අනේ අනිච්චං බමුණුදම්මසාරථි!

බුදුරජානන් වහන්සේ, ධර්මය සහ ශ්‍රාවකසඞ්ඝයා යන තෙරුවන් කෙරෙහි ගුණ දැන පැහැදීම ශ්‍රාවකයින්ට බොහෝ වටිනවා. තෙරුවන් කෙරෙහි ගුණ දැන පැහැදීමත්, ආර්යකාන්ත ශීලයෙන් සමන්විත වීමත් යන සතර ධර්මයන් යමෙක් ලබා ඇත්නම් එම පුද්ගලයා නිරයෙන් මිදුනෙක්, තිරිසන් යොනියෙන් මිදුනෙක්, ප්‍රෙතවිෂයයෙන් මිදුනෙක්, අපායදුග්ගවිනිපාතයෙන් මිදුනෙක්. යම් අයෙකු විසින් සිවුදිවයින් ලැබුවත් එම සතර ධර්මයන් ලැබුම සමඟ සැසඳීමේදී සිවුදිවයින් ලැබුම නොවටිනා ප්‍රතිලාභයක් බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ මහාවග්ගයේ සොතාපත්තිසංයුත්තයේ වෙළුද්වාරවග්ගයේ රාජ සූත්‍රයට අනුව දකින්න පුළුවන්.

තෙරුවන් කෙරෙහි ගුණ දැන පැහැදීම එතරම් ප්‍රයෝජනවත් නම්, "ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො..." ලෙස කියැවෙන එම ගුණයන් මේවා යැයි වචනවලින් දැන ගෙන, එම වචනවල අර්ථ මෙසේ යැයි දැන ගෙන, එම අර්ථයන්ගෙන් දැක්වෙන ගුණ බුදුරජනාන් වහන්සේගේ ද, ධර්මයේ ද, ශ්‍රාවකසඞ්ඝයාගේ ද සැබැවින්ම විද්‍යමාන ගුණයන් බව දැනගැනීමට ශ්‍රාවකයින් උත්සුක වෙන්න ඕනෑ.

"ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො..." ලෙස තෙරුවන් ගුණ කිමේදී එහි යෙදී ඇති වචනවල සැබෑ අර්ථයන් මේවා යැයි යම් අයෙක් නොමනා අර්ථයන් දැක්වූවොත් ඉන් කුමක් සිදුවේ ද? එම නොමනා අර්ථයන් දක්නා අය බුදුරජානන් වහන්සේ මෙබඳු ය, ධර්මය මෙබඳු ය, ශ්‍රාවකසඞ්ඝයා මෙබඳු ය ලෙස අන් කිසි දෑ ගැනම හිතන්න යොමු වෙනවා, යම් ඒ වචනවලින් දැක්වෙන සැබෑ අර්ථයන් වටහා ගෙන ඒ ගැන පැහැදීම ඇති කරගැනුමට බාධා ඇති කරගන්නවා, තෙරුවන් කෙරෙහි ගුණ දැන පැහැදීමේ යම් ප්‍රතිලාභයක් වේ නම් එම පිරිස එම ප්‍රතිලාභය ලැබුමට බාධා ඇති කරගන්නවා.

ඉහත දක්වා ඇති වීඩියෝවේ සඳහන්ව ඇත්තේ තෙරුවන් ගුණයන්හි සැබෑ නිරුක්ති අර්ථයන් මේ යැයි වලස්මුල්ලේ අභය බමුණා විසින් කෙරෙන විපරීත විස්තරයක්. එහි කියැවෙන කරුණු සමහරක් ත්‍රිපිටක සූත්‍රවලින් දැක්වෙන අර්ථයන් සමඟ ගැළපෙනවා. එසේ උවත් සූත්‍රවල දැක්වෙන අර්ථයන්ට නොගැළපෙන, ත්‍රිපිටක මූලාශ්‍ර දැක්වීමට ද නොහැකි, හුදෙක් විපරීත දෘෂ්ටියෙන් කරන විකාර දෙඩවීම් යැයි කිව හැකි විස්තර කිරීම් බොහොමයක් ද එම විස්තරයේ අඩංගුයි.

