙස ත්‍රිපිටකයේ ඛුද්දකනිකායේ සුත්තනිපාතයේ මහාවග්ගයේ එන ද්වයතානුපස්සනා සූත්‍රය දැක්විය හැකියි.