ධර්මවාදීන් විනයවාදීන් ඇති විට අධර්මවාදීන් අවිනයවාදීන් ෆේස්බුක්වල පිනුම් නොගහාවිද?

භික්ෂූන් වහන්සේලා විසින් දුරකථන භාවිතා කරනු ලැබීම සහ සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි ඇතුළු අන්තර්ජාලය භාවිතා කරනු ලැබීම ගැන යම් භික්ෂූන් වහන්සේ නමක් ස්වකීය මතය ඉදිරිපත් කරන අයුරු ඉහත වීඩියෝවේ සඳහන්ව තිබෙනවා. එහි කියැවෙන අන් කරුණු පසෙක තබා එක් කරුණක් ගැනයි මෙම ලිපිය ලියැවෙන්නේ. ඒ සමාජ මාධ්‍ය ජාලා තුළ අධර්මය අවිනය පතුරුවන අධර්මවාදී අවිනයවාදී පිරිස් මැඬලීම ගැන.

එම වීඩියෝවේ මෙසේ කියැවෙනවා:

[ කාලය 06:23 ]

දැං අපි මේක ඇත්තටම මේ ෆේස්බුක්වල එහෙම නැත්නම් සමාජ මුහුණු පොතේ හරි එහෙම නැත්නම් අන්තර්ජාලයේ හරි සැරිසරන්නේ අපිට මේ කෙලෙස් උපදවාගන්න, මේ ගිහි ජීවිතේ නැති ජොලියක් මෙතන ගන්න, දැන් සමහර එවුන් එහෙම කියනවා. හරිද, මේ ෆේස්බුක් එකට ඇවිල්ලා අපි ජොලි ගන්නවා කියලා. නමුත් මේකෙදි කරන්නේ අධර්මවාදී අර මේ යක්කු ටික මේකේ නටනකොට දෙවිවරු එක්කෙනෙක් වත් හිටියේ නැති උනොත් මොකෝ වෙන්නේ? දෙවිවරු එක්කෙනෙක් වත් හිටියෙ නැති උනොත් එතන, අර කියන්නේ, දෙවිවරු නැති භූමියේ කුම්භාණ්ඩයෝ, ප්‍රේතයෝ මේ පිනුම් ගහනවා කියලා. එතකොට කුම්භාණ්ඩයින්ට, ප්‍රේතයින්ට පිනුම් ගහන්න තමයි අපිට මේ දෙවිවරුන්ට යන්ඩ කියන්නේ, මේකෙන්. තේරුණාද කියන එක? ඒ නිසා එහෙම වෙන්ඩ දෙන්ඩ බෑ. ...

සමාජ මාධ්‍ය ජාලා තුළ අධර්මය අවිනය පතුරුවන අධර්මවාදී අවිනයවාදී පුද්ගලයින්ව එම ස්වාමීන් වහන්සේ පවසන ආකාරයට මැඬලීම ප්‍රායෝගික ද? අධර්මය අවිනය පැතිරවීමට එරෙහිව ඉන් යම් බලපෑමක් කළ හැකි වුවත් එසේ මැඬලීමට ගන්නා උත්සාහය වර්තමානයේ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාත්මක වන ස්වරූපයට අනුව අවසානයක් දැකිය හැකි උත්සායක් වන්නේ නම් නෑ. එසේ වන්නේ ඇයි? ඒ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා බුදුරජානන් වහන්සේගේ ආඥා චක්‍රය නොසලකා බුදුරජානන් වහන්සේගේ ආඥා චක්‍රය යටපත් වන ආකාරයට පරිශීලකයින්ට නියම හා කොන්දේසි පනවා තිබීම නිසා.

ධර්මයට විනයට අනුකූලව පවත්නා රාජ්‍ය පාලන නීති රීති තුළ ධර්මයෙන් විනයෙන් ද බුදු සසුන රැකෙනවා, රාජ්‍ය පාලන නීති රීති තුළින් ද බුදු සසුන රැකෙනවා. එසේ වනවා මිසක ධර්මයට විනයට අනුකූලව නොපවත්නා රාජ්‍ය පාලන නීති රීති මගින් ධර්මයට විනයට අදාළ දෑ පාලනය කරන්න ගියොත් කුමක් වෙයිද? ඉන් ධර්මය විනය සැඟවෙනවා, අධර්මය අවිනය මතුවෙනවා.

