[* මෙම ලිපිය සමහරවිට අඩුපාඩු සහිත විය හැක] මිසදිටු සිංහලේ සත් පත්තිනි මුළාව - අනේ අපොයි අපේ මිනිස්සු රැවටෙන තරම!

[2021 අප්‍රේල් 17] විශේෂ දැන්වීම: කන්නකි පිළිබඳව මෙම ලිපියේ ලියා ඇති විස්තරවලට අතිරේක පසු කාලීන විස්තර සොයාගත හැකිවීම නිසා මෙම ලිපියේ ලියා ඇති සමහර කරුණු වෙනස් විය යුතු බව පෙනේ. තවදුරටත් වැඩි විස්තර පරික්ෂා කර බලා මෙම ලිපිය සංශෝධනය කිරීම හෝ සම්පූර්ණයෙන් ඉවත් කිරීම සිදුවනු ඇත. කියවන්නන්ගේ අවබෝධය පිණිස සොයාගන්නා වැඩි විස්තර ද මෙම වෙබ් අඩවියේ පළ කෙරෙනු ඇත. එතෙක් මෙම ලිපියෙහි සඳහන් කරුණු පූර්ණ නොවිය හැකි යැයි ද, මවිසින් ප්‍රකාශ කර ඇති සමහර දෑ දොස් සහිත විය හැකි යැයි ද සලකන මෙන් ඉල්ලමි. - කමල් වික්‍රමනායක.

මේ දිනවල හිරු ටීවී නාලිකාවට සම්බන්ධ පිරිස් රටපුරා ගොස් "සූර්ය සිංහලේ සත් පත්තිනි සෙත් ශාන්තිය" යන නමින් පූජාවක් පැවැත්වීම පිණිස අලුත් සහල් එකතු කිරීමක් කරන බවත් බොහෝ පන්සල්, භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිස් ඊට සම්බන්ධ කරගන්නා බවත් පෙනෙන්නට තිබෙනවා. සත් පත්තිනි යනු කවරෙක්ද? මේ කරන ක්‍රියාව ගැන ඇති වූ කුකුස නිසා මම ඒ පිළිබඳ සොයා බැලුවා. සත් පත්තිනි යනු දේවත්වයෙන් සලකනු ලබන, සිල්පතිකාරම් යන නමින් හැඳින්වෙන ඉන්දියාවේ ජෛන දෙමළ කාව්‍යයක එන කන්නකි නම් තැනැත්තියක්.

තම ස්වාමියා තමන්ව අතහැර වෙනත් ස්ත්‍රීයක සමඟ වාසයට ගියත් ස්වාමියා හැර වෙනත් පුරුෂයින්ව ඇසුරු කිරීම ප්‍රතික්ෂේප කළ කන්නකි පසු කලෙක ස්වාමියා තමන් වෙත පැමිණි විට ගෞරවයෙන් ස්වාමියාව පිළිගෙන කටයුතු කළ බව කියැවෙනවා. එසේ වෙතත් පාණ්ඩ්‍ය රටේ රජු තම ස්වාමියාව නිරපරාදේ මරා දැමීම නිසා දූෂිත සිත් ඇතිකරගත් ඇය රජුටත්, මදුරායි පුරයේ මිනිසුන්ටත් සාප කළ බව කියැවෙනවා. එම සාපය නිසා රජු මිය ගිය බවත් මදුරායි පුරය ගිනි ගෙන දැවුණු බවත් කියැවෙනවා.

එම කතා පුවතට අනුව පත්තිනි යනු බුද්ධ ශ්‍රාවකයින් විසින් වන්දනාමාන කළ යුතු දේවතාවියක් නොවෙයි. කන්නකි සිය ස්වාමිපුරුෂයා කෙරෙහි හැසිර ඇති ආකාරය අගය කළ හැකි වුවත් තමන්ට සිදුවූ අගතියක් නිසා දූෂිත සිත් ඇතිව අනුන්ට සාප කිරීමෙන් අන්‍ය පුද්ගලයින්ව ව්‍යසනයට පත් කිරීම අගය කළ හැකි ක්‍රියාවක් නොවෙයි. කන්නකි චරිතය පුහුදුන්ට වීරවරියක් ලෙස පෙනුනත් බුද්ධ ශ්‍රාවකයින්ට ඇය ළාමක ස්ත්‍රීයක් පමණයි. දූෂිත සිත් ඇතිව අනුන්ට සාප කළ ළාමක තැනැත්තියක්ව මුළාවට පත් බුද්ධ ශ්‍රාවකයින් විසින් දේවත්වයෙන් සලකා වන්දානාමාන කරන්න පෙළඹීම බුදුරජානන් වහන්සේට කරන අපහාසයක්, ධර්ම රතනයට කරන අපහාසයක්, සංඝ රතනයට කරන අපහාසයක්. ගෞරව දැක්වීමට සුදුසු, වන්දනාමාන කිරීමට සුදුසු කාන්තාවන් බුද්ධ ශාසනයේ ඕනෑ තරම් හමුවෙනවා. මහාමායා දේවිය, මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය, යශෝධරා තෙරණිය, ඛෙමා තෙරණිය, උප්පලවණ්ණා තෙරණිය, ඛුජ්ජුත්තරා උපාසිකාව, වෙළුකණ්ටකීය නන්‍දමාතාව සහ බුදු සසුන තුළ හමුවන උතුම් ගුණාංගයන් සාක්ෂාත් කළ තවත් බොහෝ කාන්තාවන් ගෞරව දැක්වීමට, වන්දනාමාන කිරීමට සුදුසුයි.

දැනුවත්ව හෝ නොදැනුවත්ව හිරු ටීවී නාලිකාව මඟින් මේ කරගෙන යනු ලබන්නේ වැඩි වැටහීමක් නැති අසරණ මිනිසුන්ව මිසදිටු ගැන්වීමක්. ලැජ්ජාවට කරුණක් නම් භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙකු ද මේ මිසදිටු ක්‍රියාවට දායක වීම.

අනේ අපොයි අපේ මිනිස්සු රැවටෙන තරම!

සබැඳි:

  1. Silappatikaram - Wikipedia
  2. Hiruda TV