ධම්ම චක්කපවත්තන සූත්‍රය සහ මහා චත්තාරීසක සූත්‍රය අතර ඇති සම්බන්දය

විශේෂ සටහන්:

  1. (2016 Sep 12) මෙම සාකච්ඡාවේදී මා (කමල් වික්‍රමනායක) විසින් සඳහන් කර ඇති සමහර කරුණු සමහර සූත්‍ර සමඟ නොගැලපේදැයි සැකයක් ඇතිවූ බැවින් මෙම සාකච්ඡාව පිළිබඳව විමර්ශනයක් සිදුවෙමින් පවතියි.
  2. (2017 Jul 04) පැවතිය හැකි දොස් පිළිබඳව සුළු විස්තරයක් - http://www.trekmentor.com/si/content/forum/983
Poster's name (Optional): 
නයන

මහා චත්තාරීසක සූත්‍රයෙහි ඇති නිර්වාණගාමී සම්මා දිට්ඨිය (චත්ස් සත්‍ය සම්මා දිට්ඨිය) නොමැතිව ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම නිසා වර්ථමානයේදී බුදු දහමෙන් ප්‍රයෝජන ගන්නා මිනිසුන් විරලව පවතින බවට මතයක් පවතියි. එ් සම්බන්දයෙන් ඔබගේ මතය බලාපොරොත්තු වෙමි.
මෙම සටහන පිලිබඳවද ඔබගේ අදහස් බලාපොරොත්තු වෙමි: දහම සංක්ෂිප්තව

පින්වත් නයන,

ඔබ මේ පවසන ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ඇතුලත් වන එහෙත් නිර්වාණගාමී නොවන සම්මා දිට්ඨිය කුමක්ද? කිනම් සූත්‍රයක ඇති කරුණක් ගැනද ඔබ මේ පවසන්නේ? මහාචත්තාරීසක සූත්‍රයේ නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ඇතුලත් වන එහෙත් නිර්වාණගාමී නොවන සම්මා දිට්ඨියක් ගැන සුළු සඳහනක්වත් නැහැ.

එසේ නැත්නම් ඔබ අදහස් කලේ සම්මා දිට්ඨිය නොමැතිව අංග හතක් ඇති ලෙස සමහරු ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩනවා කියාද? එවන් කරුණකුත් බුදු පියානන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස දේශනා කර නැහැ.

කමල්

පින්වත් කමල්,

මා මේ පවසන ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ඇතුලත් වන එහෙත් නිර්වාණගාමී නොවන සම්මා දිට්ඨිය නම් “මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය කවර යත් : මහණෙනි, මම සම්‍යග්දෘෂ්ටියත් දෙ පරිදි කොට කියමි. සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටියක් ඇත. “ යනු වෙන් පවසන සම්‍යග්දෘෂ්ටිය පදනම්ව වඩන ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
මා මේ පවසන ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ඇතුලත් වන එහෙත් නිර්වාණගාමී වන සම්මා දිට්ඨිය නම් “ මහණෙනි, ආය්‍ය වූ අනාස්‍රව වූ ලෝකොත්තර මාර්ගාඪග වූ සම්‍යග්දෘෂ්ටියක් ඇති.“ යනු වෙන් පවසන සම්‍යග්දෘෂ්ටිය පදනම්ව වඩන ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.

මා ගේ ප්‍රශ්නය පහත ආකාරයට ඇසිය යුතුව තිබුනු බවත්, එසේ නොඅැසීම තුලින් මාගේ ප්‍රශ්නය තේරුම් ගැනීමේදී ඔබට සිදුව ඇති අපහසුතාවය ගැන මා ගේ කනගාටුව ප්‍රකාශ කරන බවත් තවදුරටත් මාගේ ප්‍රශ්නය හඳුනා ගැනීමට උනන්දු වන ඔබට මාගේ කෘතඥතාවය පලකරන බවත් ප්‍රකාශ කරමි.

ඇසිය යුතුව තිබූ ප්‍රශ්නය :
මහා චත්තාරීසක සූත්‍රයෙහි ඇති “සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය“ පදනම් කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම තුලින් මෙම භවය තුලදී නිර්වාණ අවබෝදය ලබා ගත නොහැකි බවත් මරනයෙන් පසු සුගතිගාමී පමනක් විය හැකි බවත් “ ආය්‍ය වූ අනාස්‍රව වූ ලෝකොත්තර මාර්ගාඪග වූ සම්‍යග්දෘෂ්ටිය “ පදනම් කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම තුලින් පමනක් මෙම භවය තුලදී නිර්වාණ අවබෝද කරගත හැකි බවටත් එම නිවැරදි නිර්වාණගාමී නිවන් මග වැසී පැවතුන බවත් ඒ හේතුවෙන් ලොව රහතුන් වහන්සේලාගෙන් විරල වූ බවටත් මතයක් පවතියි. එ් සම්බන්දයෙන් ඔබගේ මතය බලාපොරොත්තු වෙමි.
මහා චත්තාරීසක සූත්‍රය ද ධම්ම චක්කපවත්තන සූත්‍රය ද පදනම් කරගෙන මවිසින් සකසන ලද සටහනෙහි (දහම සංක්ෂිප්තව) වැඩි දියුනුව පිනිස ඒ පිලිබඳව ද ඔබගේ අදහස් බලාපොරොත්තු වෙමි.

ඔබට තෙරුවණ් සරනයි.
නයන

පින්වත් නයන,

"සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය" ලෙස බුදු පියානන් මහාචත්තාරීසක සූත්‍රයේ සදහන් කර ඇති සම්මා දිට්ඨිය ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අදාල දෙයක් නොවෙයි. එනිසයි එම සම්මා දිට්ඨිය දක්වන විට "ආය්‍ය ... මාර්ගාඪග" ලෙස නොදක්වා ඇත්තේ. බුදු පියානන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස දේශනා කර ඇත්තේ එකම එක මාර්ගයයි. එම මාර්ගයට ඇතුලත් සම්මා දිට්ඨිය තමයි "ආය්‍ය වූ අනාස්‍රව වූ ලෝකොත්තර මාර්ගාඪග වූ සම්‍යග්දෘෂ්ටිය" ලෙස බුදු පියානන් දක්වා ඇත්තේ.

මේ නිසා මහාචත්තාරීසක සූත්‍රයේ සඳහන් "ආය්‍ය ... මාර්ගාඪග" ලෙස දක්වා ඇති අංගයන් අට පමණයි ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අයත් වන්නේ ("ආය්‍ය ... මාර්ගාඪග" අටක් නිසා "අෂ්ඨාංගික" ලෙස දැක්වෙනවා). එම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අයත් නොවන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ලෙසින් වන වෙනත් කරුණු පහක් ගැනත් බුදු පියානන් මහාචත්තාරීසක සූත්‍රයේ දක්වා තිබෙනවා. එම ආර්ය මාර්ග අංග නොවන කරුණු පහ හෝ එම කරුණු පහ ඇතුලත් යම් දෙයක් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස හෝ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ප්‍රභේදයක් ලෙස දැක්වීම නිවැරදි නැහැ. ඊට හේතුව නම් එම කරුණු පහ "ආය්‍ය ... මාර්ගාඪග" ලෙස බුදු පියානන් නොපවසා ඇති නිසා. මහාචත්තාරීසක සූත්‍රයේ වචන භාවිතා කර ඇති ආකාරය හොදින් විමසා බලන්න.

බුදු පියානන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස දේශනා කර ඇත්තේ එකම එක මාර්ගයයි. එහි ලෞකික සහ ලෝකෝත්තර ලෙස වර්ග දෙකක් නැහැ. ඇත්තේ එකයි. එය ලෝකෝත්තර මාර්ගය පමණයි.

මේ ගැන හොදින් විමසා බලා ඔබේ අදහස් දන්වන්න. එවිට ඔබගේ රූ සටහන ගැන වැඩි විස්තරයක් ඉදිරිපත් කරන්නම්.

කමල්

පින්වත් කමල්,

ඔබගේ පැහැදිලි කිරීම අනුව මා තුල පහත ගැටළු පැන නැගිනි.

1). ඔබට අනුව මහා චත්තාරීසක සූත්‍රයෙහි ඇති “මහණෙනි, තොපට නිර්දෝෂ වූ මාර්ගසමාධිය සපත්‍ය කොට සපරිවාර කොට දෙසන්නෙමි.“ යනුවෙන් සඳහන් “මාර්ගසමාධිය“ ධම්ම චක්කපවත්තන සූත්‍රයෙහි එන සම්මා සමාධිය නොවේද?

2). ඔබගේ කරුනු දැක්වීමට අනුව “ එම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අයත් නොවන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ලෙසින් වන වෙනත් කරුණු පහක් ගැනත් බුදු පියානන් මහාචත්තාරීසක සූත්‍රයේ දක්වා තිබෙනවා“ යනුවෙන් සඳහන් කර ඇත.
කරුනාකර මෙම සූත්‍ර දෙකෙහි මෙම කරුනු පහෙහි ඔබ දකින වෙනස පැහැදිලි කර දෙන්න.

ඔබට තෙරුවණ් සරනයි.
නයන

පින්වත් නයන,

මහාචත්තාරීසක සූත්‍රයේත් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේත් දැක්වෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය එකක්මයි.