එලෙසම යම් සමාජ මාධ්‍ය ජාලයක් ධර්මයට විනයට අනුකූලව පවත්නා ලෙස සකසා ගන්නා ලද නියම හා කොන්දේසි මාලාවකට සිය පරිශීලකයින් අනුගත විය යුතු යැයි සම්මත කර ගනී නම් ඉන් ධර්මය විනය රැකෙනවා, අධර්මය අවිනය සැඟවෙනවා. එසේ නොමැතිව ධර්මයට විනයට අනුකූලව නොපවත්නා නියම හා කොන්දේසි මාලාවකට අනුව ධර්මය විනය පිළිබඳ කටයුතු ද යම් සමාජ මාධ්‍ය ජාලයක් තුළ සිදුවිය යුතු යැයි එම සමාජ මාධ්‍ය ජාලය සම්මත කර ගනී නම් ඉන් ධර්මය විනය සැඟවෙනවා, අධර්මය අවිනය මතුවෙනවා.

ෆේස්බුක් සහ එවැනි සමාජ මාධ්‍ය ජාලාවන්හි පරිශීලකයින් අනුගත විය යුත්තේ ධර්මයට විනයට අනුකූලව පවත්නා නියම හා කොන්දේසි මාලාවන්ට නම් අධර්මවාදී අවිනයවාදී පිරිස් එම සමාජ මාධ්‍ය ජාලාවන්හි අධර්මය අවිනය පතුරුවන්න උත්සාහ ගත්තොත් ධර්මය විනය විසින් එම ගැටලු අවසානයකට යොමු කෙරනවා. ෆේස්බුක් සහ එවැනි සමාජ මාධ්‍ය ජාලාවන්හි වර්තමානයේ භාවිතා වන නියම හා කොන්දේසි එසේ නැහැ. ඒවායේ ඇත්තේ ධර්ම විනය නොසලකා සාමාන්‍ය මිනිසුන් පිරිසක් විසින් සාමාන්‍ය සමාජ සම්මතයන්ට අනුරූපව සකසා ගන්නා ලද වෙළඳ ව්‍යාපාරයන්ට සුදුසු ආකාරයේ නියම හා කොන්දේසි මාලාවන්.

උක්ත ගැටලුවට විසදුම් මොනවාද?

ෆේස්බුක් සහ එවැනි සමාජ මාධ්‍ය ජාලාවන් ධර්මයට විනයට අනුකූලව තම නියම හා කොන්දේසි මාලාවන් සකසා ගැනීම ඊට එක් විසදුමක්. ඔවුන්ට එසේ කරන්න යැයි කියන්න පුළුවන්, නමුත් ඔවුන් එසේ කරයි ද, නැද්ද යන්න ඔවුන්ගේම තීරණයක්.

ෆේස්බුක් සහ එවැනි සමාජ මාධ්‍ය ජාලාවන් ධර්මයට විනයට අනුකූලව තම නියම හා කොන්දේසි මාලාවන් සකසා නොගන්නේ නම් එබඳු සමාජ මාධ්‍ය ජාලාවන් තුළ ධර්ම ප්‍රචාරයට ඉඩ සලසා නොදීම තවත් එක් විසදුමක්. එසේ වත් කරන්න යැයි ඔවුන්ට කියන්න පුළුවන්. එසේ සිදුවනවා නම් යහපත්.

එසේත් නොවේ නම් ඊලඟ විසදුම නම් ධර්මයට විනයට අනුකූලව තම නියම හා කොන්දේසි මාලාවන් සකසා නොගෙන ධර්ම ප්‍රචාරය කිරීමට ඉඩ සලසන සමාජ මාධ්‍ය ජාලාවන් ආදිය රටේ නීතිය භාවිතා කර අවහිර කර දැමීම.

දැනට ඇති ස්වරූපයන්ට අනුව ෆෙස්බුක්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාලාවන් ධර්ම ප්‍රචාරයට නොගැළපෙන මාධ්‍යයන්.

ස්වකීය ශාසනය යම් ආකාරයකට පැවතිය යුතුද, ඊට අනුරූපව බුදුරජානන් වහන්සේ පනවා ඇති ධර්මය විනය ඉක්මවා ඒ ධර්මයට විනයට නොගැළපෙන නීති රීතිවලට යටත්ව ධර්ම ප්‍රචාරය කිරීම බුද්ධ ශ්‍රාවකයින් විසින් නොකළ යුත්තක්. අන් අය එසේ කිරීම ද බුද්ධ ශ්‍රාවකයින් විසින් වැළැක්විය යුතුයි.

මනා දේ කෙරුමටත්, නොමනා දේ නොකිරීමටත් බුද්ධ ශ්‍රාවකයින් හික්මෙත්වා!

ගෞතම බුදු සසුන ලොව බොහෝ කල් පවතීවා!

සබැඳි:

  1. EndChannel: About
  2. The Unbright Registry