රාජගිරියේ අරියඥාණ හිමි රහතන් වහන්සේ තුළ වෙදනා විඳිම සකස් නොවේ යැයි අධර්මයක් පැවසීම

රහතන් වහන්සේ තුළ වෙදනා විඳීම සකස් නොවේ යැයි කීම අධර්මයක්. රහතන් වහන්සේ තුළ වෙදනා විඳීම සකස් වෙනවා. පහත දැක්වෙන්නේ රාජගිරියේ අරියඥාණ හිමි රහතන් වහන්සේ තුළ වෙදනා විඳීම සකස් නොවේය යන අධර්මය ධර්මය සේ පවසා ඇති ආකාරය දැක්වෙන 2014/07/06 දින දිවයින පුවත්පතේ "ඔබේ ඊළඟ ආත්මයේ නිමැවුම්කරු ඔබමය" යන මාතෘකා ඇතිව පළව ඇති ලිපියක කොටසක්:

"ධර්ම සාකච්ඡාවකදී මහත්තයෙක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා රහතන් වහන්සේට විඳීම කියන කාරණය තිබෙනවා නේද කියලා. රහතන් වහන්සේට විඳීම ඇතිවෙනව කියන කාරණය වැරදි කාරණයක්‌. රහතන් වහන්සේ තුළ විඳීම සකස්‌වෙන්නේ නැහැ. විඳීම කියලා කියන්නේ ඇලීම, ගැටීම, උපේක්‍ෂාව කියන කාරණා තුනට. මේ කාරණා තුන තුළම තෘෂ්ණාව බැසගෙන තිබෙනවා. රහතන්වහන්සේ කියන්නේ තෘෂ්aණාව ක්‍ෂය කරපු උත්තමයෙක්‌. රහතන් වහන්සේ තුළ විඳීම සකස්‌වෙනවා නම් එයින් අදහස්‌වෙන්නේ ඔහු තෘෂ්ණාව නැතිකරල නැහැ. මෙතනදී සමහරක්‌ පිංවතුන්ලා ඵස්‌සය සහ වේදනාව කියන කාරණා දෙක පටලවා ගන්නවා. රහතන් වහන්සේ තුළ ඵස්‌සය සිද්ධවෙනවා. නමුත් රහතන් වහන්සේ ඵස්‌සය ළඟදීම ඵස්‌සයේ අනිත්‍යතාවය දකිනවා. විඳීමක්‌ සකස්‌වීමක්‌ නැහැ.

එතකොට එම මහත්මයා නැවත ප්‍රශ්න කළා. රහතන් වහන්සේට උෂ්ණය, ශීතලය, දැනෙන්නේ නැතිද කියල. ආහාරයක තිත්ත, පැණිරස දැනෙන්නේ නැතිද කියලා. රහතන් වහන්සේට උෂ්ණය, ශීතල දැනෙනවා. තිත්ත, පැණිරස දැනෙනවා. එය විඳීම නොවෙයි ඵස්‌සයයි. දැනුනා කියන තැන රහතන් වහන්සේ නවතිනවා. එය බොහෝ සියුම් තැනක්‌. උෂ්ණය, ශීතල දැනෙනවා තිත්ත පැණිරස දැනෙනවා ඒවා කෙරෙහි ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන් ඇතිවෙන්නේ නැහැ. විදීම් ඇතිවෙනවානම් ඉන් අර්ථවත් වෙන්නේ තෘෂ්ණාව ක්‍ෂය කරලා නැති බවයි.

රස දැනෙනවා. නමුත් රසයට බැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇලීම් ගැටීම් උපේක්‍ෂාවන් සකස්‌කර ගන්නේ නැහැ. එම නිසාම රහතන් වහන්සේ තුළින් විඳීම් කියන කාරණය ප්‍රතික්‌ෂේප වෙනවා. මේ නිසායි බුදුරජාණන් වහන්සේ දේශණා කරන්නේ රහතන් වහන්සේ දැක්‌කාය, ඇසුනාය, දැනුනාය කියන තැන නතරවෙනවාය කියල. පැණිරස දැනෙනවා. ඇලීමක්‌ නැහැ. තිත්ත රස දැනෙනවා. ගැටීමක්‌ නැහැ. පැණිරසත් තිත්ත රසයත් දැනෙනවා උපේක්‍ෂාවක්‌ නැහැ. ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැක්‌ක තැනදී විඳීමට පැවත්මක්‌ නැහැ. "