මහාචත්තාරීසක සූත්‍රයේ ඇති "මහණෙනි, තොපට නිර්දෝෂ වූ මාර්ගසමාධිය සප්‍රත්‍යය කොට සපරිවාර කොට දෙසන්නෙමි." යැයි දැක්වෙන සම්මා සමාධියම තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සම්මා සමාධිය ලෙස දක්වා ඇත්තේ.

මහාචත්තාරීසක සූත්‍රයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව යන කරුණු පහ ප්‍රභේද දෙකකින් දක්වා තිබෙනවා. එක් ප්‍රභේදයක් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අයත් ප්‍රභේදය. අනෙක් ප්‍රභේදය ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අයත් නැහැ.

මහාචත්තාරීසක සූත්‍රයේ දක්වා ඇති සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව යන ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අයත් (ආය්‍ය වූ අනාස්‍රව වූ ලෝකොත්තර මාර්ගාඪග වූ)  ප්‍රභේදයම තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන විස්තර වල සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව ලෙස දැක්වෙන්නේ.

මහාචත්තාරීසක සූත්‍රයේ දක්වා ඇති සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව යන ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අයත් නොවන (සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන) ප්‍රභේදය නොවෙයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන විස්තර වල සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව ලෙස දක්වා ඇත්තේ.

මහාචත්තාරීසක සූත්‍රයේ දැක්වෙන සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධි යන කරුණුම තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන විස්තර වල සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධි ලෙස දැක්වෙන්නේ.

කමල්

පින්වත් කමල්,

ඔබගේ මෙම පැහැදිලි කිරීම තුලින් මා තුලත් ඔබ තුලත් මෙම දහම් කරුනු සම්බන්දව කිසිදු පරස්පරයක් නොමැති බවත් ඇත්තේ “ආර්ය අෂ්ඨාංගික මාර්ගය“ යන ක්‍රියාවලිය ම විසින් “අනාර්ය අෂ්ඨාංගික මාර්ගයටද“ භවිතා කරීම ලෙස මවිසින් තේරුම් ගතිමි.

නිවැරදි නිර්වාණගාමී නිවන් මග (ආය්‍ය වූ අනාස්‍රව වූ ලෝකොත්තර මාර්ගාඪග වූ සම්‍යග්දෘෂ්ටිය පදනම් කරගත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය) වැසී පැවතුන බවත් ඒ හේතුවෙන් ලොව රහතුන් වහන්සේලාගෙන් විරල වූ බවටත් පවතින මතය පිලිබඳවද ,
“ආය්‍ය වූ අනාස්‍රව වූ ලෝකොත්තර මාර්ගාඪග වූ සම්‍යග්දෘෂ්ටිය පදනම් කරගත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය“ අතරත් ““සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය පදනම් කරගත් අෂ්ඨාංගික මාර්ගය“ අතරත් ඇති වෙනස පිලිබඳවද ඔබගේ අදහස් බලාපොරොත්තු වෙමි.

ඔබට තෙරුවණ් සරනයි.
නයන

පින්වත් නයන,

"අනාර්ය අෂ්ඨාංගික මාර්ගය" නම් කුමක්ද? එම නම බුදු පියානන් විසින් කවර සූත්‍රයක, කවර තැනක භාවිතා කර තිබෙන්නේද?

"සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය පදනම් කරගත් අෂ්ඨාංගික මාර්ගය" නම් කුමක්ද? එම නම හෝ ඊට ආසන්න "සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාක" සහිත කරුණකට "අෂ්ඨාංගික මාර්ගයක්" යැයි බුදු පියානන් විසින් කවර සූත්‍රයක, කවර තැනක භාවිතා කර තිබෙන්නේද? ඊට අදාල අංග අට මේ යැයි බුදු පියානන් කවර සූත්‍රයක, කවර තැනක පවසා තිබෙන්නේද?

මහාචත්තාරීසක සූත්‍රයේ හෝ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ නම් එම නම් ගැන සඳහනක් නැහැ.

කමල්

පින්වත් නයන,

අංගුත්තර නිකායේ දසක නිපාතයේ තතිය පණ්ණාසකයේ අරියවග්ගයේ අරියමග්ග සූත්‍රයේ "අනාර්ය මාර්ගය" කවරක්දැයි සඳහන් වෙනවා. එහි අනාර්ය මාර්ගයට ඇතුලත් කරුණු දහයක් විස්තර වෙනවා. එම කරුණු දහය නම් මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි, මිච්ඡා ඤාණ සහ මිච්ඡා විමුක්ති යන කරුණුයි.

මෙම අරියමග්ග සූත්‍රයට අමතරව තවත් තැනක මෙම කරුණු දහයම සැරියුත් හිමියන් හෝ මුගලන් හිමියන් විසින් පවසන ලද ලෙස සූත්‍රයක වැඩි විස්තර සමග තිබුණු බවක් මට යන්තමින් මතකයි. නමුත් හරියටම එම සූත්‍රය කුමක්දැයි දැන් මතක නැහැ. තවත් තැන් වල මෙය පවතින්න පුළුවන්.

මෙම මිච්ඡා ලෙසින් දක්වා ඇති කරුණු දහයම මහාචත්තාරීසක සූත්‍රයේ සඳහන් වෙනවා. මේ නිසා මහාචත්තාරීසක සූත්‍රයේ "අනාර්ය මාර්ගය" ගැනත් සඳහන් වන බව අපට වටහා ගත හැකියී.

මෙම මිච්ඡා ලෙසින් දක්වා ඇති කරුණු දහයෙන් මිච්ඡා ඤාණ සහ මිච්ඡා විමුක්ති යන කරුණු දෙක ඉවත් කල විට ඉතුරු වන මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති සහ මිච්ඡා සමාධි යන කරුණු අට සංගීති සූත්‍රයේත් මිත්‍යා ස්වභාවයන් අට ලෙස දැක්වෙනවා. එම නිසා මෙම කරුණු අටට "අනාර්ය අෂ්ඨාංගික මාර්ගය" ලෙස පැවසීමට හැකි බවක් පවතිනවා. නමුත් "අනාර්ය අෂ්ඨාංගික මාර්ගය" යන වදන් පෙළ එලෙසම සූත්‍රයක භාවිතා වී ඇත්දැයි පවසන්න මම දැනට දන්නේ නැහැ.

කමල්

පින්වත් කමල්,

"අනාර්ය අෂ්ඨාංගික මාර්ගය" ලෙස මවිසින් මෙහිදී නම් කලේ “සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය පදනම් කරගත් අෂ්ඨාංගික මාර්ගය" ය.
“සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය පදනම් කරගත් අෂ්ඨාංගික මාර්ගය" ලෙස මවිසින් මෙහිදී නම් කර ඇත්තේ
“මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය කවර යත් : මහණෙනි, මම සම්‍යග්දෘෂ්ටියත් දෙ පරිදි කොට කියමි. සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටියක් ඇත. මහණෙනි, ආය්‍ය වූ අනාස්‍රව වූ ලෝකොත්තර මාර්ගාඪග වූ සම්‍යග්දෘෂ්ටියක් ඇති.“ යනු වෙන් පවසන සම්‍යග්දෘෂ්ටි දෙකෙන්
“සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය “
පදනම්ව වඩන ආර්ය නොවන අෂ්ඨාංගික මාර්ගයයි.
එනම්,
“මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය කවර යත් : දුන්දැය විපාක ඇත,...,එබදු සම්‍යක්ගත සම්‍යක් ප්‍රතිපන්න ශ්‍රමන බ්‍රාහ්මණයෝ ඇතැයි මහ‍‍ණෙනි, මේ සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය නම් වෙයි.“ යනු වෙන් හඳුන්වන සම්මා දෘෂ්ටිය ද,
“මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යක් සංකල්ප කවර යත් : නෛෂකම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. මහණෙනි, මෙය සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන්නේයැ.“ යනු වෙන් හඳුන්වන සම්මා
සංකල්පය ද,
...,
...,
ආදී කොට ඇති අංග අටය.

ඔබ දහම් කරුනු විග්‍රහ කිරීමේ දී සූත්‍ර පිටකයේ එන වචනම යොදා ගැනීමට උත්සාහ කරන්නෙකු බවද, මම එම කරුනු කිය වීමෙන් පසුව මාහට වැටහුන කරුනු මගේ වචන වලින් (සූත්‍ර පිටකයෙහි ඇති වචනත් , නැති වචනත් භාවිතා කර) විස්තර කරන්නකු බවද වැටහුනි.
එසේ හෙයින් ඔබද මමද මෙම සංවාදයේදී අපහසුතාවයකට පත්වන බවත් මා හැකිතාක් මාගේ වචන භාවිතයෙන් තොරව සූත්‍ර පිටකයෙහි ඇති වචනම භාවිතය සුදුසු බවත් හැගෙයි.

උදා : මා අදහස් කල
“අනාර්ය අෂ්ඨාංගික මාර්ගය“= “ආර්ය නොවන අෂ්ඨාංගික“
“ආර්ය නොවන අෂ්ඨාංගික“ = “සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය පදනම් කරගත් අෂ්ඨාංගික මාර්ගය “

ඔබගේ අනාර්ය මාර්ගය විස්තර කිරීම අනුව මාගේ ඉහත හැදින්වීම වැරදි බවද හැකිතාක් සූත්‍ර පිටකයෙහි වචනම මෙහිදී භාවිතය සුදුසු බවද වැටහින.

