රාජගිරියේ අරියඥාණ හිමි යම් අයෙකු මාර්ග ඵල ලාභියෙකු යැයි පැවසිය හැක්කේ බුදුරජානන් වහන්සේ නමකට පමණක්ය යන ධර්මයට නොගැළපෙන කරුණක් පැවසීම

ඉහත වීඩියෝවේ තත්පර 39න් පමණ පසු රාජගිරියේ අරියඥාණ හිමි මෙසේ පවසනවා:

තව කෙනෙක් රහත් භාවයට පත් උනාද, තව කෙනෙක් අනාගාමී උනාද, සෝවාන් ඵලයට පත් උනාද කියන කාරණය කියන්න පුළුවන් බුදුරජානන් වහන්සේ නමකට විතරයි.

ඉහත වීඩියෝවේ කාලය 01.01 ට ආසන්නයේ ද අදාළ කරුණ මෙසේ කියැවෙනවා:

අනුන්ගේ අධිගමයක් දකින්න පුළුවන් නෝනා ලොව්තුරා බුදුරජානන් වහන්සේට පමණයි.

එම කරුණ නිවැරදි නැහැ.

පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මූල පණ්ණාසකයේ මහායමක වග්ගයේ චූළගොසිඞ්ග සූත්‍රයෙන් කොටසක්:

33. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද හා ආයුෂ්මත් නන්දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේට පසු ගමන් කොට එයින් වටලා අවුත් ආයුෂ්මත් නන්දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට තෙල කීහ:

“යම් හෙයකින් ආයුෂ්මත් අනුරුද්ධ තෙමේ භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අපගේ ආස්‍රවක්ෂය කිරීම තෙක් ගුණ පැවසී ද, (එසේ පැවසීමට) කිම, ‘අපි මේ මේ (ලෞකික ලොකොත්තර) විහාරසමාපත්ති ලැබුවමෝ වෙමු’යි අපි අනුරුද්ධ ආයුෂ්මතුන්ට මෙසේ සැළ කළමෝ දැයි?” [අධිගම අප්පිච්ඡතායෙන් මෙසේ කීහු.]

34. ආයුෂ්මත්හු ‘අපි මේ මේ විහාරසමාපත්තීන් ලැබුවෙමු’යි මට මෙසේ නො කීහ. එහෙත් මේ ආයුෂ්මත්හු ‘මේ මේ විහාරසමාපත්තීන් ලැබුවාහු ය’යි මාගේ සිතින් ආයුෂ්මතුන්ගේ සිත් පිරිසිඳ දක්නා ලදී. ආයුෂ්මත්හු ‘මේ මේ විහාරසමාපත්තීන් ලැබුවාහු ය’යි දෙවියෝ ද මට මේ කරුණ සැළ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් විචාරණ ලද මා විසින් මේ කාරණය ප්‍රකාශ කරණ ලදී.

චූළගොසිඞ්ග සූත්‍රයට අනුව නන්දිය තෙරණුවන් සහ කිම්බිල තෙරණුවන් නොයෙක් නොයෙක් විහාරසමාපත්ති ලැබූ බව සහ රහතන් වහන්සේලා බව අනුරුද්ධ තෙරණුවන් තමන් වහන්සේ විසින්ම දැන ගත් බව සඳහන්. ඒ අනුව තවත් අයෙකුගේ මාර්ග ඵල ලැබූ බව කියන්න හැක්කේ බුදුරජානන් වහන්සේ නමකට පමණක් නොවන බව කිව හැකියි.

අන් අයෙකු මාර්ග ඵල ලාභී දැයි දැන ගත හැකි ඥාණය සමහර බ්‍රහ්මකායික දෙවියන්ටත් ඇති බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ සත්තක නිපාතයේ අව්‍යාකත වග්ගයේ තිස්‌සබ්‍රහ්‌ම සූත්‍රයේ විස්තර ඇතිව සඳහන්ව තිබෙනවා. එම සූත්‍රයට අනුවත් තවත් අයෙකුගේ මාර්ග ඵල ලැබූ බව කියන්න හැක්කේ බුදුරජානන් වහන්සේ නමකට පමණක් නොවන බව කිව හැකියි.