නිවන් දැක්මට අනිත්‍ය ප්‍රබල නැතැයි හඳපාන්ගොඩ නිවාතාප හිමි උරුලෑ ධර්මයක් දෙසීම

හඳපාන්ගොඩ නිවාතාප හිමි ගිහි කාලයේ හෝ පැවිදි වීමෙන් පසුව කළ දේශනයක් අඩංගු ඉහත දැක්වෙන වීඩියෝවේ "අනිච්චා වත සඞ්‌ඛාරා" ලෙස දැක්විය යුතු ගාථාව "අනිච්ඡා වත සංඛාරා" ලෙස අකුරු ද, වචන ද, අර්ථ ද වරදවා ගෙන විස්තර කෙරෙන අයුරු දැකිය හැකියි. එම විස්තර කිරීමේදී විනාඩි 13යි තත්පර 21න් පමණ ඉදිරියට ආසන්නයේ අනිත්‍ය ගැන එහිමියන් මෙසේ විස්තර කොට තිබෙනවා:

මොකක්ද දැන් උත්පාදවය? ඇතිවෙනවා නැතිවෙනවා ද? නෑ, ඇතිවෙනවා නැතිවෙනවා කිව්වොත් අනිත්‍යට වැටෙනවා ඒක. අනිත්‍යට වට්ට ගත්තොත් වැඩේ වරදිනවා. මොකද අනිත්‍ය ප්‍රභල නෑ නිවන් දක්කන්න. අනිච්ඡ තමයි ප්‍රබල නිවන් දක්කන්න. අනිත්‍ය නෑ නෙමෙයි තියෙනවා. අනිත්‍යත් තියෙනවා. අනිත්‍යයි, ආයෙ ඒකෙ අහන්න දෙයක් නෑ. හැබැයි ඒක එච්චර ප්‍රබල නෑ පිංවතුනි නිවන් දක්කන්න තරං. හේතුඵල ධර්මය පැහැදිලි කරන්න තරං ඒක ප්‍රබල නෑ.

අනිත්‍ය ප්‍රභල නෑ නිවන් දක්වන්න? නිවාතාප හිමිගේ ඒ කථාවට බුද්ධ ධර්මය නොව උරුලෑ ධර්මයක් දෙසීම යැයි කීම වටිනවා. ඒ කවර හේතුවක් නිසා දැයි විමසා බැලීම වටිනවා.

බුදුරජානන් වහන්සේ බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහිදී පස්වග මහණුන්ට දහම් දෙසීමේදී කොණ්ඩඤ්ඤ මහෝත්තමයානන් වහන්සේට දහම් ඇස පහළ වීම ගැන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මෙසේ සඳහන් වෙනවා:

ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානෙ ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: ‘‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මන්ති’’.

එහි සිංහල පරිවර්තනය:

මේ වෙය්‍යාකරණය වදාරනු ලබන කල්හි ‘‘යම් කිසිවෙක් හටගන්නාසුලු නම් ඒ සියල්ල නැසෙනසුල්ලැ’’යි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤහට පහවූ කෙලෙස්රජස් ඇති පහව ගිය කෙලෙස්මල ඇති දහම්ඇස (පළමු මගනැණ) පහළ විය.

ඒ "යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මන්ති" යන්නෙන් දැක්වෙන්නේ කුමක්ද? හටගන්නාසුලු සියල්ල නැසෙනසුලු යැයි ඒ දැක්වෙන්නේ අනිත්‍යයි. දහම් ඇස පහළ වීම එසේ වන විට "අනිත්‍යට වට්ට ගත්තොත් වැඩේ වරදිනවා. මොකද අනිත්‍ය ප්‍රභල නෑ නිවන් දක්කන්න." යැයි කීමට බුද්ධ ධර්මය නොව ඒ අධර්මයට අවිනයට නිග්‍රහ පිණිස උරුලෑ ධර්මයක් දෙසීම යැයි කීම වටින්නේ ඒ නිසයි.