“ආය්‍ය වූ අනාස්‍රව වූ ලෝකොත්තර මාර්ගාඪග වූ සම්‍යග්දෘෂ්ටිය පදනම් කරගත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය“ අතරත් ““සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය පදනම් කරගත් අෂ්ඨාංගික මාර්ගය“ අතරත් ඇති වෙනස පිලිබඳවද ඔබගේ අදහස් බලාපොරොත්තු වෙමි.

ඔබට තෙරුවණ් සරණයි
නයන

පින්වත් නයන,

වැරදි විදිහට ගලපාගන්නා ලද වචන භාවිතා උනොත් සිදුවන්නේ සියල්ල දන්නා, සියල්ල දක්නා සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් මනා කොට පවසා ඇති දහම් කරුණු වල අර්ථයන් ගැන වැරදි අර්ථයන් මතුවීම. මෙයින් සිදුවන විනාශය ගැන අංගුත්තර නිකායේ දුක නිපාතයේ පඨම පණ්ණාසකයේ අධිකරණ වග්ගයේ දසම සූත්‍රයේ (2.1.2.10) සඳහන්.

මේ නිසා මෙවන් විනාශයක් සිදු නොවීම පිණිස බුදු පියානන් නිශ්චිත ලෙසම භාවිතා කර ඇතැයි ඔබ තහවුරු කරගත් වචන පමණක් භාවිතා කරන්න. එසේ නොකර අපි අපේ වචන භාවිතා කර පැටලීමක් කලොත් අන් අයට යහපත් යැයි සිතා අප කරන වැඩෙන් අන් අයත් දුකේ වැටෙනවා, අපිත් දුකේ වැටෙනවා. එවිට අපි කරන වැඩෙන් ඇත්තටම සිදුවන්නේ අයහපතක්මයි.

අර්ථය විරූපී උනොත් සියල්ල දන්නා, සියල්ල දක්නා සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් පැවසූ ධර්මය මේ යැයි අපි අපේ ධර්මයක් ගෙන හැර දැක්වීම සිදුවෙනවා. එය මහා පරිමාණ මුසාවාදයක් මෙන්ම එසේ කිරීම බොහෝ දෙනාට අහිත පිණිසත්, බොහෝ දෙනාට නොසුව පිණිසත්, බොහෝ දෙනාට අනර්ථ පිණිසත්, දෙව් මිනිසුන්ට අහිත පිණිසත්, දුක් පිණිසත් වන කරුණක්. එයින් එසේ පවසන්නා අතිමහත් අකුසල් රැස් කරගන්නවා. එසේ පවසන්නා සම්බුද්ධ ශාසනය අතුරුදහන් කරනවා. මෙම කරුණ අංගුත්තර නිකායේ දුක නිපාතයේ පඨම පණ්ණාසකයේ සමචිත්ත වග්ගයේ දසම සූත්‍රයේ (2.1.4.10) සඳහන්. දැන දැන බුද්ධ දේශනාවන් ස්වරූපයෙන් වැරදි දේ පැවසීම කලත් (උදාහරණයකට සද්ධර්මයට අකමැති පිරිස් හෝ නොයෙක් ලාභ, සත්කාර, කීර්ති, ප්‍රසංශා ලැබීම පිණිස), නොදැන කලත් එම ක්‍රියාවන් නිසා සිදුවන දේ තේරුම් ගන්න මේ සුත්‍රය ඇසුරෙන් පුළුවන්. මේ නිසා ඔබ යමක් බුදු පියානන් දේශනා කර ඇතැයි අන් අයට ගෙන හැර දක්වනවානම් බුදුන් දෙසූ දහම් ස්වරූපයෙන් වෙනයම් කරුණු ඉදිරිපත් වීමට ඇති හැකියාව අඩුකරගන්න. සූත්‍ර වල කරුණු ගැලපීමේදී පරිස්සමින් කරන්න. නිවැරදි වචන භාවිතයත් බුදුන් දෙසූ දහම් ස්වරූපයෙන් වෙනයම් කරුණු ඉදිරිපත් වීමට ඇති හැකියාව අඩුකරනවා.

ඉතින් ඔබ හොදින් විමසා බැලුවොත් ඔබට තේරුම් ගත හැකිවේවි බුදු පියානන් භාවිතා කර නොමැති වචන බොහෝ ප්‍රමාණයක් ඔබ භාවිතා කර ඇති බව. ඔබ දැක්වූ රූප සටහනේත් එවන් වචන පවතිනවා. මෙම කරුණෙහි නිවැරදි වීමට උත්සාහ කරන්න. වැරදීම් මා අතිනුත් සිදුවෙනවා. මම එවන් වචන භාවිතයේ වැරදි අඩුකර ගන්න මුලදීම (යමක් කීමට, ලිවීමට පෙර) උත්සාහ කරනවා මෙන්ම, වැරදීමක් උනොත් වහ වහා නිවැරදි කරගන්න ක්‍රියා කරනවා. මගේ සිංහල සහ පාලි භාෂාව භාවිතයේත් අඩුපාඩු පවතිනවා. සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ උනත් පාලි සිංහලට පරිවර්තනය කිරීමේදී වැරදීම් සිදුව තිබෙනවා. කවුරු කරත්, කවර තැනක කරත් එය මහා විනාශකාරී දෙයක්.

නැවතත් අප මහාචත්තාරීසක සූත්‍රයේ සහ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඇති කරුණු වලට යොමුවෙමු.

ඔබ ලියා ඇති "සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය පදනම් කරගත් අෂ්ඨාංගික මාර්ගය" යන්නට අයත් යැයි ඔබ විසින් ලියා ඇති කරුණු අටේ අඩංගු "සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධි" යන කරුණු තුන ඔබ ගෙන හැර දැක්වූයේ කවර සූත්‍රයක් අනුසාරයෙන්ද? මෙම කරුණු තුන ගැන කිසිම සඳහනක් මහාචත්තාරීසක සූත්‍රයේ නම් දැක්වෙන්නේ නැහැ.

කමල්

පින්වත් කමල්,

ඔබගේ උපදේශයන් ඉතා අගය කොට සලකමි. හැකිතාක් සූත්‍ර පිටකයෙහි ඇති ‍වචනම, උපුටා ගැනීම් තුලින්ම මෙම ලිපි සැකසීම තුලින් මා හටත් අන්‍යන්ටත් වඩා යහපතක්ම වන බව වටහා ගතිමි.

“අර්ථය විරූපී උනොත් සියල්ල දන්නා, සියල්ල දක්නා සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් පැවසූ ධර්මය මේ යැයි අපි අපේ ධර්මයක් ගෙන හැර දැක්වීම සිදුවෙනවා. එය මහා පරිමාණ මුසාවාදයක් මෙන්ම එසේ කිරීම බොහෝ දෙනාට අහිත පිණිසත්, බොහෝ දෙනාට නොසුව පිණිසත්, බොහෝ දෙනාට අනර්ථ පිණිසත්, දෙව් මිනිසුන්ට අහිත පිණිසත්, දුක් පිණිසත් වන කරුණක්. එයින් එසේ පවසන්නා අතිමහත් අකුසල් රැස් කරගන්නවා. එසේ පවසන්නා සම්බුද්ධ ශාසනය අතුරුදහන් කරනවා. “
ඔබගේ ඉහත ප්‍රකාශයට අනුව,
තවම ලාමක පෘතග්ජන ස්වභාවය නොඉක්මවූ නමුදු තමන්ගේ බුද්ධි ප්‍රමානයට අනුව තමනට වැටහෙන, තමන් විසින් පිලිපැදීම තුලින්ම එම දහමෙහි වටිනාකම තමා තුලම අවබෝද කර ගනිමින් සිටින අප වැනි පෘතග්ජනයින්, එම තම අවබෝදයට සඳහා ඉවහල් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දෙසා වදාල දහම් කරුනු තමන්ට වැටහෙන ආකාරයට (අපි අපේ ධර්මයක් ගෙන හැර දැක්වීම සිදුවෙනවා) අන්‍යයන්ගේ හිත සුව පිනිස මෙසේ ගෙනහැර දැක්වීමට, ප්‍රකාශ කිරීමට පසුබට වීම තුලින් දහම සමාජ ගත වීමට අහිතකර බලපෑමක් සිදු නොවනු ඇතිද?
(මා දන්නා පරිදි අපි හැකිතාක් දහම් මගට යොමුවීමෙන් අනතුරුව අන්‍යන්වද දහම් මගට හැකිතාක් යොමුකල යුතුබව බුද්ධ ‍දේශනය බවයි(අප අරහත් භාවයට පත්වන තුරු නොසිට))
(අප අරහත් භාවයට පත්වන තුරු අපට “අපේ ධර්මයක් ගෙන හැර දැක්වීම “ හැර වෙනයමක් කල හැකි වේවිද?)

