බොරු කීම: "ඇත්ත තිත්තයි"

යම් කරුණක් සන්නිවේදනයේදී එම සන්නිවේදනය කරන කරුණ වඩාත් පැහැදිලිව සන්නිවේදනය කිරීම, අවධාරණය කිරීම, මතක තබා ගැනීමට රුකුල් දෙන අයුරින් ඉදිරිපත් කිරීම ආදී හේතූන් නිසා ව්‍යවහාරීක භාෂාවන් භාවිතයේදී උපමා, රූපක ආදී භාෂා උපක්‍රම භාවිතා වෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි, පාලි ආදී කවර ව්‍යාවහාරික භාෂාවක් ගත්තත් ඒ සියළු භාෂාවන් මිනිසුන් සන්නිවේදනය සදහා සම්මත කරගන්නා ලද සම්මුතීන් පමණයි. මෙසේ ඇතිකරගන්නා සම්මුති යෙදුම් සමහරක් එහෙම් පිටින්ම බොරු ප්‍රකාශ. "ඇත්ත තිත්තයි" යන භාෂාත්ම යෙදුමත් ඒ ආකාරයේ බොරුවක්. මෙම බොරුවම "තිත්ත ඇත්ත" ලෙසිනුත් සිංහල භාෂාවේ භාවිතා වෙනවා. එයම "Truth is bitter" හා "bitter truth" ආදී ලෙසින් ඉංග්‍රීසි භාෂාවේ භාවිතා වෙනවා. එය භාවිතා කරන අය තමන් එම භාෂා යෙදුම භාවිතා කර කියන්නේ කුමක්දැයි තමන්වත් හරි හැටි දන්නේ නැහැ.

"ඇත්ත තිත්තයි" ලෙස යම් අයෙක් පවසනවානම් ඒ ඇත්ත යනු කුමක්දැයි හරිහැටි නොදන්නාකම නිසාම පවසන කාරනාවක්. ඇත්ත පිළිබඳ හරිහැටි වැටහීමක් නොමැති සමහරක් අය "බුදු රජානන් වහන්සේගේ විසින් ජීවිතය පිළිබඳ තිත්ත ඇත්ත ලොවට හෙළිකරන ලදී" ලෙසිනුත් වැරදි අදහසක්ම දරනවා. යම් දෙයකට ඇත්ත කියනවානම් බුදු පියානන් වහන්සේ එම ඇත්ත "චතුරාර්ය සත්‍යය" ලෙස ලොවට දක්වා තිබෙනවා. යම් දෙයක් තිත්ත නම් හා බුදු පියානන් එම තිත්ත රස විදින හෝ ලබා ගන්නා ආකාරයක් නම් දේශනා කර ඇත්තේ "බුදු රජානන් වහන්සේගේ විසින් ජීවිතය පිළිබඳ තිත්ත ඇත්ත ලොවට හෙළිකරන ලදී" යැයි පැවසීමේ වැරැද්දක් නැහැ. බුදු පියානන් යනු එබඳු තිත්ත යමක් ලොවට ගෙන හැර පෑ පුද්ගලයෙකු නොවෙයි. ඉතින් යමෙක් "බුදු රජානන් වහන්සේගේ විසින් ජීවිතය පිළිබඳ තිත්ත ඇත්ත ලොවට හෙළිකරන ලදී" ලෙස පවසනවානම් එම පුද්ගලයා බුදු පියානන්වත් අප්‍රසන්න පුද්ගලයෙකු ලෙස සලකන අයෙක් වෙන්න ඕනෑ. යම් අයෙක් "තිත්ත ඇත්ත" යන වදන් පෙළ බුදු පියානන්ට හෝ බුදු පියානන් දෙසූ සද්ධර්මයට හෝ භික්ෂූ සංඝයාට හෝ සම කර දක්වනවා නම් ඒ පුද්ගලයා බුදු පියානන්ටත්, සද්ධර්මයටත්, භික්ෂූ සංඝයාටත් අකාරණව බැණ වදින අනුවණ පුද්ගලයෙක්.