වචන ශබ්දවන ආකාරයට අනුව පද බෙදා අර්ථ මෙසේ යැයි පටලවාගත් අර්ථයන්ගෙන් විකාර කථා පැවසීම අඥානකමක් මිස ඉන් උසස් අවබෝධයක් දැක්වෙන්නේ නැහැ. අදාළ වීඩියෝවේ දැක්වන අභය බමුණාගේ විකාර කථා වලින් "අනුත්තරො පුරිසදම්මසාරථි" යන වදන්වල අර්ථ දැක්වීම ගැන වැඩි විස්තරයක් මෙම ලිපියේ දැක්වෙනවා.

බුදු ගුණ කීමේදී "අනුත්තරො පුරිසදම්මසාරථි" ලෙස කියැවෙන වදන්වලින් කිනම් අර්ථයක් දැක්වෙනවා ද? වීඩියෝවේ කාලය 01:57 න් පමණ ඉදිරියට ආසන්නයේ අභය බමුණා ඒ ගැන මෙබඳු විපරීත කථාවක් පවසා තිබෙනවා:

"අනුත්තරො පුරිසදම්මසාරථි. පිරුණු ධර්ම, සාර්ථක වූ, හොඳ වූ, පිරුණු ධර්ම වලින් පූර්ණ වූ. පිරුණු ධර්ම, භාගෙට ධර්ම නෙවෙයි, පිරිච්ච ඒවා, පිරුණු ධර්ම. පුරිසදම්මසාරථි, ..."

සැබෑ නිරුක්ති අර්ථයන් දක්වන්නේ යැයි අභය බමුණා ඒ පවසා ඇත්තේ අඥාන කථාවක් බව ත්‍රිපිටක සූත්‍ර ඇසුරෙන් දකින්න පුළුවන්. ඒ කෙසේද?

පුරිසදම්මසාරථි යන්නෙහි යෙදී ඇති පුරිස යන්නෙන් පුරුෂ යන අර්ථය ගෙන දෙනවා. එහි යෙදී ඇති දම්ම යන්නෙන් විනය කෙරෙන්නා, දමනය කෙරෙන්නා යන අර්ථය හැඟවෙනවා. ඒ අනුව පුරිසදම්ම යන්නෙන් විනය කෙරෙන පුරුෂ, දමනය කෙරෙන පුරුෂ යන අර්ථය ගෙන දෙනවා. මෙම අර්ථ දැක්වීම තහවුරු කරගැනීමට ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ උපරි පණ්ණාසකයේ සුඤ්‌ඤත වග්ගයේ දන්තභූමි සූත්‍රයේ සඳහන් දෑ ද උපකාර කරගන්න පුළුවන්. දන්තභූමි සූත්‍රයේ හත්ථිදම්ම, අස්සදම්ම, ගොදම්ම යන වදන් භාවිතා වී තිබෙනවා. එම වචනවලින් හීලෑ කෙරෙන ඇත්, හීලෑ කෙරෙන අස්, හීලෑ කෙරෙන ගොන් යන අර්ථ දැක්වෙනවා.

සාරථි යන්නෙන් මෙහෙයවන්නා, හසුරුවන්නා යන අර්ථය ගෙන දෙනවා. රියැදුරාට ද සාරථි යැයි කියැවෙනවා. උදාහරණයකට ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ මහාවග්ගයේ මහාපදාන සූත්‍රයේ (32 පිටුවේ) රියැදුරා හැඟවීම පිණිස සාරථී යන වදන භාවිතා වී තිබෙනවා.

පුරිසදම්ම සහ සාරථි යන වදන්වල එකතුවෙන් සෑදී ඇති පුරිසදම්මසාරථි යන වදනින් දැක්වෙන්නේ දමනය කෙරෙන පුරුෂයින් මෙහෙයවන්නා, දමනය කෙරෙන පුරුෂයින් හසුරුවන්නා යන අර්ථය.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ චතුක්ක නිපාතයේ තතිය පණ්ණාසකයේ කේසි වග්ගයේ ඇති කේසි සූත්‍රයේ අස්සදම්මසාරථි සහ අනුත්තරො පුරිසදම්මසාරථි යන වදන් දැක්වෙනවා. එම සූත්‍රයට අනුව ද පුරිසදම්මසාරථි යන්නෙන් දැක්වෙන්නේ දමනය කෙරෙන පුරුෂයින් මෙහෙයවන්නා, දමනය කෙරෙන පුරුෂයින් හසුරුවන්නා යන අර්ථය බව දකින්න පුළුවන්.