(ඉහත ඔබගේ ගෙනහැර දැක්වීම තුලින් මා දුර්මුඛ නොවන බවද, එය අගය කොට සලකන බවද දක්වනු කැමැත්තෙමි. තවද මෙබදු වරදකට ඔබගේ එම ගෙනහැර දැක්වීමේ උචිත භාවය පිලිබඳ යම් සැකයක්ද පවතියි)

නැවතත් අප මහාචත්තාරීසක සූත්‍රයේ සහ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඇති කරුණු වලට යොමු වුවහොත්,
"සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධි" ලෙස මා හට වැටහුන කරුන නම් (මහාචත්තාරීසක සූත්‍රය පරිශීලනයෙන් පසුව )
“ආය්‍ය වූ අනාස්‍රව වූ ලෝකොත්තර මාර්ගාඪග වූ සම්‍යග්දෘෂ්ටිය, සංකප්ප,...,...,ආජීව “ නොමැති
“සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය, සංකප්ප,...,...,ආජීව “ ඇති පුද්ගලයින් තුල ඇති
“සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධි “ යයි.

ඔබට තෙරුවණ් සරණයි.
නයන

පින්වත් නයන,

දහම් මාවතට අන් අයවත් යොමුකරන්න උත්සාහ කරන කෙනෙක් ධර්මය ධර්මය ලෙසටත්, අධර්මය අධර්මය ලෙසටත්, ධර්මය අධර්මය නොවන ලෙසටත්, අධර්මය ධර්මය නොවන ලෙසටත් ගෙනහැර දක්වන්න උත්සාහ කරනවානම් තමයි ඒ පුද්ගලයාගේ ඒ උත්සාහයෙන් සාර්ථක ඵල ලැබෙන්නේ. මේ සතර කාරණාවන්ම එකම උත්සාහයේ පැති හතරක්.

සද්ධර්මයේ සියුම් කාරණාවන් වටහා ගන්න අපහසු කාරණාවන්මයි. සමහර දහම් කරුණු වැරදුනාට එතරම් විනාශයක් වෙන්නේ නැහැ. තවත් සමහර දහම් කරුණු වල එක වචනයක් හෝ තේරුමක් එහා මෙහා උනොත් ඒ හොදටම ඇති දහම් අවබෝධ කරගන්න බැරිවෙන ලෙසට දහම් අවුල් වී යන්න, අපැහැදිලි වී යන්න. නමුත් අප පහසුවෙන්ම පැටලෙන්නේ, වරදවා ගන්නේ අන්න එවන් සියුම් තැන්වල. එහෙම නොවුනානම් නිවන් අවබෝධය බොහෝම පහසු කාරණාවක් වෙනවා, බොහෝ අය පහසුවෙන්ම සියුම් කරුණු අවබෝධ කරගන්නවා. මේ නිසා යමෙක් අන් අයව දහම් මාවතට යොමුකරන්න උත්සාහ ගන්නවානම් එම සියුම් කරුණු වැටහෙන පරිදි බුදු පියානන් දේශනා කර ඇති සද්ධර්මය ඒ අනුවම අන් අයට ගෙනහැර පෑම තමයි කල යුත්තේ.

මේ කරුණෙහි නිවැරදිව යෙදෙන්න රහත් භාවය ලබන තුරු ඉන්න උවමනා නැහැ. නිවැරදි ක්‍රමයකට උත්සාහ කලොත් මෙය පහසුවෙන්ම කරන්න පුළුවන්. උදාහරණයකට බුදු පියානන් දේශනා කර ඇති සූත්‍ර ආදියේ ඇති කරුණු වලින් කරුණු අඩු කරන්නේත් නැතිව, නව කරුණු එකතු කරන්නේත් නැතිව අන් අයට ගෙන හැර දැක්වීම කල හැකියී.

සාසනයේ හික්මෙන භික්ෂූන් වහන්සේලාට බුදු පියානන් පවසා ඇත්තේ අනුමාත්‍ර වරදෙහිත් බිය වන්න කියා. වැරදි ලෙසින් ගත් මහණකම විස සහිත සර්පයෙකුගේ නැට්ට පැත්තෙන් අල්ලනවා සේ යැයි පවසා ඇත්තේත් එහි ඇති විනාශය නිසා. ධර්මය සැහැල්ලුවට ගන්න එපා යැයි පවසා තිබීම, දායකයින්ගේ ප්‍රත්‍ය ලැබ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ආදියෙන් මත්ව වැරදි ලෙස ප්‍රතිපදාවේ යෙදීමට වඩා ගිනියම් වූ යකඩ ගුලි ගිලීම උතුම් (අඩු දුක් විපාක ඇති) යැයි ආදි ලෙස බුදු පියානන් පවසන්නේ එම කරුණු වල ඇති විනාශකාරී බව නිසා. හික්මෙන අයට එසේ පවසා තිබේනම් අන් අය හික්මවන්න යන අය කෙසේ කටයුතු කල යුතුදැයි විමසා බලන්න වටිනවා.

වර්තමානයේ බොහෝ පිරිස් (ඔක්කොම නොවුනත් බොහෝ භික්ෂූන් වහන්සේලා) ධර්මය සැහැල්ලුවට ගත් පිරිසක්. ඔවුන් කරන කියන දේවල් බොහෝ ප්‍රමාණයක් සංඝ බේදය පිණිසමයි පවතින්නේ. සංඝ බේදයට මූලික කරුණක් තමයි ධර්මය, අධර්මය, විනය, අවිනය පටලවා ගැනීම. ඉතින් එවන් අය මහණ වෙලාත් සාසනය රැකගන්න යැයි කරන දෙයින් තම තමන්ගේත් අන් අයගේත් විනාශය පිණිස කටයුතු කරන එකේ අපිත් ඒ ආකාරයටම උත්සාහ කිරීම සුසුදු නැහැ. ධර්මය, අධර්මය පටලවා පැවසීම ගැන ත්‍රිපිටකයේ ඇති තවත් කරුණු ප්‍රමාණයක් මම තවත් ලිපියක සඳහන් කර තිබෙනවා.

ඉතින් පින්වත් නයන අන් අයට දහම් මේ යැයි ගෙනහැර දක්වන විට වැරදීම් සිදුවීම පිළිබදව දැඩි බියක්ම ඇතිකරගන්න. ඒ එක්කම ධර්මය ධර්මය ලෙසටත්, අධර්මය අධර්මය ලෙසටත්, ධර්මය අධර්මය නොවන ලෙසටත්, අධර්මය ධර්මය නොවන ලෙසටත් ගෙනහැර දක්වන්න දැඩි උත්සාහ ගන්න. ටිකක් පුරුදු උනොත් බැරි වෙන්නේ නැහැ. එවන් අයගේ අඩුව තමයි මේ කාලයේ පිරිමසන්න ඕනෑ. මොකද දැන් සිදුවී ඇති මහා අවුල නම් මේ ධර්මය සහ අධර්මයත්, විනය සහ අවිනයත් පටලවා ගැනීම. ත්‍රිපිටකයේ මේ කාරණා මනා කොට තිබෙනවා, ඉන් බොහෝ ප්‍රමාණයක් අපැහැදිලි බවකින් තොරයි.

මහාචත්තාරීසක සූත්‍රයේ "සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධි" යන කරුණු තුන දක්වා නැහැ. ඉතින් එහෙම කරුණු තුනක් එම සූත්‍රයේ දක්වා ඇතැයි කීම මෙන්න මේ වගේ දෙයක්: අංගුත්තර නිකායේ දුක නිපාතයේ පඨම පණ්ණාසකයේ බාල වග්ගයේ තතිය සූත්‍රය (2.1.3.3). ඉතින් සම්මා සම්බුදුවරයෙකුට දොස් පවරමින් හැකි වෙයිද එම සම්මා සම්බුදුවරයා කෙරෙහි අචල ප්‍රසාදයක් ඇතිකරගන්න?

පින්වත් නයන, මෙයින් කියවෙන්නේ නැහැ එවන් කරුණු තුනක් නැතැයි කියා. එම කරුණු තුන මහාචත්තාරීසක සූත්‍රයේ දක්වා (පවසා, විස්තර කොට) නැහැ. සමහරක් විට වෙන සූත්‍ර වල පවතින්න පුළුවන්. මෙවන් තැනකදී මහාචත්තාරීසක සූත්‍රයේ දක්වා නැති නිසා මමත් ඒ කරුණු ගැන නොසිතා ඉන්නවා කියා ක්‍රියා කිරීමත් නුවන වැඩීමට හේතුවක් නොවෙයි. මොනවා නිසා ඒ කරුණු මෙතන දක්වා නැත්ද, වෙන තැන් වල තියෙනවාද ආදී ලෙසිනුත් විමසා බලන්න ඕනෑ. එවන් සාකච්චාවකදී මිසක් එවන් කරුණු මෙහි සැඟව ඇතැයි හෝ අන් අයට කීම සුදුසු නැහැ, එවිට කල යුත්තේ ඇති ප්‍රමානය ඒ ලෙසින් දැක්වීම පමණයි.

