බුද්ධ ධර්මය අඩංගු වීඩියෝ යූටියුබ් වෙබ් අඩවියේ පළ කරන සැවොම ශාසනයට කරන විනාශය

ධර්ම දේශනා අඩංගු වීඩියෝ යූටියුබ් වෙබ් අඩවියට උඩුගත කළ විට දෙස් විදෙස් බොහෝ පිරිසකට එම ධර්ම දේශනාවන්ට පහසුවෙන් සවන් දෙන්න පුළුවන්. එබැවින් ධර්ම ප්‍රචාරය සදහා භාවිතා කළ හැකි ඵලදායි මාධ්‍යයක් ලෙස යූටියුබ් වෙබ් අඩවිය යම් අයෙකුට පෙනෙන්න පුළුවන්. මතුපිටින් එසේ පෙනුනත් යූටියුබ් වෙබ් අඩවිය හරහා ධර්ම ප්‍රචාරය කිරීමෙන් බුද්ධ ශාසනයට සිදුවන්නේ මහත් හානියක්.

එසේ වන්නේ ඇයි? එසේ වන්නේ යූටියුබ් වෙබ් අඩවිය පාලනය කෙරෙන්නේ ධර්මයට විනයට අනුව නොවන නිසා.

යම් වීඩියෝවක් යූටියුබ් වෙබ් අඩවිය හරහා ප්‍රචාරය කෙරුමේදී එය කවර බලපත්‍රයක් යටතේ ප්‍රචාරය කළ යුතු දැයි යන්න ප්‍රචාරකයා විසින් තේරිය යුතු වෙනවා. එහිදී යූටියුබ් වෙබ් අඩවිය දක්වන බලපත්‍ර දෙකකින් එකක් තෝරාගැනීමට ප්‍රචාරයකයාට සිදුවෙනවා. එම බලපත්‍ර දෙක නම් ස්ටෑන්ඩර්ඩ් යූටියුබ් ලයිසන්ස් (Standard YouTube License)  සහ ක්‍රියේටිව් කොමන්ස් සීසී බයි ලයිසන්ස් (Creative Commons CC BY) නම් බලපත්‍ර දෙකයි.

ස්ටෑන්ඩර්ඩ් යූටියුබ් ලයිසන්ස් නම් බලපත්‍රය ඈඳා වීඩියෝවක් ප්‍රචාරය කරන පුද්ගලයා හෝ පිරිස එමඟින් එම වීඩියෝව සඳහා ප්‍රකාශන අයිතියක් (Copyright ownership) දක්වනවා. බුද්ධ ධර්මය අඩංගු වීඩියෝවක් එසේ උඩුගත කරන අය බුදුරජානන් වහන්සේට අයිති ධර්මය තමන්ට අයිති යැයි අයිතිවාසිකම් දැක්වීමක් එමඟින් කරනවා. ඉතින් එසේ වීඩියෝ උඩුගත කරන්නන්ට කියන්න වෙන්නේ ධර්ම හොරු කියායි. ස්ටෑන්ඩර්ඩ් යූටියුබ් ලයිසන්ස් නම් බලපත්‍රය බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීමට උචිත නොවන බව මින් වටහා ගන්න පුළුවන්.

එම බලපත්‍රයට අනුව වීඩියෝවක් උඩුගත කරන සමහර අයෙක් එම වීඩියෝව වෙනත් අයෙකු විසින් වෙනත් නාලිකාවකට උඩුගත කළ හොත් එම දෙවන තැනැත්තාට විරුද්ධව කටයුතු කරනවා. එම වීඩියෝව දෙවන තැනැත්තා විසින් තමන්ගේ නාලිකාවෙන් ඉවත් කර ගත යුතු යැයි තර්ජනය කිරීම, එසේ ඉවත් නොකළ හොත් දෙවන තැනැත්තාගේ නාලිකාව වසා දැමීමට යූටියුබ් වෙත දැන්වීම ආදිය එබඳු විරුද්ධවාදී ක්‍රියා සමහරකට උදාහරණ. බුද්ධ ධර්මය කරුණු කොට අයිතිවාසිකම් කියමින් මෙසේ රණ්ඩු කරගැනීම ශ්‍රාවකයින්ට ගැළපෙන්නේ නෑ. ස්ටෑන්ඩර්ඩ් යූටියුබ් ලයිසන්ස් නම් බලපත්‍රය බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීමට උචිත නොවන බව මින් ද වටහා ගන්න පුළුවන්.

