ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම

වලස්මුල්ලේ අභය හිමි යනු බුද්ධ භාෂිතයේ අකුරු, වචන සහ අර්ථ බෙහෙවින්ම පටලවා ගත් භික්ෂූන් වහන්සේ නමක්. එම පටලවා ගැනීම නිසා මනාව සිංහලට පරිවර්තනය වී ඇති ත්‍රිපිටක දහම් කොටස් රාශියක් ආර්ය නොව බමුණන්ගේ වැරදි විස්තර කිරීම් යැයි පවසමින් ඒ මනා දහම් කොටස් එහිමියන් විසින් ප්‍රතික්ෂේප කෙරෙනවා.  එම දහම් කොටස් මනාව පරිවර්තනය කළ අය බමුණන් යැයි පවසමින් එහිමියන් ඒ පරිවර්තකයින්ට දොස් ද පවරනවා. වලස්මුල්ලේ අභය හිමිගේ එබඳු කීම්වලට අනුව පවසනවා නම් මෙම ලිපියෙන් විස්තර වන්නේ ආර්ය සල්ලෙඛය ගැන වල්ස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීමක් ගැනයි.

වලස්මුල්ලේ අභය හිමිගේ එම බමුණු විස්තර කිරීම පහත දැක්වෙන වීඩියෝවේ කාලය 01:21:22 පමණ සිට 01:27:47 පමණ දක්වා දැකිය හැකියි:

එහිදී වලස්මුල්ලේ අභය හිමි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ නෙත්තිප්පකරණයේ පටිනිද්දෙසවාරයේ යුත්තිභාරවිභඞ්ගයේ ( 41 පිටුව ) "සල්ල" යන වචනය ගැන ඇති විස්තරය පළමුව දක්වනවා. ඉන් පසුව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මූලපරියායවග්ගයේ සල්ලෙඛ සූත්‍රය ( 95 පිටුව ) දක්වනවා.

වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තරයේ ඇති වැරැද්ද කුමක්ද? එහිමියන් සල්ල සහ සල්ලෙඛ යන වදන් එකිනෙකට බෙහෙවින්ම වෙනස් අර්ථ දක්වන වදන් දෙකක් බව නොදැන දහම් පද වල අර්ථ විකෘති කිරීම එම වැරැද්ද ලෙස දැක්විය හැකියි.

තෘෂ්ණාව ගැන පැවසීමට සල්ල යන වචනයද බුදුරජානන් වහන්සේ විසින් භාවිතා කර ඇති බව සත්‍යයක්. නෙත්තිප්පකරණයේ දක්වන ලද තැන ඒ ගැන විස්තර සඳහන්.

සල්ලෙඛ යන වචනය කෙලෙස් සිඳීම, කෙලෙස් නැසීම, කෙලෙස් තුනී කිරීම, කෙලෙස් ලියා දැමීම යන අර්ථය ගෙන දෙනවා.

එම අර්ථයන්ට අනුව සල්ල යන්න අයහපත් දෙයක් සහ සල්ලෙඛ යන්න යහපත් දෙයක් ලෙස විනිශ්චය කළ යුතුයි.

වලස්මුල්ලේ අභය හිමි නෙත්තිප්‍පකරණය ඇසුරෙන් සල්ල යන වචනය විස්තර කරන විට එම වචනය සල්ලෙඛ යැයි වරදවා උච්චාරණය කරන අයුරු වීඩියෝවේ දැක්වෙනවා. තවද එහිමියන් සල්ලෙඛ සූත්‍රය විස්තර කරන විට සල්ලෙඛ යන වචනය සල්ල ලෙස වරදවා උච්චාරණය කරන අයුරුද දැක්වෙනවා. මනා අවධානයක් නොමැතිව උඩින් පල්ලෙන් සූත්‍ර කියවා වචන පටලවා ගත් අභය හිමි සල්ලෙඛ සූත්‍රයේ ඇති දෑ විස්තර කරන්නේ එම සූත්‍රයේ යම් කොටසක් නිවැරදි අර්ථ ඇතිව සහ යම් කොටසක් වැරදි අර්ථ සහිතවයි.

සලෙලෙඛ යන වචනයේ නිවැරදි අර්ථය වරදවා ගත් වලස්මුල්ලේ අභය හිමි එහිමියන්ගේ බමුණු විස්තර කිරීම ආරම්භයේ සහ අවසානයේ පෙන්වන ලද ප්‍රදර්ශන රූපද (presentation slides) එහිමියන්ගේ පටලවා ගැනීම දක්වනවා. සල්ලෙඛ යනු නොකළ යුතු දෙයක් නොවේ. සල්ලෙඛ යනු කළ යුතු දෙයක්. මෙසේ මෙසේ සල්ලෙඛ කල යුතු යැයි බුදුරජානන් වහන්සේ පවසා ඇති අයුරු සල්ලෙඛ සූත්‍රයේ දැක්වෙනවා.

වලස්මුල්ලේ අභය හිමි කරනා ලද අයුරින් මනා අවධානයක් නොමැතිව උඩින් පල්ලෙන් සූත්‍ර ආදිය කියවීම ගැඹුරු බුදු වදන් වල අර්ථයන් නිවැරදිව දැන ගැනීම පිණිස හේතු වන්නේ නැහැ. මනා අවධානයක් නොමැතිව සූත්‍ර ආදිය කියවීම නිසාත්, කියවන ලද්ද මනාව නොවිමසීම නිසාත් වලස්මුල්ලේ අභය හිමි බුද්ධ භාෂිතයේ මනා දහම් කොටස් බොහෝ ප්‍රමාණයක් නොමනා අර්ථයන්ගෙන් ගෙන අන් අයවත් නොමඟ යවනවා.

වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම් අසන අය එම විස්තර කිරීම් වලින් බුදු වදන් මනාව පැවසේ යැයි සිතනවා නම් එසේ සිතීම ඔවුන්ගේ මුළාවක්මයි.