පිටිදූවේ සිරිධම්ම හිමි විනය විරෝධී ලෙස තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම

ඉහත වීඩියෝවේ විනාඩි තුනයි තත්පර විසි තුනෙන් පමණ ඉදිරියට ආසන්නයේ පිටිදූවේ සිරිධම්ම හිමි විසින් විනය විරෝධී ලෙස තමන් රහත් යැයි ගිහියන්ට පවසන අයුරු දැකිය හැකියි.

ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ පාරාජිකකාණ්ඩයේ සිවුවන පාරාජිකාවට අනුව යම් භික්ෂූවක් තමන්ගේ නැති රහත් බවක් ස්ත්‍රීයකට හෝ පුරුෂයෙකුට හෝ ගිහියෙකුට හෝ පැවිද්දෙකුට කීම පාරාජිකා ඇවතට කරුණු විය හැකියි. පාරාජිකා ඇවතක් වී නම් එම භික්ෂූව භික්ෂූ භාවයෙහි පැරදෙනවා, අසංවාස වෙනවා. බුදුරජානන් වහන්සේ විසින් පණවන ලද එම ශික්ෂාපදය සිංහලෙන් දැක්වෙන්නේ මෙසේයි:

“යම් මහණෙක් නොදන්නේ ආර්‍ය්‍යඥානදර්‍ශනයට යෝග්‍යවූ උතුරුමිනිස්දම් තමා කෙරෙහි එළවා ‘මෙසේ දනිමි, මෙසේ දකිමි’ යි අධිමානයෙන් තොර ව කියන්නේ ද, ඉන් පසුකාලයෙහි විචාරණු ලබන්නේ හෝ නොවිචාරණු ලබන්නේ හෝ පරිජි අවන්නේ පිරිසිදු බැව් කැමැත්තේ මෙසේ කියන්නේ ය: “ඇවැත්නි, මම ‘නො දන්නෙම් මෙසේ දනිමි’ යි කීමි. නො දක්නෙම් දකිමියි හිස් බොරු කීමි”යි මේ මහණ ද පැරදුනේ සංවාසරහිත වේ.”

ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තිය පාළියේ භූතාරොචනශික්ෂාපදයට අනුව යම් භික්ෂූවක් සැබෑවටම රහත් උවත් එම ඇති රහත් බව අනුපසම්පන්නයින්ට කීම බුදුරජානන් වහන්සේ විසින් වළක්වා තිබෙනවා. එම ශික්ෂාපදය සිංහලෙන් දැක්වෙන්නේ මෙසේයි:

"යම් මහණෙක් අනුපසප්නක්හට උතුරුමිනිස්ධම ඇරොජන්නේ නම් විද්‍යමානයෙහි පචිති වේ" යයි.

භික්ෂූවක් ඇති උතුරුමිනිස්ධම අනුපසන්නයින්ට කීම පිළිබඳව වැඩි විස්තරයක් "වලස්මුල්ලේ අභය හිමි සිල්වත් භික්ෂූන් මාර්ගඵල, ධ්‍යාන ආදිය ගැන ප්‍රසිද්ධියේ නොකීම අරභයා එවන් සිල්වත් උතුමන් ගැන නොමනා බස් කීම" යන ලිපියේ ලියැවී තිබෙනවා. මෙම ලිපියෙහි විස්තර වන දෑට අදාළ කරුණුද එහි ඇති බැවින් එම ලිපියද කියවා බලන්න.

සිව්වන පාරාජිකා ශික්ෂාපදය සහ භූතාරොචනශික්ෂාපදය යන ශික්ෂාපද දෙකම ගත් විට යම් භික්ෂූවක් රහත් වූවත්, නො වූවත් තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම බුදුරජානන් වහන්සේ විසින් වළක්වා තිබෙනවා. ඉහත දක්වන ලද වීඩියෝවේ සදහන් පරිදි පිටිදූවේ සිරිධම්ම හිමි විසින් තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයටත්, ප්‍රසන්නයන් අතුරෙහිදු ඇතැමුන්ගේ වෙනස් බවටත් හේතු වන විනය විරෝධී ක්‍රියාවක්.