පිටිදූවේ තුච්ඡ සිරිධම්මගේ අන්තර්ජාතික අන්ධබාල අම්බලම

වීඩියෝවේ ආරම්භයට ආසන්නයේම සිවුරු දරන්නෙක් උදැල්ලක් අරන් පොළොව කණිනවා. භික්ෂූන් වහන්සේලාට පොළොව කණින්න හොඳ යැ? හරියට ගිහියෙක් වාගේ. භික්ෂූන් වහන්සේලා පොළොව කැණීම අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිසත්, ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදය පිණිසත් හේතු වන කරුණක් නොවෙයි. එය අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයටත්, ප්‍රසන්නයන් අතුරෙහිදු ඇතැමුන්ගේ වෙනස් බවටත් හේතු වෙනවා. ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තිය පාළියේ පඨවිඛණනශික්ෂාපදය මෙසේ සඳහන් වෙනවා:

"යම් මහණෙක් පොළොව කණින්නේ නම් හෝ කණවන්නේ නම් හෝ පචිති වේ" යයි.

වීඩියෝවේ කථිකයා විනාඩි 3යි තත්පර 10න් පමණ ඉදිරියට ආසන්නයේ මෙසේ පවසනවා:

අප ස්වාමීන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා වෙහෙස මහන්සිය නොතකා නගරයේ මෙන්ම ගම් බිම් සිසාරා සෑම සතියකම පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන අතර ඒ ලැබෙන සියළුම ද්‍රව්‍ය දුගී දුප්පත් ජනතාව වෙත ලබා දෙන්නේ හද පිරි කරුණාවෙන් යුක්තවයි.

බොජුන් අතරින් පිණ්ඩපාත ආහාරය යනු සසුනෙහි ඇලීම පිණිස, තැති ගැණීම් නොමැති බව පිණිස, සැප විහරණ පිණිස, නිවනට බැසගැනීම පිණිස හේතු වන මනා ආහාරයක්. ඒ ගැන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ අට්ඨක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ ගහපති වග්ගයේ අනුරුද්‌ධ සූත්‍රයේ මෙසේ සඳහන්:

අනුරුද්ධය, තෙපි යම් කලෙක්හි වනාහි මේ අෂ්ටමහාපුරුෂවිතර්කයන් ද විතර්කණය කරන්නහු නම් අධිචිත්තයට අයත් දිටුදැමියෙහි සුඛ විහරණය වූ මේ සතරධ්‍යානයන් කැමති සේ ලබන්නෙක් ද සැපසේ ලබන්නෙක් ද නිදුකින් ලබන්නෙක් ද වන්නහු නම් අනුරුද්ධය, එකල්හි තොපට ගැහැවියකුට හෝ ගැහැවිපුතකුට හෝ නොයෙක් සූප ඇති නොයෙක් ව්‍යඤ්ජන ඇති බැහැර කළ කළුඇට ඇති හැල්බතක් යම්සේ ද, එසේ ම යථාලාභසන්තෝෂයෙන් යුතුව වාසය කරන්නා වූ තොපගේ ඇල්ම පිණිස (තෘෂ්ණාදෘෂ්ටීන්ගෙන්) නො පිරිතැවීම පිණිස සැප විහරණය පිණිස නිවනට බැසගැනීම පිණිස බොජුන් අතුරින් පිණ්ඩියා ලෝපභෝජනය (මැනැවැයි) වැටහෙන්නේ ය.

එබඳු ගුණාංගයන්ගෙන් යුත් පිණ්ඩපාත ආහාරයෙන් යැපෙන්නේ නැතිව පිණ්ඩපාත චාරිකාවේ යෙදී ලැබෙන සියළුම ද්‍රව්‍ය දුගී දුප්පත් ජනතාව වෙත ලබා දෙන්නේ කුමන හේතුවකටද? එම පිණ්ඩපාත චාරිකාවේ යන පිරිස භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා පිඬු සිඟා යන්නේ කුමක් පිණිස දැයි වටහා ගෙන නැති බවයි පෙනෙන්නේ. ගඟකින් පහසුවෙන් එතෙර වීම පිණිස ගඟ ඉහළින් පාලමක් තනා තිබෙනවා නම් පාලම ඇත්තේ ඒ මතින් ගොස් ගඟින් එතෙර වීම පිණිස නොව එතැනින් ගඟට බැස එතෙර වීම පිණිස යැයි සලකා පාලම මතින් නොගොස් එතැනින් ගඟට බැස අපහසුවෙන්ම ගඟින් එතෙර වෙන්න උත්සාහ දරනවා බඳුයි එම පිරිසගේ එම ක්‍රියාව.

