හඳපාන්ගොඩ නිවාතාප හිමිගේ "අනිච්ඡා වත සංඛාරා" පටලැවිල්ල

ඉහත දැක්වෙන්නේ හඳපාන්ගොඩ නිවාතාප හිමි ගිහි කාලයේ හෝ පැවිදි වීමෙන් පසුව කළ දේශනයක් අඩංගු වීඩියෝවක්. එම වීඩියෝවේ විනාඩි 6යි තත්පර 25න් පමණ ඉදිරියට කොටසක "අනිච්ඡා වත සංඛාරා" ලෙස පද යෙදන ගාථාවක් ගැන කියැවෙනවා. එය බුදුරජානන් වහන්සේගේ පරිනිර්වාණයේ දී ශක්‍ර දේවේන්ද්‍රයා විසින් ද පවසන ලද බව කියැවෙනවා. මහාපරිනිර්වාණ සූත්‍රයේ දැකිය හැක්කේ එසේ පද යෙදී ඇති ගාථාවක් නම් නොවේ. එම ගාථාව ඇත්තේ මෙසේයි (246 පිටුව):

අනිච්චා වත සඞ්‌ඛාරා උප්පාදවයධම්මිනො,
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො

ගාථාවේ සැබැවින්ම ඇති අනිච්චා යන වචනය වෙනුවට අනිච්ඡා යන වචනය ආදේශ කිරීම ගාථාව විකෘති කිරීමක්. පද විකෘති කොට ගත් එම ගාථාවට හඳපාන්ගොඩ නිවාතාප හිමි විකෘති අර්ථ ඉදිරිපත් කරන බව ද එම වීඩියෝවේ දැකිය හැකියි. එම අර්ථ විකෘතියෙන් යුත් විස්තර කිරීම ද මහා පරිමාණ වැල්වටාරම් දෙඩවීමක් බවයි පෙනෙන්නේ.

අකුරුත් පටලවා ගෙන, අර්ථත් පටලවා ගෙන ධර්මය දෙසන්නේ යැයි මහා පරිමාණ වැල්වටාරම් දෙඩවීම බුදු සසුනේ අභිවෘද්ධිය පිණිස නොව බුදු සසුන අතුරුදන් වීමටයි හේතු වන්නේ.

අතිරේක කියවීම්:

  1. වලස්මුල්ලේ අභය හිමි අනිච්ච සහ අනිච්ඡ පටලවා ගැනීම
  2. මහාවිහාරය: "අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්"
  3. නිවන් දැක්මට අනිත්‍ය ප්‍රබල නැතැයි හඳපාන්ගොඩ නිවාතාප හිමි උරුලෑ ධර්මයක් දෙසීම