මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචනවල අර්ථයන් වැරදවීම

තත්පර 27න් පමණ ඉදිරියට (අනිච්ච යන්න සංස්කාරයන්ගේ ලක්ෂණයක් උවත් එය පුද්ගලයෙකුගේ කැමැත්ත ලෙස අර්ථය වැරදවීම):

දැන් මේ නිච්ච කියන එකත්, අනිච්ච කියන එකත් කොහෙද ඇතිවෙන්නේ? තමන්ගෙ හිතක. දැන් කෙනෙක් යම් ප්‍රිය දෙයක් ඇහෙන් දැක්කා නම්, ඒකෙන් යම් සුවයක් ලබනවා නම් ඒ සුවය නැවත නැවතත් ලැබීමේ කැමැත්තට කියනවා නිච්ච කියලා. තේරුනාද? ඒ සුවය නැවත නැවතත් ලබාගැනීමට අවශ්‍ය වෙනවානම් නිශ්චිත වශයෙන් මේ සුවය මට සුවයි, මේ සුවය මම ලබන්න ඕනෑ කියනවා නම් අන්න නිච්චයි, සුඛයි, අත්තයි.

විනාඩි 1, තත්පර 27න් පමණ ඉදිරියට (නිවැරදිව පරිවර්තනය කර ඇති කරුණු අරභයා එම කරුණු නිවැරදිව පරිවර්තනය කළ අයට අභූතයෙන් දොස් කීම):

හැබැයි මේ නිත්‍ය, අනිත්‍ය කියන එක පස්සෙ කාලෙක පරිවර්තනය කරපු වචන දෙකක්. ඒ වගේම අත්ත, අනත්ත කියන එක ආත්ම, අනාත්ම හැටියට වැරදි සේ පරිවර්තනය [කළා]. ඒ වගේම සුඛ, දුක්ඛ කියන එක දුක හැටියට වැරදි සේ පරිවර්තනය [කළා]. ඒ නිසා මේ පරිවර්තකයෝ ත්‍රිපිටකය පරිවර්තනය කරන කොට, බුද්ධ භාෂිතය පරිවර්තනය කරන කොට මේ නිව්ච, සුඛ, අත්ත, අනිච්ච, දුක්ඛ, අනත්ත කියන මේ මාගධී වචන තුන වැරදි සේ පරිවර්තනය කළා.

විනාඩි 2, තත්පර 7න් පමණ ඉදිරියට (යදනිච්චං යන පාලි වචනය අනිච්ච යන අර්ථයෙන් නොව නිච්ච යන අර්ථයෙන් ගෙන බුද්ධ භාෂිතය විකෘති කිරීම):

දැන්, යමක් නිත්‍ය නම්, "යදනිච්චං තං දුක්ඛං", "යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තං". මේකයි ධර්මයේ තියෙන්නේ. යමක් අ... "යදනිච්චං තං දුක්ඛං". යමක් නිච්ච නම්, ඒක නිච්චයි කියලා අපි තීරණය කළොත්, ඒක නිච්ච සේ උපාදානය කර ගත්තොත් අපිට දුක උරුම වෙනවා. එතකොට නිච්ච නම් තමා දුක. අනිච්ච නම්, අපි ඒ නිච්ච බව හිතින් අත්ඇරියා නම් අපිට සැපයි.

විනාඩි 3, තත්පර 40න් පමණ ඉදිරියට (අනිච්ච යන්න සංස්කාරයන්ගේ ලක්ෂණයක් උවත් එය පුද්ගලයෙකුගේ කැමැත්ත ලෙස අර්ථය වැරදවීම - ඉහතින්ද සඳහන් කර ඇත):

... මේ බුද්ධ දේශනාවෙ කිව්වෙ මේ නිච්ච කියලා යම් කිසි පුද්ගලයෙකුගෙ හිතක ඇතිවන දෙයක් මිසක් සර්ව සාධාරන සබ්බ චිත්ත සාධාරන එකක් නෙමේ. පුද්ගලයෙක්ගෙ හිතේ ඇතිවන කැමැත්ත.

* මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් ඉහත දක්වන ලද වීඩියෝවේ ප්‍රකාශ කර ඇති ධර්මයට නොගැලපෙන සමහරක් කරුණු ගැන සැකෙවින් සටහන් කිරීමක් මෙම ලිපියෙහි කර ඇත. ඇවැසි යැයි හැඟුනොත් වැඩි විස්තර එක් කිරීමක් මතුවට සිදුවේ.