වීඩියෝවේ කථිකයා එම චාරිකාව ගැන මෙසේ කීවා නම් වඩාත් සුදුසු වෙන්න තිබුනා:

අප ස්වාමීන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන්නේ යැයි සිත් ඇති මුත් තම ආහාර පිණිස පිඬු සිඟා යෑම පසෙක ලා වෙහෙස මහන්සිය නොතකා නගරයේ මෙන්ම ගම් බිම් සිසාරා සෑම සතියකම සම්මාදම් චාරිකාවේ යෙදෙන අතර ඒ ලැබෙන සියළුම ද්‍රව්‍ය දුගී දුප්පත් ජනතාව වෙත ලබා දෙන්නේ පිණ්ඩපාත ආහාරය කුමක් පිණිසද යන්න හෝ පිණ්ඩපාත ආහාරයෙන් යැපීමේ ගුණ කෙබඳු දැයි සැබෑවටම නොදන්නා නිසායි.

අනාගතයෙහි භික්ෂූන් වහන්සේලා පිඬු සිඟා යෑමෙන් ලබන ආහාර හැර පියන ආකාරය ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ පඤ්චක නිපාතයේ දුතිය පණ්ණාසකයේ අනාගතභය වග්ගයේ චතුත්‌ථඅනාගතභය සූත්‍රයේ මෙසේ සඳහන්ව තිබෙනවා:

තවද මහණෙනි, අනාගතයෙහි භික්ෂූහු පිණ්ඩපාතයෙහි කල්‍යාණකාම වෙති. පිණ්ඩපාතයෙහි කල්‍යාණකාම වන ඔහු පිඬු සිඟා යැපෙනසිල් ඇති බව හැර පියා වනයන් ද වානප්‍රස්ථ සෙනසුන් ද ගැඹුරු වල් ද හැර පියත්. ගම් නියම්ගම් රජදහන්හි වැද දිවගින් ප්‍රණීත රස සොයන්නාහු වාස කෙරෙත්. පිඬුවා හෙතුයෙනුදු නන් වැදෑරුම් නො නිසි අන්වෙෂණයට වැටෙත්. මහණෙනි, මෙ කල නූපන් දෙවන අනාගතභය අනාගතයෙහි උපදනේ ය. එය තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එ දුර ලීමට වෑයම් කටයුතු.

වීඩියෝවේ කථිකයා විනාඩි 3යි තත්පර 35න් පමණ ඉදිරියට ආසන්නයේ මෙසේ පවසනවා:

ආධ්‍යාත්මික සංවර්ධනයට හොඳම තෝතැන්නක් වූ උමංදාව මහා විහාර ආශ්‍රමය දැන් ආදර්ශ ගොවිපොළක් බවට පත්ව තිබෙනවා මෙන්ම විදේශ කෘෂිකාර්මික විද්වතුන්ගේ අවධානයටද යොමු වී තිබෙනවා.

මහා විහාර ආශ්‍රමය දැන් ආදර්ශ ගොවිපොළක් බවට පත් වෙලා ලු. පෙර දක්වන ලද චතුත්‌ථඅනාගතභය සූත්‍රයේම මෙසේ සඳහන්ව තිබෙනවා:

තවද මහණෙනි, අනාගතකාලයෙහි භික්ෂූහු ආරාමිකයන් හා ශ්‍රාමණෙරයන් හා සසට ව වසන්නාහ. ආරාමිකශ්‍රාමණෙරයන් හා සංසර්‍ගය ඇති වත් ම අනෙකවිහිත වූ සන්නිධිකාරපරිභොගයෙහි අනුයුක්ත ව වෙසෙති. පොළොව්හිදු (පෘථිවීඛනනයෙහිදු) හරිතයෙහිදු (රුක්වැල් ඈ සිඳුම්හිදු) ඖදාරික නිමිති (හැඟවීම්) පාළ කරත්. මහණෙනි, මෙ කල නූපන් මේ පස් වන අනාගතභය මතුයෙහි උපදනේ ය. එය තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එ දුරලීමට ව්‍යායාම කටයුතු.