බුදු පියානන් "රසයන් අතුරෙන් සත්‍යය රසය ඒකාන්තයෙන් මියුරු වෙයි" ලෙසයි දේශනා කර ඇත්තේ. මේ බව සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සගාථා වග්ගයේ දෙවතා සංයුත්තයේ චිත්ත සූත්‍රයේත්, සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සගාථා වග්ගයේ යක්‌ඛ සංයුත්‌තයේ ආළවක සූත්‍රයේත් සඳහන් වෙනවා. ආළවක සූත්‍රය සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ උරග වග්ගයේත් දැක්වෙනවා.

"මෙලො වැ ශ්‍ර‍ද්ධාව පුරුෂ හට ශ්‍රේෂ්ඨ ධනය වේ, ධර්මය මෙනොවට පුරුදු කරණ ලදුයේ සුව එළවයි, රසයන් අතුරෙන් සත්‍යය ඒකාන්තයෙන් මියුරු වෙයි. ප්‍ර‍ඥාවෙන් දිවිවටනුවහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨ වේ."

මේ නිසා "ඇත්ත තිත්තයි" යන භාෂාත්ම යෙදුම බුදු රජානන් වහන්සේට හෝ, සද්ධර්මයට හෝ, භික්ෂූ සංඝයාට සම කිරීම මහා පරිමාන බොරුවක් සහ පාපයක්. එසේම යම් අයෙක් "මෙන්න බුදු පියානන් පැවසූ නිවැරදි සද්ධර්මය, මෙන්න ඒ තිත්ත ඇත්ත" ලෙස යම් දෙයක් අන් අයගේ සුව පිණිස යැයි ගෙන හැර පානවා නම් ඒ පුද්ගලයා බුදු පියානන් විසින් පැවසූ සද්ධර්මය තිත්ත දෙයක් ලෙස සළකනවා සේම තිත්ත දේ මිහිරි යැයි සළකන අයෙක්. යමෙක් තිත්ත දේ මිහිරි යැයි සළකනවා නම් එම පුද්ගලයා එකිනෙකට ප්‍රතිවිරුද්ධ කාරණාවන් දෙකක් එකම සේ දක්නා අනුවණයෙක්මයි.

ඒ නිසා කවර ලෙසකින් හෝ "ඇත්ත තිත්තයි" ලෙස අදහස් ඇතිකරගැනීම අනුවණකමක් සේ සැලකීමත්, "ඇත්ත තිත්තයි" යනු බොරුවක් බවත් සැලකීම නිවැරදියි.

යම් අයෙක් "බුදු රජානන් වහන්සේගේ විසින් ජීවිතය පිළිබඳ තිත්ත ඇත්ත ලොවට හෙළිකරන ලදී" හෝ එවන් අදහස් ඇතිව ඒ බව අන් අයටත් පවසනවා නම්, ඒ වෙත යොමු කරවනවානම්, ඒ මහත් මුලාවක් මයි, මහත් පාපයක් මයි.

"ඇත්ත ඒකාන්තයෙන්ම මිහිරියි" ලෙසින් සැලකීම නුවණ ඇති බවක් ලෙසත්, "ඇත්ත ඒකාන්තයෙන්ම මිහිරියි" යනු ඇත්තක්ම බවත් සැලකීම නිවැරදියි.

එසේම සද්ධර්මය යනු ඒකාන්තයෙන් මිහිරිවූ යමක් ලෙස සැලකීමත්, බුදු පියානන් යනු දෙව් මිනිසුන් වෙත එම ඒකාන්තයෙන් මිහිරි වූ සත්‍යය ගෙන හැර දක්වන ලද එකම පුද්ගලයා බැවින් බුදු පියානන් යනු එම ඒකාන්ත මිහිරි බවේ උල්පත ලෙස සැලකීමත් නිවැරදියි.

"සත්‍යය ඒකාන්තයෙන් මියුරු වේ."