ඉතින් ඔබට හිතෙනවානම් "සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධි" යනු "සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය, සංකප්ප,...,..., ආජීව" ඇති පුද්ගලයින් තුල ඇති "සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධි" යැයි කියා එසේ ඔබ පවසන්නේ මෙම සූත්‍රය පමණක්ම බලා නම් එය බුදු පියානන් මෙම සූත්‍රයේ නොපවසා ඇති මුත් ඇතැයි ඔබ සිතූ කරුණක් පමණයි, බුදු පියානන් පැවසූ බවට තහවුරු කර ගැනීමක් නැහැ. එවන් අරුත් ගැන්වීමක් හරියන්නත් පුළුවන්, වැරදෙන්නත් පුළුවන්. අරුත් ගැන්වීම හරි ගියත්, වැරදුනත් ඉහත පැවසූ පරිදි බුදු පියානන්ට දොස් පැවරීම නම් නැතිවන්නේ නැහැ මොකද සූත්‍රයේ දක්වා (පවසා, විස්තර කොට) නැති කරුණක් දක්වා ඇතැයි කීම නිසා. එහෙම දොස් පැවරීමක් සිදු නොවන්න නම් අප දකින මහාචත්තාරීසක සූත්‍රය බුදු පියානන් පැවසූ මහාචත්තාරීසක සූත්‍රයේ කොටසක් අඩු සූත්‍රයක් වෙන්න ඕනෑ, නොඑසේ නම් වෙනත් විකෘතියකට ලක් වූ සූත්‍රයක් වෙන්න ඕනෑ. ඒක එහෙම නම් මම ඔබව නොමඟ යැවූ කෙනෙක් වෙනවා. ඉතින් ඔබට තේරෙනවා ඇති පෙර යම් කෙනෙක් අඩුවෙන් හෝ වැඩියෙන් මහාචත්තාරීසක සූත්‍රය අපට ගෙන හැර දක්වා ඇත්ද, එහි සුළු හෝ විකෘතියක් ඇත්නම් අපි දහම් හොදහැටි පටලවා ගන්නවා, මම හරි දහම කියන මුත් ඔබ වැරදි දහම කියනවා යැයි එකිනෙකාට චෝදනා කරගන්නවා, ගහ බැන ගන්නවා, සංඝ බේද කර ගන්නවා, රණ්ඩු මිස අවබෝධයට එය තුඩු දෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වැනි අවුල් ඇතිකරන්න දායක නොවී, මතුවට එවන් දේ නොවන ලෙසට අඩුත් නැතිව, වැඩිත් නැතිව අපට ලැබුණු දහම් එලෙසම අපි අන් අයට ලබා දෙන්න ඕනෑ. එය කිරීමේ සාර්ථකම ක්‍රමය තමයි නවාංග ශාස්තෘ සාසනයේ අවබෝධය වැඩි දියුණුව පිණිස අන් අයව ත්‍රිපිටකයටම යොමු කිරීම.

කමල්

පින්වත් කමල්,
“මෙවන් තැනකදී මහාචත්තාරීසක සූත්‍රයේ දක්වා නැති නිසා මමත් ඒ කරුණු ගැන නොසිතා ඉන්නවා කියා ක්‍රියා කිරීමත් නුවන වැඩීමට හේතුවක් නොවෙයි. මොනවා නිසා ඒ කරුණු මෙතන දක්වා නැත්ද, වෙන තැන් වල තියෙනවාද ආදී ලෙසිනුත් විමසා බලන්න ඕනෑ. එවන් සාකච්චාවකදී මිසක් එවන් කරුණු මෙහි සැඟව ඇතැයි හෝ අන් අයට කීම සුදුසු නැහැ, එවිට කල යුත්තේ ඇති ප්‍රමානය ඒ ලෙසින් දැක්වීම පමණයි. “

ඉහත ඔබගේ ප්‍රකාශය හා මම එකඟ වෙමි.
ඉදිරියේදී මම දකින සංශිප්ත දහම් සටහන වෙනස් කිරීමටද(මොනවා නිසා ඒ කරුණු මෙතන දක්වා නැත්ද, වෙන තැන් වල තියෙනවාද ආදී ලෙසිනුත් විමසා බැලීමෙන් පසුව), සූත්‍ර පිටකයෙහි එන වචන නොයෙදීමටද අදහස් කරමි.

“වර්තමානයේ බොහෝ පිරිස් (ඔක්කොම නොවුනත් බොහෝ භික්ෂූන් වහන්සේලා) ධර්මය සැහැල්ලුවට ගත් පිරිසක්. ඔවුන් කරන කියන දේවල් බොහෝ ප්‍රමාණයක් සංඝ බේදය පිණිසමයි පවතින්නේ. සංඝ බේදයට මූලික කරුණක් තමයි ධර්මය, අධර්මය, විනය, අවිනය පටලවා ගැනීම. ඉතින් එවන් අය මහණ වෙලාත් සාසනය රැකගන්න යැයි කරන දෙයින් තම තමන්ගේත් අන් අයගේත් විනාශය පිණිස කටයුතු කරන එකේ අපිත් ඒ ආකාරයටම උත්සාහ කිරීම සුසුදු නැහැ. “

ඔබගේ ඉහත ප්‍රකාශයත් සමගද මම එකඟ වන අතර අප සාසනය රැක ගැනීම සඳහා කල යුතු එකම දෙය නම් අපට හැකි උපරිමයෙන් නිවැරදි බුදු දහම (ත්‍රිපිටක ධර්මය) අපගේ ජීවිත කාලය තුලදී අප විසින්ම ක්‍රියාත්මක කිරීම බව මාගේ දැක්මයි.

මෙම දහම එදිනෙදා ජීවිතය තුලදී ක්‍රියාත්මක කලයුතු ආකාරය විස්තර කරන ඔබ දන්නා සූත්‍රයන් සඳහන් කරන මෙන්ද, මා දිනය අරාම්බ කර පවත්වා ගැනීම සඳහා භාවිතා කරනු ලබන ක්‍රමවේදය (දින චරියාව) පිළිබඳවද අදහස් බලාපොරොත්තු වෙමි.

පින්වත් නයන,

බුද්ධ දේශනාවන් ගෙන හැර දැක්වීමේදී රූප සටහන් භාවිතා කිරීමෙන් වලකින්න. සූත්‍ර දේශනාවන්ගේ ගැබ්ව ඇති ගුප්ත බලයක් නම් මා අත්දැක නැහැ. නමුත් මා හොදින් අත්දැක්ක කාරණාවක් නම් මනා සේ වචන ගලපා, අරුත් ගලපා, පිළිවෙලක් ඇතිව, අන් සූත්‍ර සමඟ පද හා වාක්‍ය ගැලපුම් සහිතව අවබෝධය ඇති වන පිළිවෙලකට, බුදුන්ගේ මනා සේ දහම් දෙසීමේ හැකියාව ප්‍රත්‍යක්ෂ ලෙසින් දැකගන්න පුළුවන් ලෙසකට (එයින්ම ප්‍රසාදය උපදවන), දහම් දේශනාවන් කෙසේ විමසිය යුතුද යන අවබෝධය ඇතිකරන ආදී ගුණාංගයන් සූත්‍ර දේශනාවන්ගේ පවතිනවා. සූත්‍ර දේශනාවන්ගේ එම හැකියාවන්ගේ අහලකටවත් ලංකරන්න රූප සටහන් වල එවන් හැකියාවක් නැහැ. මේ නිසා රූප සටහන් තුලින් බුද්ධ දේශනාවන් දක්වන්න ගියොත් එය එම රූප සටහන් භාවිතා කර දහම් අවබෝධයට පෙළඹෙන අයගේ අභාග්‍යට හේතු කාරණාවක් වෙනවා. සූත්‍ර දේශනාවන්ගේ ඇති නොපහන් වූවන් පැහැදීම පිණිස වන, පහන් වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස වන හැකියාව නොසලකා හැර රූප සටහන් භාවිතයෙන් බුද්ධ දේශනාවන් ගෙන හැර දක්වන්න යෑම නොපහන් වූවන්ගේ නොපැහැදීම පිණිසත් පැහැදුනා වූ ඇතැම් අයගේ වෙනස් ස්වභාවයක් පිණිසත් හේතු වෙනවා. විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ ඛුද්දකවත්ථුක්ඛන්ධකයේ (140) බුදු වදන් අන්‍ය වූ වෛදික භාෂාවට නැගීම කරන්න එපා යැයි බුදු පියානන් විනය කරුණක් පණවා තිබෙනවා. එවන් භාෂාවකටත් හරවන්න එපා යැයි පවසා තියෙන එකේ දහම් දේශනාවන් රූප සටහන් වලට නැඟීම කොහොම සුදුසු යැයි සිතන්නද? සාමාන්‍යයෙන් බොහෝ අයට වැටහෙන්නේ රූප සටහන් අපහසු දේ අවබෝධ කරන්න පහසු කරනවා නේද කියා. නමුත් බුද්ධ දේශනාවේ ඉහත පැවසූ ලෙස වන දහම් අවබෝධය වැඩිදියුණු කරන, නුවණ වඩවන හැකියාව රූප සටහන් වලට නැහැ. ඊතල ආදිය දිගු කලක් මතක තබා ගන්නත් බැහැ. ඒ නිසා රුප සටහන් භාවිතය සාසනයේ චිසර්තිථියටත් බාධාවක්. එවන් හේතු නිසා රූප සටහන් භාවිතයෙන් දහම් අවබෝධ කරන්න යෑම දිග ඒදන්ඩක ඉක්මනින් යන්න උවමනා අයෙක් ඒදන්ඩේ දුවගෙන ගොස් දිය පහර තරණය කරමියී සිතනවා වගේ කාරණාවක්. ඒ ක්‍රමයෙන් වැඩි දුර යන්න පුළුවන් වෙන්නේ නැහැ.

ගිහියන්ට විශේෂ ලෙස දේශනා කරන ලද සූත්‍ර කිහිපයක් සොයා ඔබ දක්වා ඇති දින චර්යාව ගැනද දිනකින්, දෙකකින් විස්තර ටිකක් සපයන්නම්.

කමල්

පින්වත් කමල්,
රූප සටහන් සංකල්පයන් අවබෝද කර ගන්නා ක්‍රම වේදය අතීතයේ සිට පැවති වර්ථමානයේදී බහුල ලෙස භාවිතා කරනු ලබන ක්‍රම වේදයකි. එහි වටිනාකම මා විසින්ද අත් දකිනු ලද්දක් වන අතර එය මාගේ ශිෂ්‍යයින් සඳහා ද හඳුන්වා දෙනු ලැබ තිබෙන අතර එය ඔවුන් තුල සැලකිය යුතු වර්ධනයකට ඉවහල්වි ඇති බව මාගේ පෘද්ගලික අදහස ද වෙයි.

එතුලින් වඩා පහසුවෙන් දහම් මගට යොමුවීම සඳහා වන මූලික දැනුම පාඨකයා වෙත ලබා දීම මා ගේ මූලික අරමුණ වෙයි.
http://en.wikipedia.org/wiki/Mind_map
http://www.mindmapping.com/theory-behind-mind-maps.php
http://www.tonybuzan.com/about/mind-mapping/
“මේ නිසා රූප සටහන් තුලින් බුද්ධ දේශනාවන් දක්වන්න ගියොත් එය එම රූප සටහන් භාවිතා කර දහම් අවබෝධයට පෙළඹෙන අයගේ අභාග්‍යට හේතු කාරණාවක් වෙනවා. සූත්‍ර දේශනාවන්ගේ ඇති නොපහන් වූවන් පැහැදීම පිණිස වන, පහන් වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස වන හැකියාව නොසලකා හැර රූප සටහන් භාවිතයෙන් බුද්ධ දේශනාවන් ගෙන හැර දක්වන්න යෑම නොපහන් වූවන්ගේ නොපැහැදීම පිණිසත් පැහැදුනා වූ ඇතැම් අයගේ වෙනස් ස්වභාවයක් පිණිසත් හේතු වෙනවා. විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ ඛුද්දකවත්ථුක්ඛන්ධකයේ (140) බුදු වදන් අන්‍ය වූ වෛදික භාෂාවට නැගීම කරන්න එපා යැයි බුදු පියානන් විනය කරුණක් පණවා තිබෙනවා. එවන් භාෂාවකටත් හරවන්න එපා යැයි පවසා තියෙන එකේ දහම් දේශනාවන් රූප සටහන් වලට නැඟීම කොහොම සුදුසු යැයි සිතන්නද? “

පින්වත් කමල්, ඉහත ප්‍රකාශය තුලදී ඔබ භාෂාවකට නැගීමට එපා යැයි සඳහන් කරුන පිලිබඳව එම සූත්‍රයෙහි සඳහන් නොමැති රූප සටහනකට නැගීම ගැන ඔබගේ අදහසක් (එවන් භාෂාවකටත් හරවන්න එපා යැයි පවසා තියෙන එකේ දහම් දේශනාවන් රූප සටහන් වලට නැඟීම කොහොම සුදුසු යැයි සිතන්නද?) ප්‍රකාශ කරයි.
එම ප්‍රකාශය තුල ඔබ අංගුත්තර නිකායේ දුක නිපාතයේ පඨම පණ්ණාසකයේ බාල වග්ගයේ තතිය සූත්‍රය (2.1.3.3). ට අනුව සම්මා සම්බුදුවරයෙකුට දොස් පවරීමක් නොකරන බව කිවහැකි වෙයිද?
(සූත්‍රයෙහි දක්වා නොමැති කරුනක් පිලිබඳව සූත්‍රයෙහි ඇතැයි ‍නොකියූවද , එම නොමැති කරුනු ද, එම සූත්‍රයද භාවිතයට ගෙන සූත්‍රයෙහි නොමැති අදහසක් ප්‍රකාශ කිරීම (“මේ නිසා රූප සටහන් තුලින් බුද්ධ දේශනාවන් දක්වන්න ගියොත් එය එම රූප සටහන් භාවිතා කර දහම් අවබෝධයට පෙළඹෙන අයගේ අභාග්‍යට හේතු කාරණාවක් වෙනවා “) )
සූත්‍ර පිටකයෙහි දක්වා නොමැති ඒ කරුනු ඇසුරෙන් ඔබ නිගමනය කල කරුන වැරදි නම් (“මේ නිසා රූප සටහන් තුලින් බුද්ධ දේශනාවන් දක්වන්න ගියොත් එය එම රූප සටහන් භාවිතා කර දහම් අවබෝධයට පෙළඹෙන අයගේ අභාග්‍යට හේතු කාරණාවක් වෙනවා “) ඔබ අංගුත්තර නිකායේ දුක නිපාතයේ පඨම පණ්ණාසකයේ බාල වග්ගයේ තතිය සූත්‍රය (2.1.3.3). ට අනුව සම්මා සම්බුදුවරයෙකුට දොස් පවරීමක් කරන්නෙකුම බව කිවයුතු නොවෙයිද?
මාගේ මතය නම් භාෂාවකින් භාෂාවකට ගැඹුරු දහමක් පරිවර්ථනය කිරීම සහ එක් භාෂාවකින් ඇති කරුනු තමාගේ අවබෝදය අනුව සටහනකට පෙරලී අතර විශාල වෙනසක් පවතින බවයි.
අනෙක් මා දකින ප්‍රධාන කරුන නම් රූප සටහන හෝ සූත්‍ර පිටකය පරිශීලනය තුලන් අපට දැනුම පමනක් ලැ‍බෙන අතර එම දැනුම භාවිතා කොට අපතුල ඇතිවන අකුසල මූලයන්ගේ (‍ලෝභ,ද්වේෂ,මෝහ) ප්‍රහානය කරනු ලබන ප්‍රමානය තුලින්ද කුසල මූලයන්ගේ (අලෝභ, අද්වේෂ,අමෝහ) වර්ධනය කරනු ලබන ප්‍රමානය තුලින්ම පමනක් අප විමුක්තිය වෙත ලගාවන ප්‍රමාණය තීරනය වන බවය. (මේ දැනුම ද මාගේ හිතලුවක් පමක් වන කරුනා‍වෙන් සලකන්න.(අදාල සූත්‍රයක් උපුටා දැක්විමට මතකයෙහි නොමැත )

ඔබට තෙරුවන් සරණයි.
නයන

පින්වත් නයන,

ඔබ දක්වා ඇති දින චර්යාව පිළිබඳ ලිපියේ සද්ධර්මයේ දැක්වෙන සමහර වචන වල අර්ථයන් වෙනස් ආකාරයන්ගෙන් භාවිතා වී ඇති බවක් පෙනෙනවා. උදාහරනයකට සමාධිය යන වචනය නොයෙක් අයුරින් භාවිතා වී ඇති බවක් පෙනෙනවා. මේ නිසා එම ලිපියේ නිවැරදි අරුත් සම්පූර්ණයෙන් වටහා ගන්න අපහසුයි. නමුත් මෙආකාරයෙන් දින චර්යාවක් සකස් කරගන්න පෙළඹීම සහ එහි යෙදීම බොහෝම යහපත් දෙයක්. වචන වල අර්ථය ගැන පැහැදිලි බව වැඩි කර ගැනීම සඳහා මෙවන් ලිපියක් ලියන විට එය බුදු දහම ගැන බොහෝම සුළු අවබෝධයක් ඇති අයටත් තේරෙන ලෙස ලියන්නෙමී යන අදහසින් ලියන්න උත්සාහ ගන්න. එවිට ඔබේ අදහස් මනා සේ, පැහැදිලි බවින් වැඩි ලෙස එහි දක්වන්න හැකි වේවි. බුදු දහම ගැන අවබෝධය අඩු අයටත් වැඩි අයටත් යන හැමෝටමත් පැහැදිලි ලෙසින් ඔබේ අදහස් තේරුම් ගන්න හැකි වේවි.

දින චර්යාව පිළිබඳ ලිපියේ සඳහන් කරුණු අනුව සහ වචන අනුව එම දින චර්යාවේ යෙදෙන පුද්ගලයාගේ යොමුව කුමක්දැයි යම් ගැටළු සහගත බවක් ඇතිවෙනවා. ඒ සමහරක් නොගැලපෙන යෙදුම් නිසායි. මුලදී "නිර්වාණය වෙත යොමු කල පුද්ගලයකු වීම සඳහා අධිෂ්ඨාන කරමු" ලෙස සඳහන්. අන්තිමට "දුකෙන් මිදී සැපවත් පෘතග්ජන ජීවිතයක් ගතකල යුතු බව" ලෙස සඳහන්. මේ අවසාන වදන් පෙළ ගැලපෙන්නේ නැහැ. ඊට හේතුව නම් පෘතග්ජන ජීවිතයක් ගත කරන කෙනෙකු නම් දුකෙන් මිදුනු අයෙක් නොවන නිසා. "නිර්වාණය වෙත යොමු වීම" සඳහා සහ "සැපවත් පෘතග්ජන ජීවිතයක් ගතකිරීම" සඳහා යන කරුණු එකිනෙකට පරස්පර නිසා එහි පැහැදිලි බවක් ඇති කර ගන්න. ලඟා කර ගත යුතු ලෞකික සහ ලෝකෝත්තර ඉලක්කයන් සහ කවර ලෙසකින් ඒ වෙත ලඟා වීම ඔබට පහසුදැයි විමසා බලා මේ කරුණු දෙකෙහි (ලෞකික සහ ලෝකෝත්තර) ඔබට පහසු ආකාරයක ගැළපුම් සහිත ආකාරයක දින චර්යාවක් පිළිබඳව සිතා බලන්න.