වීඩියෝවේ කථිකයා විනාඩි 6යි තත්පර 15න් පමණ ඉදිරියට ආසන්නයේ මෙසේ පවසනවා:

විපස්සනා යනු එදිනෙදා ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළ නිරත වෙමින් සිහිය පැවැත්වීම විනා එක් තැනකට වී කාලය කා දැමීමක් නොවන බව උන් වහන්සේලා අපට නැවතත් පෙන්වා දුන්නා. ආධ්‍යාත්මික සංතෝෂය පිණිස වූ ඒ අනර්ඝ දේශනාව ඔස්සේ ...

බුදුරජානන් වහන්සේ භාවනාමය ඉරියව්වෙන් ඉන්නා ආකාරය දක්වන පිළිම වහන්සේ නමකට වැඳ නමස්කාර කරන සිවුරු දරන්නන් පිරිසක් ඉහත වීඩියෝවේ දැකිය හැකියී. එබඳු ඉරියව් දක්වන බුදු පිළිම වහන්සේලාට වැඳ නමස්කාර කරන එම පිරිස "එක් තැනකට වී භාවනා කිරීම කාලය කා දැමීමක්" යැයි ඇඟවීමෙන් ඔවුන්ගේ කථාව ඔවුන්ගේම ක්‍රියාවෙන් විහිළුවට බඳුන්කරනවා.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතන වග්ගයේ අසඞ්ඛත සංයුත්තයේ දුතිය අසඞ්‌ඛත වග්ගයේ විපස්සනා සූත්‍රයේ මෙසේ සඳහන්:

440. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ නම් මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: විපස්සනා යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මා විසින් තොපට නිවන දෙසන ලදි නිවන්මඟ දෙසන ලදි. සව්වන්ට හිත වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම් එය තොපට මා විසින් කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල් ශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු, නහමක් පමා වවු, පසු ව නහමක් විපිළිසර වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.

විපස්සනා සූත්‍රයේ දැක්වෙන පරිදි රුක්මුල් ශූන්‍යාගාර වල ධ්‍යාන කිරීම බුදුරජානන් වහන්සේගේ අනුශාසනාවක්. එබඳු ඉරියව් දක්වන බුදු පිළිම වහන්සේලාට වැඳ නමස්කාර කරන එම පිරිස "එක් තැනකට වී භාවනා කිරීම කාලය කා දැමීමක්" යැයි ඇඟවීමෙන් ඔවුන්ගේ කථාව ඔවුන්ගේම ක්‍රියාවෙන් විහිළුවට බඳුන්කරනවා.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ඉතිවුත්‌තකපාළියේ දුක නිපාතයේ දුතියවග්ගයේ පටිසල්‌ලාන සූත්‍රයේ මෙසේ සඳහන්:

1. මහණෙනි, හුදෙකලාබව්හි ඇලුනෝ ව, හුදෙකලාබවෙහි නිරත ව, වාසය කරවු. ස්වකීය චිත්තසමථයෙහි යෙදුනෝ වැ බැහැරැ නොකළ ධ්‍යාන ඇත්තෝ ව විදර්‍ශනාවෙන් යුක්ත වැ ශූන්‍යාගාරයන්හි වැඩිය යුතු කමටහන් වඩන්නෝ වැ වාසය කරවු. මහණෙනි, හුදෙකලා වාසයෙහි ඇලී, හුදෙකලා වාසයෙහි නිරත ව චිත්තසමථයෙහි යෙදී බැහැර නොකළ ධ්‍යාන ඇති ව විදර්‍ශනාවෙන් යුක්ත ව ශූන්‍යාගාරයන්හි වැඩිය යුතු කමටහන් වඩමින් වාසයකරන්නන් විසින් මේ අත්බැව්හි රහත්බව ද, කෙලෙස් උපාදිශෙෂය ඇති කල්හි අනාගාමි බව ද යන ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතු යි.