ස්ටෑන්ඩර්ඩ් යූටියුබ් ලයිසන්ස් නම් බලපත්‍රය ඈඳා ධර්ම විකෘති අඩංගු වීඩියෝවක් උඩුගත කරන සමහර අයෙක් යම් වෙනත් අයෙකු විසින් එම විකෘතීන් උපුටා දක්වමින් වැරදි නිවැරදි කරන වීඩියෝවක් වෙනත් නාලිකාවක් හරහා ප්‍රචාරය කළ හොත් එම දෙවන තැනැත්තාට විරුද්ධව කටයුතු කර දෙවන තැනැත්තාගේ වීඩියොව යූටියුබ් වෙබ් අඩවියෙන් ඉවත්කරලීමට කටයුතු කරනවා. මේ නිසා ධර්මය විකෘති කරන අයට බලපෑමකින් තොරව එම විකෘති කිරීම් කරගෙන යෑමට ස්ටෑන්ඩර්ඩ් යූටියුබ් ලයිසන්ස් නම් බලපත්‍රය පහසුකම් සලසනවා. ස්ටෑන්ඩර්ඩ් යූටියුබ් ලයිසන්ස් නම් බලපත්‍රය බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීමට උචිත නොවන බව මින් ද වටහා ගන්න පුළුවන්.

ක්‍රියේටිව් කොමන්ස් සීසී බයි ලයිසන්ස් නම් බලපත්‍රය ඈඳා වීඩියෝවක් ප්‍රචාරය කරන පුද්ගලයා හෝ පිරිස පෙර කී බලපත්‍රයේ තරමට වීඩියෝවට අයිතිවාසිකම් දැක්වීමක් කරන්නේ නෑ. ක්‍රියේටිව් කොමන්ස් සීසී බයි ලයිසන්ස් නම් බලපත්‍රයේ ඇති ලිහිල් කොන්දේසිවලට අනුව වීඩියෝව භාවිතා කරන අයට එම වීඩියෝවේ අන්තර්ගතය වෙනස් කර නව වීඩියෝ ආදිය සෑදීමට අවසර හිමිවෙනවා. මේ නිසා ක්‍රියේටිව් කොමන්ස් සීසී බයි ලයිසන්ස් නම් බලපත්‍රය ඈඳා බුද්ධ ධර්මය අඩංගු වීඩියෝ උඩුගත කරන අය ධර්මය විකෘති කරන අයට ඒ නුසුදුසු ක්‍රියාව කෙරුමට බලපත්‍රයකින්ම අවසර දීමක් කරනවා. මේ ක්‍රියාව සමඟිව සිටින ශ්‍රාවකයින් නොයෙක් නොයෙක් මත දරන කල්ලි කණ්ඩායම්වලට කැඩී යාමට රුකුල් දීමක්. ඉතින් ධර්ම විකෘතියට අනුබල දෙන, පිරිස් භේදයට හේතුවන ක්‍රියේටිව් කොමන්ස් සීසී බයි ලයිසන්ස් නම් බලපත්‍රයත් බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීමට උචිත නොවන බව මින් වටහා ගන්න පුළුවන්.

මේ යූටියුබ් වෙබ් අඩවියේ කොන්දේසි දැක්වෙන පිටුවෙන් උපුටා ගැනීමක්:

"By providing Content to the Service, you grant to YouTube a worldwide, non-exclusive, royalty-free, transferable, sublicensable license to use that Content (including to reproduce, distribute, prepare derivative works, display and perform it)."

