රාජගිරියේ අරියඥාණ හිමි සංඝයාට තම තමන් කැමති පරිදි ධර්මයට හා විනයට අනුකූල නොවන දේත් කළ හැකිය යන අර්ථ ඇති ලෙස අධාර්මික සහ අවිනය කරුණු පැවසීමෙන් ප්‍රතිපදාව වැරදවීම

රාජගිරියේ අරියඥාණ හිමි විනාඩි 1, තත්පර 11න් පමණ පසු:

ඒ නිසා මහත්තයෝ සාසනයේ කොතැනකවත් මේ මොහොතේ අපි වැරැද්දක් දකින්නේ නැහැ. තේරුණාද? බුදුරජානන් වහන්සේ ජීවමානව ඉද්දී අපිට විනය කාරණා දෙසිය විසි හතක් පනවනවා. භික්ෂුණීන්ලට විනය කාරණා තුන්සිය අටක් පනවනවා. ඇයි? ඒ කාලෙත් ස්වාමින්වහන්සේලා අතින් වැරදි සිද්ධ උනා. ඒ නිසා එක කෙනෙක් ගිහි කෙනෙක් පැවිදි වෙනවා මං මේ ජීවිතයේ නිවන් අවබෝධය උදෙසා පැවිදි වෙනවා කියලා. තව කෙනෙක් පැවිදි වෙනවා මං දිව්‍ය, බ්‍රහ්ම සැප උදෙසා පැවිදි වෙනවා කියලා. තව කෙනෙක් පැවිදි වෙනවා මම සාසනය රට ජාතිය ආරක්ෂා කිරීම උදෙසා පැවිදි වෙනවා කියලා. තව කෙනෙක් පැවිදි වෙනවා මං අධ්‍යාපනය ඉගෙනගෙන රටට සේවයක් කරනවා කියලා(?) උදෙසා පැවිදි වෙනවා කියලා. නමුත් මහත්තයෝ මේ සෑම කෙනෙක් තුළම මේ ස්වභාවයන්ට අපි වැරැද්දක් දකින්න විදිහක් [නැහැ]. ඒක ලෝක ස්වභාවය මහත්තයෝ. තේරුණාද? අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න.

රාජගිරියේ අරියඥාණ හිමි විනාඩි 3, තත්පර 36න් පමණ පසු:

ඒ නිසා මහත්තයා පැවිදි වෙනවා නම් මේ කැමති දෙයක් තෝරාගන්න පුළුවන් මහත්තයෝ. මහත්තයාට අවශ්‍යනම් මේ ජිවිතයේදීම මේක නිවලා දාන්න පුළුවන්. නැත්නම් ආත්මභාව හතක් තුළ මේක නිවලා දාන්න පුළුවන්. කැමතිනම් කල්ප ගනන් තව ඈතට යන්න පුළුවන්. ඒ නිසා මහත්තයෝ මේ මොහොතේ සමාජයේ සාසනයේ කොතැනකවත් කොතැනකවත් වැරැද්දක් කියන කාරණයක් අපි දකින්නේ [නැහැ] මොකද ලෝක ධර්මයයි සාසනය තුළින් අපි දකින්නේ කියලා.

පහත දැක්වෙන්නේ රාජගිරියේ අරියඥාණ හිමි පවසන කරුණු වල අර්ථ වටහා ගැනීම පිණිස ගොතන ලද උපමා කථාවක්:

පිරිහීම

ඔන්න ඉස්සර එකෝමත් එක රටක් තිබ්බා. ඒ රටේ මිනිස්සු නිශ්ඵල දෑ, වැරදි දෑ කළේ නැහැ. ඔවුන්ගේ තේජස, බල පරාක්‍රමය දස දෙස පැතිරුනා. එය එරට වැසින්ට පමණක් නොව පිටරට වැසියන්ටත් ප්‍රයෝජනවත් උනා, ආශිර්වාදයක් උනා. නමුත් පසු කාලෙක ඒ රටේ මිනිස්සු නිශ්ඵල දෑ, වැරදි දෑ කරන්න පටන් ගත්තා. එවිට ඒ රටේ මිනිස්සු රටවැසියා පිළිපැදිය යුතු නීති රීති, පොලිසියක්, අධිකරණයක්, ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන්න කටයුතු කළා. තවත් කල් යන විට තව තවත් පිරිහීම නිසා ඒ රටේ මිනිස්සු වැඩි වැඩියෙන් නිශ්ඵල දෑ, වැරදි දෑ කරන්න පටන් ගත්තා. එවිට වෙනත් රටක අයෙක් පිරිහුණු රටේ පුද්ගලයෙකුගෙන් මෙහෙම ඇහුවා:

"වර්තමානයේ ඔබේ රටේ බොහෝ පුද්ගලයින් නිශ්ඵල දෑ, වැරදි දෑ කරන්න පෙළඹිලා බව අපිට දකින්න හම්බවෙලා තියෙනවා. මේක උචිත කාරණයක් නෙවෙයි කියන එක බොහොම පැහැදිලියි. නමුත් මේ යන රටාව පිළිබඳව, ඔබ රටේ පුද්ගලයින් වැරදි දිශාවකට ගමන් කිරීම පිළිබඳව පිටරට වැසියන් වශයෙන් අපි කුමක්ද කළ යුත්තේ?"