ගිහියන්ගේ ගිහි ජීවිතය සාර්ථකව කරගෙන යෑම ගැන සඳහන් එක් සූත්‍රයක් ලෙස අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ දුතිය පණ්ණාසකයේ ගොතමී වග්ගයේ ව්‍යග්ඝපජ්ජ සූත්‍රය (8.2.6.4) දැක්විය හැකියී.

ගිහි ගෙයි වසන කාන්තාවන්ට ලොව ජය ගන්නා ආකාරය පිළිබඳව කාන්තාවන් සඳහා විශේෂ ලෙස කරන ලද දේශනාවක් ලෙස අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ උපෝසථ වග්ගයේ ප්‍රථමලෝකවිජය සූත්‍රය (8.1.5.9) දැක්විය හැකියී. මෙම උපෝසථ වග්ගයේ සූත්‍ර බොහෝමයකම කාන්තාවන්ට ප්‍රයෝජනවත් කරුණු ඇතුලත්. ඊට අමතරව පෙහෙවස් සමාදන් වීම ගැන ඇති සූත්‍ර නම් පිරිමින්ටත් ප්‍රයෝජනවත්.

මේ කවර ආකාරයක සූත්‍ර දෙස බැලුවත් ඔබ කැමති යම් ඉලක්කයක් වෙත යෑමේදී කෙසේ නම් එම ප්‍රතිපදාව සකස් කර ගත යුතුදැයි යන්න තෝරා බේරා ගැනීමට මහාචත්තාරීසක සූත්‍රයේ ආය්‍ය වූ අනාස්‍රව වූ ලෝකොත්තර මාර්ගාඪග වූ සම්මා දිට්ඨිය ඉවහල් වෙනවා. ඔබ කරන කියන දේවලින් කවර ආකාරයක ඵලයක් ඔබට ලැබේවිදැයි වටහා ගන්නත් මහාචත්තාරීසක සූත්‍රයේ ආය්‍ය වූ අනාස්‍රව වූ ලෝකොත්තර මාර්ගාඪග වූ සම්මා දිට්ඨිය ඉවහල් වෙනවා. එම නිසා එම සූත්‍රය මනා සේ විමසා බලා එහි පවසා ඇති පරිදි කල යුතු සහ නොකල යුතු දේ කවරේ දැයි ඔබේ කැමැත්තේ ආකාරයට තෝරාගෙන එම ආකාරයට අනුකූල වූ දින චර්යාවක් සකස් කර ගන්න.

අඩු තරමින් සෝවාන් ඵලයවත් වහ වහා ලඟා කරගන්න උත්සාහ කිරීම ඉතාම උසස් සහ ඵලවත් කාරනාවක්. නමුත් එයට අනුකූල ලෙස මහාචත්තාරීසක සූත්‍රය ඇසුරින් කවර ලෙසක දින චර්යාවක් සකස් කර ගත යුතුද යන්න විමසීමේදී ගිහි කටයුතු වල යෙදෙන ස්වරූපයන් බොහො දෙනෙකුට වෙනස් කරන්න සිදුවෙන්න පුළුවන්. සමහරක් අයට එය පහසුවෙන් කරන්නත්, සමහරක් අයට එය ඉතාම අපහසු වෙන්නත් පුළුවන්. ඒ ගෘහ ජීවිතයේ ස්වභාවය. යමෙක් ඒ සඳහා උත්සාහ කරනවා නම් සෝවාන් වීම පිණිස වන අංග හතර වන සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, ඇසූ දහම් නුවනින් මෙනෙහි කිරීම (අරුත් විමසීම) හා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යන කාරණාවන්ගේ උපරීම ලෙස යෙදීම සඳහා තමා යෙදිය යුතු ගිහි කටයුතු වල අතපසුවීමක් නොකර කාලය සොයාගන්නා ක්‍රමයන් සහ උපක්‍රමයන් ඒ ඒ පුද්ගලයා විසින් හඳුනා ගත යුතු කාරනාවන්. මෙය පහසු කාරණාවක් නොවෙන්න පුළුවන්. මේ කාලයේ බොහෝ ගිහියන්ට මෙය බොහෝ අපහසු වෙන්න කාරණාවක් වන්නේ ඇයි දැයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යනු කුමක්දැයි බුදු පියානන් භික්ෂූන් වහන්සේලාට පවසා ඇති ආකාරය ඛුද්දක නිකායේ ඉතිවුත්තකපාළියේ තික නිපාතයේ ධර්මානුධර්මප්‍රතිපන්න සූත්‍රය (3.4.7) දෙස බැලීමෙන් වටහා ගත හැකියී. උත්සාහවන්තයෝ ඒ කොපමණ අපහසු උනත් මොන ක්‍රමයෙන් හරි එම ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැකි උපරිමයෙන් යෙදෙනවා. යෙදෙන්න අපහසුකම් ඇති වුවොත් මොන ක්‍රමයෙන් හරි එහි උපරිමයෙන් යෙදෙන්න පුළුවන් උපක්‍රම සොයාගන්නවා. එවිට බොහෝ ගිහියන්ට ප්‍රිය උපදවන කාරනාවන් බොහෝ පමණ අතහැර දමන්න සිදුවෙනවා. මෙහෙම කියූ පමණින් අන් කාරනාවන්ට මොක උනත් කමක් නැත, ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙමී යැයි එහි යෙදෙන්න උත්සාහ කරන්න එපා. එය වැඩි වන දහම් අවබෝධය සමඟ නොකරොත් පහසුවෙන්ම මේ කාලේ මුලා වෙන්න පුළුවන්. එහෙම උනොත් අන්තිමට ගිහි ගෙයි සැපත් නැහැ, ලැබෙන ලෝකෝත්තර සැපකුත් නැහැ. දැන් කාලේ දකින්න පුළුවන් බොහෝ හාමුදුරුවරුත් එහෙමනේ. දෙකෙන් එක සැපක්වත් නැහැ. එවන් අය පැවිදි බවින් ඉද ලෞකික හෝ ලෝකෝත්තර සැප නොවිදින අය. ගිහි බවින් ඉදත් ලෞකික සහ ලෝකොත්තර සැප යන දෙකෙන් එකක්වත් නොවිදින අය හදන්න උවමනා නැහැනේ. මේ දෙකෙන් ලෝකෝත්තර සැප වඩාත් ප්‍රණීතයි, වඩාත් සුව දායකයි, ශාන්තයි. දහම් අවබෝධය ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණු කර ගත යුතු දෙයක්. ඉතින් ආරම්භයේදී සද්ධර්මය පැහැදිලි ලෙසින් අවබෝධ කර ගැනීමට වැඩි වැඩියෙන් ගිහි බවින්ම ඉඳ සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය හා ඇසූ දහම් නුවනින් මෙනෙහි කිරීම (අරුත් විමසීම) කල හැකියී. ප්‍රශ්නයක් ඇති නොවන ලෙසකට හැකි උපරිමයෙන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේත් යෙදිය හැකියී. අවබෝධය වැඩි වන විට ඒ ඒ පුද්ගලයාට තමාට සුදුසු ලෙස තම දිවිය හැඩගස්වා ගන්න තීන්දු හා තීරණ වලට එන්න පුළුවන්.

කමල්

පින්වත් කමල්,

දින චර්යාව පිළිබඳ ලිපියේ සඳහන් කරුණු අනුව සහ වචන අනුව එම දින චර්යාවේ යෙදෙන පුද්ගලයාගේ යොමුව කුමක්දැයි යම් ගැටළු සහගත බවක් ඇතිවෙනවා. ඒ සමහරක් නොගැලපෙන යෙදුම් නිසායි. මුලදී "නිර්වාණය වෙත යොමු කල පුද්ගලයකු වීම සඳහා අධිෂ්ඨාන කරමු" ලෙස සඳහන්. අන්තිමට "දුකෙන් මිදී සැපවත් පෘතග්ජන ජීවිතයක් ගතකල යුතු බව" ලෙස සඳහන්. මේ අවසාන වදන් පෙළ ගැලපෙන්නේ නැහැ. ඊට හේතුව නම් පෘතග්ජන ජීවිතයක් ගත කරන කෙනෙකු නම් දුකෙන් මිදුනු අයෙක් නොවන නිසා. "නිර්වාණය වෙත යොමු වීම" සඳහා සහ "සැපවත් පෘතග්ජන ජීවිතයක් ගතකිරීම" සඳහා යන කරුණු එකිනෙකට පරස්පර නිසා එහි පැහැදිලි බවක් ඇති කර ගන්න.
ඔබගේ ඉහත ප්‍රකාශය සමඟ මම එකග වෙමි.
එය පහත ආකරයට එය වෙනස් කලෙමි.
“( පෟතග්ජන ජීවිතය අවම දුක් සහිතවද ලෝකෝත්තර සැපය වෙත එලබීමට බාදා ඇති නොකරන ලෞකිඛ සැප සහිතවද ගතකල යුතු බව) “

https://senasuma.wordpress.com/%E0%B6%AF%E0%B7%92%E0%B6%B1-%E0%B6%A0%E0%...