එහි සඳහන් වන "prepare derivative works" යන වදන්වලින් යූටියුබ් වෙබ් අඩවියට ලබා දෙනු ලබන අවසරය යූටියුබ් මඟින් නොමනා ලෙස භාවිතා නොකරත්වා යැයි අප විසින් සිතනු ලැබුවත් එයත් බුද්ධ ධර්ම විකෘති කෙරුමට ඉඩ සලසන අවසරයක්මයි.

ඉහත සඳහන් කළ දෑ පිළිබඳ මෙසේත් කිව හැකියි: දැන දැන ස්ටෑන්ඩර්ඩ් යූටියුබ් ලයිසන්ස් නම් බලපත්‍රය භාවිතා කරන අය දහම් හොරු. දැන දැන ක්‍රියේටිව් කොමන්ස් සීසී බයි ලයිසන්ස් නම් බලපත්‍රය භාවිතා කරන අය ධර්ම විකෘතියට ඉඩ සලසන්නන්, පිරිස් භේදයට ඉඩ සලසන්නන්. කවර බලපත්‍රයකට ඈඳුවත් දැන දැන යූටියුබ් වෙත බුද්ධ ධර්මය අඩංගු වීඩියෝ ලබා දෙන අය ධර්ම විකෘතියට ඉඩ සලසන්නන්, පිරිස් භේදයට ඉඩ සලසන්නන්.

සිදුවන හානිය ගැන නොදැන ධර්ම ප්‍රචාරය සඳහා යූටියුබ් වෙබ් අඩවිය භාවිතා කරන ධර්මවාදීන් ඇතොත් ඔවුන් ගැනත් යමක් කිව යුතුයි. නොදැන කළත් ඔවුන්ගේ ක්‍රියාවෙන් බලපත්‍ර පිළිබඳ ඉහත කළ විස්තරවලට අනුව ධර්ම විකෘතියට, පිරිස් භේදයට ඉඩ සැලසෙනවා. අතිරේකව ඔවුන්ගේ ක්‍රියාවෙන් සිදුවන නරකක් නම් දහම් හොරුන්ට තෝතැන්නක් වන සහ ධර්මය විකෘති කරන අධර්මවාදීන්ට තෝතැන්නක් වන ධර්ම ප්‍රචාරයට නුසුදුසු මාධ්‍යයක් සුදුසු මාධ්‍යයක් ලෙස දක්නා ආකල්පයක් සමාජය තුළ වඩ වඩාත් ස්ථාපිත වීම. එය අධර්මවාදීන්ට තමන්ගේ අධර්මවාදී කටයුතු ඉදිරියටත් කරගෙන යෑමට සුදුසු පරිසරයක් පවත්වාගෙන යෑමට උපකාර කිරීමක්.

මෙම ලිපියේ විස්තර කළේ යූටියුබ් වෙබ් අඩවියේ භාවිතා කෙරෙන බලපත්‍ර සහ ඒ නිසා සිදුවන දෑ ගැන පමණයි. බුද්ධ ධර්මය ප්‍රචාරය පිණිස යම් මාධ්‍යයක් භාවිතා කෙරෙනවා නම් එම මාධ්‍යය හරහා බුද්ධ ධර්මය ප්‍රචාරය විය යුත්තේ ධර්මයට විනයට අනුව සිදුවන පාලනයකට යටත්වයි. එසේ නොවන මාධ්‍යයන් භාවිතා කිරීමෙන් ශාසනයට හානි සිදුවෙනවා. යූටියුබ් යනු ධර්මයට විනයට අනුව කෙරෙන පාලනයක් සහිත මාධ්‍යක් නොවෙයි. එක්කෝ යූටියුබ් වෙබ් අඩවියේ කොන්දේසි, බලපත්‍ර ආදිය බුද්ධ ධර්මය ප්‍රචාරය කෙරුමට ද උචිත ලෙස වෙනස් විය යුතුයි. එසේ නැත්නම් යූටියුබ් වෙබ් අඩවිය බුද්ධ ධර්මය ප්‍රචාරය කෙරුම පිණිස භාවිතා නොවිය යුතුයි.

සමහරු මෙම ලිපියෙන් විස්තර කෙරෙන විනාශය ගැන දැනුවත් නෑ. තවත් සමහරු මෙහෙම විස්තර ඇතිව කීවත් අනිත් අයට ධර්මය අහන්න ලැබෙනවා යැයි සිතා ඒ ගැන තැකීමක් කරන්නේ නෑ. යූටියුබ් වෙබ් අඩවිය අධර්මවාදීන් විසින් සිය ප්‍රචාරණ කටයුතු කරගෙන යෑමට බහුළව භාවිතා කරනු ලබන්නේ එහි ඇති ධර්මයට විනයට ඇති නොගැළපීම නිසා. එම නොගැළපීම නිසා යූටියුබ් වෙබ් අඩවිය හරහා ධර්ම ප්‍රචාරය කරන්න යෑමෙන් ශාසනයට සිදුවන හානිය නොසලකා හරින්න බැරි මට්ටමකට පත්ව තිබෙනවා.

මෙකල බොහෝ දෙනෙක් අධර්මවාදීන් විසින් කරගෙන යනු ලබන ධර්ම විකෘතිය වැළැක්වීමට උත්සුක වී සිටිනවා. මෑතකදී කතාබහට ලක්වුනු ත්‍රිපිටක සංරක්ෂණ පනත සකස් කිරීමට යොමුවීමත් ධර්ම විකෘතිය වැළැක්වීමට උත්සුක වීමක්. ඉන් ධර්ම විකෘතිය වැළැක්වීමට අවශ්‍ය නීතිමය පසුබිමක් සකස්කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. එසේ ධර්ම විකෘතිය වැළැක්වීමට නීතිමය පසුබිමක් සකස්කර ගැනීමට උත්සුක වන සැවොමත් යූටියුබ් වෙබ් අඩවියේ ස්වරූපය, එය භාවිතා කරන්නන්ට පනවා ඇති කොන්දේසි, එය ධර්ම ප්‍රචාරය සඳහා භාවිතා කිරීමෙන් ශාසනයට සිදුවන අගතිය ගැන විමසා බැලීම වටිනවා.

යූටියුබ් වෙබ් අඩවිය දැනට ඇති ස්වරූපයට අනුව ධර්ම ප්‍රචාරයට සුදුසු මාධ්‍යයක් නොවෙයි. එය වෙළෙදාම් ප්‍රවර්ධනය කෙරුමට ආදී කටයුතු සඳහා සුදුසු ආකාරයකට සැකසි තිබෙනවා මිසක ධර්ම ප්‍රචාරයට සුදුසු ආකාරයකට සැකසී නැහැ. ධර්ම ප්‍රචාරයට එය භාවිතා කිරීමෙන් ශාසනයට හානියක් සිදුවෙනවා.

බුද්ධ ශ්‍රාවකයින් ධර්ම ප්‍රචාරය සඳහා යූටියුබ් වෙබ් අඩවිය භාවිතා කිරීම නැවැත්විය යුතුයි.

සබැඳි:

  1. ධර්මගොඩ කොපිරයිට්නන්ද බත් බැළයාගේ සහ සත්පුරුෂයාගේ වෙනස
  2. ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමිගේ YouTube Copyright Strike
  3. මීහරක් Fernando
  4. අළුදෙනියේ සුබෝධි නම් පල්හොරා
  5. මීහරක් Fernando සහ දරණාගම කුසලධම්ම හිමිගේ නරියා මාධ්‍ය ජාලය
  6. ධර්මවාදීන් විනයවාදීන් ඇති විට අධර්මවාදීන් අවිනයවාදීන් ෆේස්බුක්වල පිනුම් නොගහාවිද?
  7. විදුලි සංදේශ නියාමනය ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතට ඇතුලත් නොවේ යැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක් අසත්‍යයක් පවසයි
  8. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ගොං රැළ ස්වකීය වගකීම ඉටු නොකොට රූකඩ සංදර්ශන පැවැත්වීම
  9. EndChannel > Resources > Letters