එතකොට පිරිහුණු රටේ පුද්ගලයා මෙහෙම කියපි:

"මෙහෙමයි මහත්තයෝ, අපේ මුතුන් මිත්තෝ පැහැදිලිව කියලා තියෙනවා අපි බොහොම ශක්තිමත් ජාතියක් කියලා. තේරුණාද? ඒ නිසා කොයිම වෙලාවකවත් පිටරට වැසියන්ට අපේ රටේ වැසියන්ගේ හරි වැරදි සොයන්න යෑම අදාළ නැහැ. මොකද අපේ මුතුන් මිත්තෝ පනවපු නීති රීති පද්ධතියක් තියෙනවා. ඒ නීති රීති පද්ධතිය ක්‍රියාත්මක කරන්න රටේ ඉහල පුද්ගලයින් ඉන්නවා. අපේ මුතුන් මිත්තෝ කියලා තියෙනවා අපි බොහොම ශක්තිමත් ජාතියක් කියලා. ශක්තිමත් අපේ හරි වැරදි සොයන්න ආවොත් කොහෙන් අවසන් වෙයිද කියලා අපට කියන්න බැහැ. ශක්තිමත් ජාතියක් වන අපේ ගුණ යහපත්කම් වැඩි වෙන්න වැඩි වෙන්න අපේ ශක්තිමත් බව වැඩියි කියනවා අපේ මුතුන් මිත්තෝ. තේරුණාද? ඒ නිසා මහත්තයෝ අපේ රටේ කොතැනකවත් මේ මොහොතේ අපි වැරැද්දක් දකින්නේ නැහැ. තේරුණාද? ඉස්සර අපේ මුතුන් මිත්තෝ රටවැසි අපිට නීති රීති, පොලිසියක්, අධිකරණයක්, ව්‍යවස්ථාවක් පනවා තිබෙනවා. ගැහැණු අයට අදාළ නීති රීති ආදියත් පනවා තිබෙනවා. ඇයි? ඒ කාලෙත් අපේ රටේ මිනිස්සු අතින් වැරදි සිද්ධ උනා. ඒ නිසා එක කෙනෙක් රැකියාවක් කරන්න ගන්නවා මං මේ ජීවිතයේ දැහැමිව ඵලවත්ව ක්‍රියා කළ යුතුයි කියලා. තව කෙනෙක් රැකියාවක් කරන්න ගන්නවා මං කන්තෝරු ගොස් එහි ස්ත්‍රීන් සමඟ විහිළු තහළු කර සතුටු වෙමියි කියලා. තව කෙනෙක් රැකියාවක් කරන්න ගන්නවා මම වැඩ කරන තැන රැක ගන්න ජීවත් වෙනවා කියලා. තව කෙනෙක් රැකියාවක් කරන්න ගන්නවා මං නැති උනොත් මේ රටේ ස්ත්‍රීන්ට දරුවන් නොලැබේ, රටේ පිරිමි හිටියාට ඔවුන් වඳය, ඒ නිසා මම ඊට සුසුදු පරිදි රැකියාවක් කර ජීවත් වෙනවා කියලා. නමුත් මහත්තයෝ මේ සෑම කෙනෙක් තුළම මේ ස්වභාවයන්ට අපි වැරැද්දක් දකින්න විදිහක් නැහැ. ඒක ලෝක ස්වභාවය මහත්තයෝ. තේරුණාද? අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න."

(අර්ථ වටහා ගැනීම පිණිස ගොතන ලද උපමා කතාවකි)
කමල් වික්‍රමනායක

උපමා කථාවේ පැවසෙන ආකාරයට රටේ නීති රීති ආදිය පනවා තිබෙන බැවින් රටවැසියා කවර වැරැද්දක් කළත් එහි වැරැද්දක් දකින්න විදිහක් නැතැයි කීම බෙහෙවින්ම මුළා වූ කීමකි. එබඳු මතයක් සමාජයක ස්ථාපිත වූ විට ඒ සමාජයේ නීති රීති පිළිපැදීමක් නැත. රට වැසියාගේ යහපත උදෙසා ස්ථාපිත කරන ලද නීති රීති බල ගන්වන ආයතන වන පොලිසිය, අධිකරණය ආදී ආයතනද ප්‍රයෝජනයක් නැති ආයතන වේ යැයි යන විපරීත මතයක්ම එවිට සමාජයේ ස්ථාපිතව පවතියි. එම ආයතනද පිරිහේ, රට වැසියාද පිරිහේ. කෙතරම් ප්‍රයෝජනවත් උවත්, කෙතරම් යෝග්‍ය උවත්, මනා කොටම පනවන ලද උවත් විපරීත දෘෂ්ටිය හේතුවෙන් ඒ පනවන ලද නීති රීති ආදිය නොසලකා හැරීම නිසා ඒ රට වැසියන්ට ඉන් ප්‍රයෝජනයක් නොලැබේ. නොසලකා හැරීම නිසා අවැඩක්ම සිදුවේ. විපරීත දෘෂ්ටිය ඒ සමාජය විනාශය කරා රැගෙන යයි.