රුක්මුල් වල, ශූන්‍යාගාර වල හුදෙකලාව, ප්‍රවිවේකයෙන් ධ්‍යාන කිරීම ඵලවත් බව එම පටිසල්ලාන සූත්‍රයට අනුවත් දැකිය හැකියී. එබඳු ඉරියව් දක්වන බුදු පිළිම වහන්සේලාට වැඳ නමස්කාර කරන එම පිරිස "එක් තැනකට වී භාවනා කිරීම කාලය කා දැමීමක්" යැයි ඇඟවීමෙන් ඔවුන්ගේ කථාව ඔවුන්ගේම ක්‍රියාවෙන් විහිළුවට බඳුන්කරනවා.

තවද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ පඤ්චක නිපාතයේ දුතිය පණ්ණාසකයේ අනාගතභය වග්ගයේ තතියඅනාගතභය සූත්‍රයේ මෙසේ සඳහන්:

තවද මහණෙනි, අනාගතකාලයෙහි භික්ෂූහු අභාවිතකාය, අභාවිතශීල, අභාවිතචිත්ත, අභාවිතප්‍රඥ වෙත්. අභාවිතකාය වන, අභාවිතශීල වන, අභාවිතචිත්ත වන, අභාවිතප්‍රඥ වන, එ ස්ථවිරභික්ෂූහු සිවුපස බහුල කොට ඇත්තාහු සස්න ලිහිල් කොට ගත්තාහු නීවරණ සඞ්ඛ්‍යාත අවක්‍රමණයෙහි පුරෝගාමී වන්නාහු ප්‍රකර්‍ෂවිවෙකයෙහි බහා තැබූ වීර්‍ය්‍යධුර ඇත්තාහු අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්ෂාත්කෘතයාගේ සාක්ෂාත්කරණය පිණිස වැර නො අරඹන්නාහ. ඔවුන්ගේ පශ්චිමජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙයි. ඒ පශ්චිමජන ද සිවුපස බහුල කොට ඇත්තේ, සස්න ලිහිල් කොට ගත්තේ, අවක්‍රමණයෙහි පූර්‍වඞ්ගම වූයේ, ප්‍රවිවෙකයෙහි හළ වැර ධුර ඇතියේ අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්ෂාත්කෘතයාගේ සාක්ෂාත්කරණය පිණිස වැර නො අරඹන්නේ ය. මහණෙනි, මෙසේ වනාහි ධර්‍මසන්දොෂයෙන් විනයසන්දොෂය වේ. විනයසන්දොෂයෙන් ධර්‍මසන්දොෂය වෙයි. මහණෙනි, දැන් නූපන් මෙ පස් වන අනාගතභය මතුයෙහි උපදනේ ය. එ තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එ ප්‍රහීණ කිරීමට වෑයම් කටයුතු.

එම තතියඅනාගතභය සූත්‍රයේ කියැවෙන ප්‍රවිවේකය බැහැර ලූ භික්ෂූන් පිළිබඳ විස්තරය "විපස්සනා යනු එදිනෙදා ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළ නිරත වෙමින් සිහිය පැවැත්වීම විනා එක් තැනකට වී කාලය කා දැමීමක් නොවන බව උන් වහන්සේලා අපට නැවතත් පෙන්වා දුන්නා. ආධ්‍යාත්මික සංතෝෂය පිණිස වූ ඒ අනර්ඝ දේශනාව ඔස්සේ ..." වැනි අන්ධබාල කථා ඇති අය හා මනාව ගැළපෙනවා.

වීඩියෝවේ යම් අවස්ථාවක එහි දැක්වෙන ස්ථානය අන්තර්ජාතික විපස්සනා භාවනා මධ්‍යස්ථානක් යැයි ඉංග්‍රීසියෙන් කියැවෙනවා. වීඩියෝවේ කියැවුණු කරුණු ඉහත ගෙන හැර දක්වන ලද ත්‍රිපිටකයේ සඳහන් මනා බුදු වදන්වලට අනුව විමසා බලා එම ස්ථානයට "පිටිදූවේ තුච්ඡ සිරිධම්මගේ අන්තර්ජාතික අන්ධබාල අම්බලම" යැයි කීම වඩාත් උචිතයි.