ඔබට තෙරුවන් සරණයි
නයන

පින්වත් නයන,

අදහස් සන්නිවේදනය රූප සටහන් භාවිතා කර සිදු කරනවානම් එයත් භාෂාවක්මයි.

එබැවින් එම කරුණෙහි (ඉහත පැහැදිලි කිරීමේදී) මම අංගුත්තර නිකායේ දුක නිපාතයේ පඨම පණ්ණාසකයේ බාල වග්ගයේ තතිය සූත්‍රයට අනුව සම්මා සම්බුදුවරයෙකුට දොස් පැවරීමක් කරන බව කිවහැකි නොවේ.

කමල්

පින්වත් කමල්,

“ඉදින් භවත් සම්‍යක් දෘෂ්ඨිය ගරහා නම් යම් මැ මිසදුටු ගත් මහණ බමුණු කෙනෙක් ඇත්ද, ඔහු භවතුන් විසින් පූජ්‍යයෝ වෙති. ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙති යනුවෙනි. ....“

ආදී ලෙස මහා චත්තාරීසක සූත්‍රයෙහි සඳහන් පාඨය ගැන ඔබගේ අදහස් බලාපොරොත්තු වෙමි.

මා හට වැටහෙන එහි අරුත නම් ”භවත් සම්මා දෘෂ්ඨිය ගරහයි නම්, ඔහු පූජ්‍යයෙකු වෙයි. ප‍්‍රසංසා කළ යුතු වෙයි” යනුයි.

මෙමගින් කියවෙන මා හට වැට‍හෙන අරුත වැරදි ද?
නැතහොත් පරිවර්ථන දෝෂයක්ද?
එසේත් නොමැති නම් වැරදිලෙස අර්ථ ගැන්වීමක්ද?

ඔබට තෙරුවන් සරණයි.
නයන

පින්වත් නයන,

"ඉදින් භවත් සම්‍යක් දෘෂ්ඨිය ගරහා නම් යම් මැ මිසදුටු ගත් මහණ බමුණු කෙනෙක් ඇත්ද, ඔහු භවතුන් විසින් පූජ්‍යයෝ වෙති. ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙති ..." යන වදන් පෙළ ගැන පහත වාක්‍ය වලට අනුව සිතා බලන්න:

1) "ඉදින් භවත් සම්‍යක් දෘෂ්ඨිය ගරහා නම් යම් මැ මිසදුටු ගත් මහණ බමුණු කෙනෙක් ඇත්ද, එම මිසදුටු ගත් මහණ බමුණු කෙනා භවතුන් විසින් පූජ්‍යයෝ වෙති. එම මිසදුටු ගත් මහණ බමුණු කෙනා භවතුන් විසින් පසැස්ස මනා වෙති ..."

2) "ඉතින් ඔබ සම්‍යක් දෘෂ්ඨිය ගරහයි නම් යම් මිත්‍යා දෘෂ්ඨික මහණ බමුණු කෙනෙක් හිටියොත් ඔබ එම මිත්‍යා දෘෂ්ඨික මහණ බමුණු කෙනාට පූජා කරනවා. ඔබ එම මිත්‍යා දෘෂ්ඨික මහණ බමුණු කෙනාව ප්‍රසංශා කරනවා ..."

කමල්

පින්වත් කමල්,

“මහණෙනි, යම් කිසි මහණෙක් වේවායි බමුණෙකු වේවායි මේ මහාචත්තාරීසප ධර්ම පර්යාය ගැරහියැ යුතු යැ, බැහැර කළ යුතු යයි සිතන්නේ නම්, දිටුදැමියෙහි මැ (පරා විසින් කී කරුණෙන්) සකාරණ ව ඔහු ගේ වාදානුවාදයෝ දස දෙනෙක් විඥයන් විසින් ගැරහිය යුතු තැනට පැමිණෙත්. ඉදින් භවත් සම්‍යක් දෘෂ්ඨිය ගරහා නම් යම් මැ මිසදුටු ගත් මහණ බමුණු කෙනෙක් ඇත්ද, ඔහු භවතුන් විසින් පූජ්‍යයෝ වෙති. ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙති“

ආදී ලෙස මහා චත්තාරීසක සූත්‍රයෙහි සඳහන් පාඨය කෙසේනම් ඔබ පවසන ආකාරයට සිතා බැලිය හැකිද? සිතා බැලිය යුතුද?

“2) "ඉතින් ඔබ සම්‍යක් දෘෂ්ඨිය ගරහයි නම් යම් මිත්‍යා දෘෂ්ඨික මහණ බමුණු කෙනෙක් හිටියොත් ඔබ එම මිත්‍යා දෘෂ්ඨික මහණ බමුණු කෙනාට පූජා කරනවා. ඔබ එම මිත්‍යා දෘෂ්ඨික මහණ බමුණු කෙනාව ප්‍රසංශා කරනවා ..."“

“ඔහු භවතුන් විසින් පූජ්‍යයෝ වෙති.ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙති“

ඔබට තෙරුවන් සරණයි.
නයන

පින්වත් නයන,

යම් පමණකට මම කල්පනා කරනවා ඔබ සිංහල භාෂාවේ කර්තෘ කාරක සහ කර්ම කාරක වාක්‍ය භාවිතය පිළිබඳවද සැක කරන්නේ කියා. එහෙම නම් මේ වාක්‍ය දෙක බලන්න:

1. මම අඹ කමි.
2. අඹ මා විසින් කැවේ.

මෙම වාක්‍ය දෙකේ අරුත එකමයි. අංක 1 වාක්‍ය කර්තෘ කාරක ලෙස ලියා ඇත්තේ. අංක 2 කර්ම කාරක ලෙස ලියා ඇත්තේ. කර්ම කාරක වාක්‍ය වල "විසින්" යන වචනය දැකිය හැකියී. කර්ම කාරක වාක්‍ය භාවිතා වන ප්‍රමානය අඩුයි.

සාමාන්‍ය සිංහල භාෂාවේ මෙම කර්ම කාරක වාක්‍ය භාවිතා වන විට අපට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් උනත්, ඒ ගැන හොඳ අවබෝධයක් ඇති අයටත් ත්‍රිපිටකයේ ඇති භාෂා විලාසය හේතුවෙන් සමහරක් දිග වාක්‍ය බොහෝ වාර ගනනක් කියවා බලාම තමයි කවරක් යම් වාක්‍යයක කර්තෘද, කවරක් කර්මයද ආදී ලෙසින් තේරුම් ගන්න වෙන්නේ. වාක්‍ය දිග නොවුනත් වචන නුපුරුදු නිසා (සාමාන්‍ය අප භාවිතා නොකරන වචන නිසා) එවන් වචන කර්ම කාරක වාක්‍ය තුල භාවිතා වන විට වාක්‍ය නිවැරදිව ගළපා ගන්නත් අපහසුයි. බහුළ වශයෙන් ත්‍රිපිටකය කියවීම පුරුදු කලොත් එම භාෂා විලාසය පුරුදු වීම නිසා යම් පහසුවක් ලැබෙනවා එම වාක්‍ය ඉක්මනින් තේරුම් ගන්න. උදාහරණයකට ඉහත ලියූ "අඹ මා විසින් කැවේ." යන වාක්‍ය ගත්තොත් එය හරිම නුපුරුදුයි. මදක් වෙලා කල්පනා කරලාම තමයි තේරුම් ගන්න පුළුවන් වන්නේ මේ කර්ම කාරක වාක්‍යයක් ලියා තියෙන්නේ සහ එම වාක්‍යයේ තේරුම "මම අඹ කමි." යන්නමයි කියලා. මේ "අඹ මා විසින් කැවේ." යන වාක්‍ය කොච්චර නුපුරුදුයිද කියනවා නම් සමහරක් විට එහි තේරුම "මම වෙන අයෙකුට අඹ කවනවා" ලෙස තේරෙන්නත් පුළුවන්. එවැනි නුපුරුදු වාක්‍ය ත්‍රිපිටකයේ දකින්න පුළුවන්.

මහාචත්තාරීසක සූත්‍රයේ ඔබ දක්වන ලඳ වදන් පෙළ කර්ම කාරක ලෙසින් විමසා බලන්න.

කමල්

පින්වත් කමල්,

ඔබගේ පැහැදිලි කිරීම තුල යම් තර්කානු කූල බවක් හැගෙන අතර මෙහි නිරවද්‍යතාවය පාලි භාෂාව දන්නා පින්වතෙකු විසින් එම කොටසෙහි අර්ථය නැවත පරිවර්තනය කිරීම තුලින් වඩා පැහැදිලි වනු ඇත.

මේ සඳහා පාලි භාෂාව හදාරා ඇති පින්වතුන්හට මෙම පරිවර්ථනය සඳහා දායකවන ලෙස කරුනාවෙන් ඉල්ලා සිටිමි.

ඔබට තෙරුවන් සරණයි.
නයන

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.