හඳපාන්ගොඩ නිවාතාප හිමි වත යන වචනය වැරදි අර්ථයෙන් භාවිතා කිරීම

හඳපාන්ගොඩ නිවාතාප හිමි ගිහි කාලයේ හෝ පැවිදි වීමෙන් පසුව කළ දේශනයක් අඩංගු ඉහත දැක්වෙන වීඩියෝවේ "අනිච්චා වත සඞ්‌ඛාරා" ලෙස දැක්විය යුතු ගාථාව "අනිච්ඡා වත සංඛාරා" ලෙස අකුරු ද, වචන ද, අර්ථ ද වරදවා ගෙන විස්තර කෙරෙන අයුරු දැකිය හැකියි. එම විස්තර කිරීමේදී විනාඩි 10යි තත්පර 11න් පමණ ඉදිරියට ආසන්නයේ "වත" යන වචනය එහිමියන් විස්තර කරන්නේ මෙසේයි:

...
උත්පාද වය කියන ධර්මතාවයෙන් යුක්ත වූ, අනිච්ඡ වූ සංඛාර වත ගැන මේ කථා කරන්නේ.
...

මොකක්ද මේ සංඛාර වත? සංඛාර ව්‍රතය.

මේ ජීවිතයක් කියන්නෙ මොකක්ද? පුද්ගලයෙක් ඉපදුනා. නිමල් ඉපදුනා. නිමල් මැරුණා. ඔය ඉපදීම සහ මිය යාම අතර මොකක්ද උනේ? සංඛාර ව්‍රතයක් නේද? සංඛාර වඩන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක උනා. ...

වත යන පාළි වචනයේ අර්ථය කටයුත්ත, කර්තව්‍ය, කාරිය, රාජකාරිය, චාරිත්‍රය, සිරිත, ප්‍රතිපත්තිය, ක්‍රියාමාර්ගය, පිළිපැදීම, පිළිවෙත ආදී සිංහල වචන වලින් දක්වන්නට පුළුවන්. එසේ උවත් වත යන පාළි වචනය නිසැකවම, සැබැවින්ම, ඇත්තටම, නිශ්චිතවම, ඒකාන්තයෙන්ම යන සිංහල වචන වලින් දැක්වෙන අර්ථයෙන් ද භාවිතා වෙනවා.

වත යන වචනය ඒකාන්තයෙන්ම යන අර්ථයෙන් යෙදී ඇති බොහෝ දෙනෙක් දන්නා සූත්‍රයක් නම් ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි. එම සූත්‍රයේ අවසානයට ආසන්නව "අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤො අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤො" ලෙස බුදුරජානන් වහන්සේගේ උදාන වාක්‍යයක් දැක්වෙනවා. එය "භවත් කොණ්ඩඤ්ඤ එකාන්තයෙන් (චතුස්සත්‍යය) දැන ගත්තේ ය. භවත් කොණ්ඩඤ්ඤ එකාන්තයෙන් දැන ගත්තේ ය" ලෙස සිංහලට පරිවර්තනය වී තිබෙනවා. වත යන වචනය ඒකාන්තයෙන්ම යන අර්ථයෙන් භාවිතා වී ඇති තවත් තැන් ත්‍රිපිටකයේ බොහෝ තිබෙනවා.

මහාපරිනිර්වාණ සූත්‍රයේ (246 පිටුව) සහ ත්‍රිපිටකයේ වෙනත් තැන් වල දැකිය හැකි "අනිච්චා වත සඞ්‌ඛාරා" ලෙස කියැවෙන ගාථාවේ ද වත යන වචනය යෙදී ඇත්තේ ඒකාන්තයෙන්ම යන අර්ථයෙනුයි. ගාථාවේ යෙදී ඇති අනිච්ච යන වචනය අනිච්ඡ ලෙස වරදවා ගෙන ඊට අනුරූපව ගාථාවට වැරදි අර්ථයක් දීමේදී වත යන වචනය ද අනෙක් අර්ථයෙන් භාවිතා කිරීම තවත් නොමනා ක්‍රියාවක්. මෙවන් වරදවා ගැනීම් වලින් සිදුවන අගතිය දක්නා නුවනැත්තෝ ත්‍රිපිටක දහම් පද වල අර්ථ පැහැදිලි කර ගැනීම පිණිස අටුවාව උපකාර කර ගැනීමට යොමු වීම යෝග්‍යයි.

අතිරේක කියවීම්:

  1. හඳපාන්ගොඩ නිවාතාප හිමිගේ "අනිච්ඡා වත සංඛාරා" පටලැවිල්ල