සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු පරිහානියේ සංකේතයකි

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු පුද්ගලයින් සාර ධර්මයන්ගෙන් වෙන්වීම හා සමාජ පරිහානිය මනා සේ දැක්වන උත්සවයකි. හින්දු ආගමිකයින්ද එය සමරති. නැකැත් චාරිත්‍ර වාරිත්‍රවල යෙදෙමින් අලුත් අවුරුද්ද සමරන බෞද්ධයින් ගැන සැලකීමේදී සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු තෙරුවන් සරණ යන්නෙමැයි හැඟීම් ඇති මුත් අන් දෑහි සරණ බලාපොරොත්තු වන පුද්ගලයින් පිරිසක් ගෞතම සම්මා සම්බුදු සාසනය තමන් විසින්ම අතුරුදහන් කර ගන්නා ආකාරයකට උදාහරණයකි. එය බුදු දහම් නොඇසූ හා බුදු දහම් තේරුම් ගැනීමට නොහැකි වූ පෘතග්ජනයින්ගේ සීලබ්බතපාරාමාස සංයොජන ලෙසින් පැවතීමට උදාහරණයකි.

අන්හු (පෘතග්ජනයින්) යමක් සුව යැයි කියත්ද ආර්යයෝ එය දුක් යැයි කියති. අන්හු (පෘතග්ජනයින්) යමක් දුක් යැයි කියත්ද ආර්යයෝ එය සුව යැයි කියති (සුත්‍ර පිටකය, සංයුත්‌ත නිකාය, සළායතන වග්ගය, වේදනා සංයුක්තය, දෙවදහ වග්ගය, සගය්හ සූත්‍රය). ආර්යයෝ එසේ පවසන්නේ එම සුව හෝ දුක් යැයි පවසන කරුණ පිළිබඳ ඇත්ත ඇති සැටියෙන්ම දැක, දැන මිස අන්හු (පෘතග්ජනයින්) මෙන් මුලාවකින් තොරවයි.

ආර්ය දහම් නොඇසූ හා ආර්ය දහම් තේරුම් ගැනීමට නොහැකි වූ පෘතග්ජනයින් නැකතට ලිප ගිනි දැල්වීම, කිරි ඉතිරවීම, කෑම, වැඩ කිරීම, වැඩ නොකිරීම, හිස තෙල් ගෑම, සඳ බැලීම, නෑම, ගණුදෙනු කිරීම ආදී දේ කර ඒ හේතුවන් තම අනාගතය සුව වේ යැයි සිතති. නමුත් කෙතරම් ඒ දේ කරත් පෙරද ඒ දේවල් කිරීමෙන් තම අනාගතය සුව කරගත් පිරිස් නොමැති බව ආර්යයෝ ඇති සැටියෙන්ම දකිති, දනිති. ඒ දේවල් කෙතරම් කරත් මතුවටත් ඒ දේවල් කිරීමෙන් තම අනාගතය සුව කරගන්නා පිරිස් නොමැති බව ආර්යයෝ ඇති සැටියෙන්ම දකිති, දනිති.

තෙරුවන් සරණ යන්නෙමැයි හැඟීම් ඇතිව ගෞතම සම්මා සම්බුදු ශාසනයේ හික්මෙන්නේ යැයි පවසන මුත් අන් දෑ පිළිපදිමින් ගෞතම සම්මා සම්බුදු ශාසනය අතුරුදහන් කරන මෙම තෙරුවන් සරණ යන්නෙමැයි හැඟීම් මාත්‍රයක් පමණක් ඇති පිරිස තෙරුවන් සරණ යෑම යනු කුමක්දැයි නොදනිති. එනිසාම සාර ධර්මය වන ගෞතම සම්මා සම්බුදුරජානන් වහන්සේ විසින් මනා සේ දේශනා කර ඇති සද්ධර්ම පැවතියදී අන්‍ය වූ ඊට අනුකූල නොවන දෑ ඊට අනුකූල යැයි සලකමින්, එම අන්‍ය දෑහි පැවැත්මට රුකුල් දෙමින් සාර ධර්මය අතුරුදහන් කරමින් ඔවුන්ගේම පරිහානිය උදා කරගනිති.

මෙසේ පවසන්නේ ඇයි දැයි වැඩි දුරටත් දැනගනු කැමැත්තෝ දහම් දැකීම තුන් වන කොටස (* මෙම සබැඳියෙක් කියැවෙන දේශනය මේ වන විට බාගත කළ නොහැක.) ශ්‍රවණය කරත්වා. එහි අවුරුදු නැකැත් ආදිය සුවයට හේතු වනවා වෙනුවට සත්‍ය ලෙසින්ම දුකට හේතු වන්නේ කවර ආකාරයකින් දැයි විස්තර සහිතව කියවේ.

නුවනැත්තෝ තෙරුවන් සරණටම පැමිනෙත්වා, එහිම පිහිටත්වා! තෙරුවන් සරණ යන්නෙමැයි බුදුන් දෙසූ තෙරුවන් සරණට ප්‍රතිවිරුද්ධ දෑ හි පිහිට පතමින් එම ප්‍රතිවිරුද්ධ දෑ තෙරුවන් සරණ යෑමට අනුකූල යැයි සමාජ ගත කිරීම සද්ධර්මය හිස් දෙයකට සමාන කිරීමකි. එසේ සද්ධර්මය හිස් දෙයකට සමාන කිරීම ධර්මයට අභූතයෙන් චෝදනා කිරීමකි. එය එම ධර්ම මාර්ගයේ හික්මුනු, වර්තමානයේ සහ මතුවටත් හික්මෙන පිරිසට අභූතයෙන් චෝදනා කිරීමකි. එය එම ධර්මය දේශනා කරන ලද ගෞතම සම්මා සම්බුදුරජානන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමකි.