ශාසනය රැකුමට කොත්මලේ කුමාරකස්සප හිමි සහ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ අන් ස්වාමීන් වහන්සේලා ගන්නා උත්සාහය අගය කරමු

ඉහත වීඩියෝවේ කාලය 00:19:31 පමණ සිට 00:21:05 පමණ දක්වා කොත්මලේ කුමාරකස්සප හිමි යම් යම් මතවාදීමය වෙනස්කම් තිබුනත් සංඝ සමගිය අගය කොට අන් පාර්ශව සමඟ එකමුතුව බුදු සසුන රැක ගැනීම පිණිස එහිමියන් සහ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ අන් ස්වාමීන් වහන්සේලා පෙර කටයුතු කළ ආකාරය ගැනත් දැන් සහ මතුවට කටයුතු කරන ආකාරය ගැනත් විස්තර දක්වනවා. මේ භික්ෂූන් වහන්සේලාගේ උත්සාහය අගය කළ යුතුයි. ඇතිව ඇති අර්බුදකාරී තත්ත්වයන් හමුවේ මේ භික්ෂූන් වහන්සේලා බොහෝ වෙහෙසව බුදු සසුන රැක ගැනීම පිණිස කටයුතු කිරීම ඉතාම ප්‍රශංසනීයයි.

අන් භික්ෂූන් වහන්සේලාත් කොත්මලේ කුමාරකස්සප හිමි සහ මාන්කඩවල නන්දරතන හිමි මෙන් අදහස් ඇතිකරගෙන බෙදී නොසිට එකට එකමුතුව තම තමන්ගේ අභිවෘද්ධියත්, ශාසනයේ චිරස්ථිතියත් පිළිබඳ කටයුතු කරනවා නම් එය බෙහෙවින්ම අගය කළ යුතුයි.

ගිහි වේවා, පැවිදි වේවා යම්කිසි පිරිසක් සංඝ සමගිය අගය නොකරයි නම්, ඊට අකමැතිව වෙන් වෙන්ව සිටීමට උත්සාහ දරයි නම්, ඊට අකුල් හෙලයි නම් ඒ බුදුන් වහන්සේගේ අනුශාසනාව පිළිගත් පිරිසක් වන්නේ නෑ. සැබෑ බුද්ධ පුත්‍රයින්, සැබෑ බුද්ධ ශ්‍රාවකයින් කවුරුන් දැයි සොයා ගැනීමට මෙය හොඳ පරික්ෂණයක්.

කොත්මලේ කුමාරකස්සප හිමිගේ, මාන්කඩවල නන්දරතන හිමිගේ, ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ අන් ස්වාමීන් වහන්සේලාගේ සහ දැනටමත් එක්ව සිටින අන් භික්ෂූන් වහන්සේලාගේ ලෝ සත්ත්වයින් හට බෙහෙවින්ම වැඩදායක ශාසන හිතැති එම උත්සාහය සාර්ථක වේවා! අන් භික්ෂූන් වහන්සේලාත් එම උත්සාහයට එක් වෙත්වා!