රහතන් වහන්සේ තුළ වෙදනා විඳීම සකස් වන බවට විස්තර ත්‍රිපිටකයේ තැන් ගණනාවක තිබෙනවා. උදාහරණයකට ගල්පතුරකින් පාදය තුවාල වීම නිසා බුදුරජානන් වහන්සේට ඇතිවූ ශාරීරික වෙදනාව පිළිබඳ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ සගාථාවග්ගයේ දෙවතාසංයුත්‌තයේ සතුල්ලපකායිකවග්ගයේ සකලික සූත්‍රයේ මෙසේ සඳහන්ව තිබෙනවා:

[ පාලි ]

තෙන ඛො පන සමයෙන භගවතො පාදො සකලිකාය ඛතො හොති. භුසා සුදං භගවතො වෙදනා වත්තන්ති සාරීරිකා වෙදනා දුක්ඛා තිබ්බා ඛරා කටුකා අසාතා අමනාපා. තා සුදං භගවා සතො සම්පජානො අධිවාසෙති අවිහඤ්ඤමානො.

[ සිංහල පරිවර්තනය ]

එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල්පතුරෙකින් පහළේ වේ. භාග්‍යවතුන් වහන්සේට දුක් වූ දැඩි වූ රළු වූ තියුණු වූ නොමිහිරි වූ අමනාප වූ බලවත් ශාරීරක වේදනාවෝ පවතිත්. භාග්‍යවතුන් වහන්සේ සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඒ වේදනාවන් ඉවසන සේක.

අරහත් ඵලය සාක්ෂාත් කළ උතුමෙක් තුළ ස්කන්ධ පරිනිර්වාණය තෙක් සැප දුක් විඳීම පවත්නා බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දකනිකායේ ඉතිවුත්‌තකපාළියේ දුක නිපාතයේ දෙවෙනිවග්ගයේ නිර්වාණධාතු සූත්‍රයේ මෙසේ සඳහන්ව තිබෙනවා:

[ පාලි ]

2. කතමා ච භික්ඛවෙ සඋපාදිසෙසා නිබ්බානධාතු?

ඉධ භික්ඛවෙ භික්ඛු අරහං හොති ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො තස්ස තිට්ඨන්තෙව පඤ්චින්ද්‍රියානි යෙසං අවිඝාතත්තා මනාපාමනාපං පච්චනුභොති සුඛදුක්ඛං පටිසංවෙදෙති. තස්ස යො රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො, අයං වුච්චති භික්ඛවෙ සඋපාදිසෙසා නිබ්බානධාතු.

[ සිංහල පරිවර්තනය ]

2. මහණෙනි, සොපාදිශේෂ නිර්‍වාණධාතු කවරේ ද?

මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ රහත් වූයේ, පහ කළ ආස්‍ර‍ව ඇතියේ, වැස නිමවූ බඹසර ඇතියේ, කරණ ලද සිවුමග කිස ඇතියේ, බහා තබන ලද කෙලෙස් බර ඇතියේ, පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇතියේ, පිරිහුනු බවබැඳුම් ඇතියේ, මනා කොට නුවණින් දැන කෙලෙසුන්ගෙන් මිදුනේ වේ ද, ඒ රහත්හු පිළිබඳ යම් ඉන්‍ද්‍රිය කෙනකුන් නිරුද්ධ නොකළ හෙයින් ඉටු අනිටු අරමුණු ලබයි ද, සැප දුක් විඳියි ද, ඒ පසිඳුරෝ පවත්නාහු ම වෙත්. ඒ රහත්හුගේ රාගක්‍ෂය‍, ද්වේෂක්‍ෂය, මොහක්‍ෂය වේ ද, මහණෙනි, මේ (ක්ලේශපරිනිර්‍වාණය) සොපාදිශෙෂ නිර්‍වාණධාතු යැ යි කියනු ලැබේ.

රහතන් වහන්සේ නමක් තුළ වෙදනා විඳීම පවත්නා බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ චතුක්ක නිපාතයේ සිවුවැනි පණ්ණාසකයේ මහාවග්ගයේ වප්ප සූත්‍රයේ (382 පිටුව) මෙසේ සඳහන්ව තිබෙනවා:

[ පාලි ]

එවමෙවං ඛො වප්ප එවං සම්මා විමුත්තචිත්තස්ස භික්ඛුනො ඡ සන්තතවිහාරා අධිගතා හොන්ති: සො චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති, න දුම්මනො. උපෙක්ඛකො විහරති සතො සම්පජානො. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය නෙව සුමනො හොති, න දුම්මනො. උපෙක්ඛකො විහරති සතො සම්පජානො. සො කායපරියන්තිකං වෙදනං වෙදියමානො කායපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. ජීවිතපරියන්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තීති පජානාතීති.