එලෙසින්ම බුදුරජානන් වහන්සේ විසින් විනය පනවා තිබෙන බැවින් භික්ෂූන් වහන්සේලා කවර වැරැද්දක් කළත් එහි වැරැද්දක් දකින්න විදිහක් නැතැයි කීම බෙහෙවින්ම මුළා වූ කීමකි. එයින් කියැවෙන්නේ විනය තිබුනත් විනය නොපිළිපැදීමේ වැරැද්දක් දකින්න බැරිය යන විපරීත දෘෂ්ටියයි. බුදු සසුනේ ගිහි පැවිදි දෙපිරිසම එම විපරීත දෘෂ්ටියට පැමිණි විට භික්ෂූන්ද පිරිහේ, ගිහියන්ටද අවැඩක්ම වේ. කෙතරම් ප්‍රයෝජනවත් උවත්, කෙතරම් යෝග්‍ය උවත්, මනා කොටම පනවන ලද උවත් විපරීත දෘෂ්ටිය හේතුවෙන් ඒ පනවන ලද විනය නොසලකා හැරීම නිසා බුද්ධ ශ්‍රාවකයින්ට ඉන් ප්‍රයෝජනයක් නොලැබේ. නොසලකා හැරීම නිසා අවැඩක්ම සිදුවේ. විපරීත දෘෂ්ටිය සම්මා සම්බුද්ධ සාසනය අතුරුදන් කරයි.

වරදවා ගත් තවත් පිරිස් තමන්ගේත් අන් අයගේත් පිරිහීමට හේතු වන එබඳු විපරීත මත වලට "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ...!!!" යැයිද කියති. මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යැයි සිතමින් ඔවුන් යම් දිශාවකට යොමු වී ඇතිද, ඔවුන්ගේ ඒ මඟ සැබෑවටම යොමුව ඇත්තේ කොහාට දැයි ඔවුන් නොදනිති.

රාජගිරියේ අරියඥාණ හිමි "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යැයි පවසා ඇති ආකාරයේම ධර්මයට හා විනයට නොගැළපෙන ප්‍රකාශයක් කළ භික්ෂූවක් ගැන ප්‍රථම ධර්ම සංගායනාවට හේතු වූ නිදානය ගැන ඇති විස්තරයේ සඳහන් වේ. එය ත්‍රිපිටකයේ විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ පඤ්චසතිකක්ඛන්ධකයේ සංගීති නිදානයේ දැකිය හැක. ඒ මෙසේයි:

මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ:

3. ඇවැත්නි, එසමයෙහි සුභද්ද නම් මහලු ව පැවිදි වූවෙක් ඒ පිරිසෙහි හුන්නේ වෙයි. ඇවැත්නි, ඉක්බිති ඒ සුභද්ද නම් මහලු පැවිද්දා ඒ භික්ෂූන්ට මෙය කී ය. "ඇවැත්නි, කම් නැත. ශොක නො කරවු. නො වැළපෙවු, අපි ඒ මහාශ්‍රමණයාගෙන් මොනවට මිදුණෝ වෙමු. මෙය තොපට කැප ය, මෙය තොපට නො කැප ය යි කීමෙන් උපද්‍රවයට ද පත්කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමති නම් එය කරන්නෙමු. යමක් නො කැමැත්තෙමු නම් එය නො කරන්නෙමු' යි.

එහෙයින් ඇවැත්නි, අපි අධර්මය බැබළීමටත් ධර්මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබළීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර, අධර්මවාදීන් බලවත්වීමටත් ධර්මවාදීන් දුබලවීමටත් පෙර, අවිනයවාදීන් බලවත්වීමටත් විනයවාදීන් දුබලවීමටත් පෙර, ධර්මය ද විනය ද සඞ්‌ගායනා කරම්හ'යි. (මහාකාශ්‍යප තෙරුන් වහන්සේ වදාළහ.)

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ උජුපටිපන්න ය. එනම් බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු සහ භික්ෂුනීන් වහන්සේලා නිවන වෙත සෘජුව පිළිපන් පිරිසකි. සංඝයාගේ මෙම ගුණය  "උජුටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ" ලෙසින් සිහි කරමු. මෙය ධර්මයට ගැළපේ. මෙය විනයට ගැළපේ.

"අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න සඟ ගුණ කැණීමකි. "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න සඟ ගුණ සැඟවීමකි. "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න සංඝයා නොමඟ යැවීමකි. "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න ශ්‍රාවක උපාසක සහ උපාසිකාවන් නොමඟ යැවීමකි. "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න අධර්මයකි. "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න අවිනයකි.