වලස්මුල්ලේ අභය බමුණා අත්ත සහ අත්ථ පටලවා ගැනීම

ත්‍රිපිටකය නොසැලකිලිමත්ව කියවා එහි ලියැවී ඇති දහම් පාඨයන්ගේ අර්ථයන් වැරදි අර්ථයන්ගෙන් ගෙන තමනුත් මුළාවට පත්ව අන් අයවත් මුළාවට පත් කරන වලස්මුල්ලේ අභය බමුණා අනාත්ම යන අර්ථය සාසනය තුළ නොමැති යැයි ස්වකීය මුළාවක් විස්තර කරන අයුරු ඉහත වීඩියෝවේ දැක්වෙනවා. එහිදී අභය බමුණා ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මූල පණ්ණාසකයේ මූලපරියාය වග්ගයේ ඇති සබ්බාසව සූත්‍රයේ සහ මජ්‌ඣිම නිකායේ උපරි පණ්ණාසකයේ දෙවදහ වග්ගයේ ඇති මහාපුණ්ණම සූත්‍රයේ සඳහන් කරුණු ද වරදවා ගත් අර්ථයන්ගෙන් විස්තර කරන අයුරු දැකිය හැකියි. එම වීඩියෝවේ දැකිය හැකි තවත් වරදවා ගැනීම් ලෙස අත්ත සහ අත්ථ යන පාළි වචන පටලවා ගැනීම සහ ඒ නිසා ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දසක නිපාතයේ සාධු වග්ගයේ ඇති අත්‌ථ සූත්‍රයේ ද අර්ථය පටලවා ගැනීම දක්වන්න පුළුවන්.

ආත්ම සහ අනාත්ම ලෙස ත්‍රිපිටකයේ මනාව සිංහලට පරිවර්තනය කර ඇත්තේ අත්ත සහ අනත්ත යන පාළි වදන්. එසේ උවත් "අත්ථඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අනත්ථඤච." ලෙස අත්ථ සූත්‍රයේ සඳහන්ව ඇත්තේ අත්ථ සහ අනත්ථ යන පාළි වදන්. අත්ථ සූත්‍රයේ එම වදන් භාවිතා වී ඇත්තේ අර්ථය සහ අනර්ථය, එනම් යහපත සහ අයහපත යන අර්ථයන්ගෙන්. අත්ථ යනු අත්ත නොවේ. අනත්ථ යනු අනත්ත නොවේ. එම වචන පටලවා ගත් අභය බමුණා අත්ථ සූත්‍රයේ ඇති දෑ පිළිබඳව ව්‍යාකූල විස්තර කිරීමක් කරන අයුරු වීඩියෝවේ දැක්වෙනවා. අත්ථ සූත්‍රයේ ඇත්තේ "අනාත්ම යන අර්ථය සාසනය තුළ නොමැත" යන අභය බමුණාගේ මුළාවට අදාළ කරුණක් නොවෙයි. එනිසා අත්ථ සූත්‍රය දක්වා "දැන් මේකේ ආත්මයක් ඇත, ආත්මයක් නැත කියන අර්ථයක් එනවා ද?" යැයි අභය බමුණා විසින් ඇසීම අභය බමුණාගේම මුළාව පෙන්වනවා.

එම වීඩියෝවේ ආරම්භයේ "අනත්ථ යන්නට අනාත්ම යන අර්ථය තථාගත සාසනය තුල නොමැති බව." යැයි සඳහන්ව තිබෙනවා. එහි යෙදී ඇති අනත්ථ යන වචනයට "අයහපත" යන වචනය යොදා බැලුවොත් ඉන් නිවැරදි දෙයක්ම කියැවෙන බව දකින්න පුළුවන්. ඒත් ඉන් අදහස් කර ඇත්තේ "අනත්ත යන්නට අනාත්ම යන අර්ථය තථාගත සාසනය තුළ නොමැති බව." යන වීඩියෝවේ විස්තර වන මුළාව. ඉන් පසුව සබ්බාසව සූත්‍රයත් මහාපුණ්ණම සූත්‍රයත් වරදවා ගත් අර්ථයන්ගෙන් වීඩියෝවේ විස්තර කෙරෙනවා. ඉන් පසුව අත්ථ සූත්‍රය ද පැටලිලි සහිතව විස්තර කෙරෙනවා. අදහස් කර ඇත්තේ වෙනත් දෙයක් උවත් වීඩියෝවේ අවසානයට ආසන්නව "අනත්ථ යනු අසාර අර්ථයෙනි" යැයි ද ලියැවී තිබෙනවා.

පඹගාලක පැටලුණාක් මෙන් දහම් පදවල අර්ථ පටලවා ගත් වලස්මුල්ලේ අභය බමුණා අන් අයට නිවන් අවබෝධ කරන්න යනවාලු!