[ සිංහල පරිවර්තනය ]

වප්පය, එ සෙයින් ම මෙසේ සම්‍යක් විමුක්තචිත්ත ඇති භික්‍ෂූහු විසින් ෂට් සතතවිහාරයෝ අධිගත වෙත්. හෙ ඇසින් රුවක් දැක සොම්නස් ඇතියේ නොම වෙයි. දොම්නස් ඇතියේ නොම වෙයි. සිහි ඇතියේ මනා නුවණ ඇතියේ උපේක්‍ෂකව වෙසෙයි. කණින් ශබ්දයක් අසා ... නැහැයෙන් ගඳක් ඉවසා ... දිවෙන් රසයක් විඳ ... කයින් පැහැසිය යුත්තක් පැහැසැ ... මනසින් දහමක් දැන සොම්නස් ඇතියේ නොම වෙයි. දොම්නස් ඇතියේ නො ම වෙයි. සිහි ඇතියේ නුවණ ඇතියේ උපේක්‍ෂකව වෙසෙයි. හෙ කායපරියන්තික වේදනා විඳිමින් කායපරියන්තික වේදනා විඳිමි යි දන්නේය. ජීවිතපරියන්තික වේදනා විඳිමින් ජීවිතපරියන්තික වේදනා විඳිමි යි දන්නේය. කායභේදයෙන් ජීවිතක්‍ෂයයෙන් මතුයෙහි මෙ අත්බව්හි ම හැම වෙදයිතයෝ අනභිනන්‍දිත වූවාහු සිහිල් වන්නාහ යි දන්නේ යි.

තවද යම් අයෙකුට වෙදනාවේ බෙදීම් වන සුඛ වෙදනා, දුක් වෙදනා සහ නොදුක්නොසුව වෙදනා යන වෙදනාවන් රහතන් වහන්සේ තුළ පවත්නා බව එම බෙදීමට අනුරූපී විස්තර ඇසුරින් වටහා ගැනීමට උවමනා නම් එවන් විස්තර ද ත්‍රිපිටකයේ දකින්න පුළුවන්. උදාහරණ ලෙස ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ නිදානවග්ගයේ අභිසමය සංයුක්තයේ දුක්‌ඛවග්ගයේ පරිවීමංසන සූත්‍රය (130 පිටුව), ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ ඛන්ධවග්ගයේ ඛන්ධසංයුත්තයේ ථෙරවග්ගයේ අස්සජි සූත්‍රය (218 පිටුව) සහ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ සළායනවග්ගයේ වෙදනාසංයුත්තයේ සගාථාවග්ගයේ ගෙලඤ්ඤ සූත්‍රය (402 පිටුව) ආදී සූත්‍ර දක්වන්න පුළුවන්.

පෙර උපුටා දක්වන ලද පුවත්පත් ලිපියේ රාජගිරියේ අරියඥාණ හිමි රහතන් වහන්සේ තුළ වෙදනා විඳීම සකස් නොවේය යන අධර්මය ධර්මය සේ විස්තර කර ඇතිවා මිසක එහි විස්තරාත්මකව ඒ දක්වා ඇත්තේ මනා දහමක් නොවෙයි. අරියඥාණ හිමිගේ එම වචන හරඹය ධර්මය යැයි වරදවා සිතනා අයට පටිච්චසමුප්පාදය වැනි දහම් විමසන විට විකෘති වැටහීම් ඇති වන්නට පුළුවන්.

රහතන් වහන්සේ තුළ වෙදනා විඳීම සකස් නොවේ යැයි කීම අධර්මයක්. රහතන් වහන්සේ තුළ වෙදනා විඳීම සකස් වෙනවා.

අතිරේක කියවීම්:

  1. රාජගිරියේ අරියඥාණ හිමි වේදනාව යනු ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන් යැයි වරදවා කීම
  2. රාජගිරියේ අරියඥාණ හිමි විඳීම යනු ඇලීම, ගැටීම, උපේක්ෂාව යැයි වරදවා පැවසීම
  3. ඵස්සය අනිත්‍ය වශයෙන් ගන්නා නිසා රහතන් වහන්සේගේ සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ සකස් නොවන බව රාජගිරියේ අරියඥාණ හිමි වරදවා පැවසීම