යම් අයෙකුට අනුත්තරො පුරිසදම්මසාරථි යන්නෙන් කුමක් දැක්වෙන්නේ දැයි බුදුරජානන් වහන්සේ විසින් ඒ ගැනම කරන ලද විස්තරයක් ඇසුරින් වටහා ගැනීමට උවමනා නම් ඒ සඳහා ත්‍රිපිටකයේ මජ්ඣිමනිකායේ උපරි පණ්ණාසකයේ විභඞ්ගවග්ගයේ සළායතනවිභඞ්ග සූත්‍රය කියවා බැලිය හැකියි. එම සූත්‍රයේ අවසානයට ආසන්නව (469 පිටුව) අරහත් සම්මාසම්බුද්ධ තථාගතයන් වහන්සේ විසින් මෙහෙයවන ලද දමනය කෙරෙන පුරුෂයා අට දිසාවන් කරා දිවයන බව සඳහන් විස්තරයක් දැක්වෙනවා.

පාළි වචන ශබ්දවන ආකාරයට අනුව පද බෙදා සැබෑ නිරුක්ති අර්ථයන් දක්වන්නේ යැයි වලස්මුල්ලේ අභය බමුණා කරන මුළාව මුළාවක් බව එආකාරයෙන් දකින්න පුළුවන්. සූත්‍රවල දැක්වෙන අර්ථයන්ට නොගැළපෙන, ත්‍රිපිටක මූලාශ්‍ර දැක්වීමට ද නොහැකි, හුදෙක් විපරීත දෘෂ්ටියෙන් කරන විකාර දෙඩවීම් යැයි කිව හැකි තවත් විස්තර කිරීම් බොහොමයක් ඉහත වීඩියෝවේ අඩංගුයි.

වලස්මුල්ලේ අභය බමුණා බුද්ධඝොස අටුවාචාරීන් වහන්සේට දොස් පවරන්නෙක්. බුද්ධඝොස අටුවාචාරීන් වහන්සේ "අනුත්තරො පුරිසදම්මසාරථි" යන්න විස්තර කර ඇත්තේ කෙසේද? අටුවාචාරීන් වහන්සේ විසුද්ධි මාර්ගයේ "ඡ අනුස්සති නිද්දෙසො" යන මාතෘකා ඇති හත්වන පරිච්ඡේදයේ බුද්ධානුස්සතිකථා, ධම්මානුස්සතිකථා සහ සඞ්ඝානුස්සතිකථා යටතේ "ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො..." ලෙස කියැවෙන්නේ කිනම් අර්ථ දැයි තෙරුවන් ගුණ පිළිබඳව විස්තර කර තිබෙනවා. එහි බුද්ධානුස්සතිකථා යටතේ (පාළි: 153 පිටුව, ඉංග්‍රීසි: 572 පිටුව) "අනුත්තරො පුරිසදම්මසාරථි" යන්න ගැන සඳහන්ව තිබෙනවා. ඉතින් "අනුත්තරො පුරිසදම්මසාරථි" යන්න විස්තර කරන්න ගොස් කවරෙක් ද පටලවා ගෙන ඇත්තේ? බුද්ධඝොස අටුවාචාරීන් වහන්සේ ත්‍රිපිටක සූත්‍ර ද මූලාශ්‍ර කරගනිමින් ඒ ගැන මනා විස්තර කිරීමක් දක්වා තිබෙනවා. වලස්මුල්ලේ අභය බමුණා "අනුත්තරො පුරිසදම්මසාරථි" යන්නෙහි සැබෑ නිරුක්ති අර්ථය මේ යැයි සූත්‍රවල දැක්වෙන අර්ථයන්ට නොගැළපෙන, ත්‍රිපිටක මූලාශ්‍ර දැක්වීමට ද නොහැකි මෝඩ බමුණු කථාවක්ම කර තිබෙනවා.

අනේ අනිච්චං බමුණුදම්මසාරථි! සමහර චීචරධාරීන් දහම් පද විස්තර කරන ආකාරය දුටුවාම ඔවුන් ආහාරය සඳහා පුන්නක්කු ප්‍රියකරන්නේ දෝ යි මට සිහි වෙනවා.