මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි සංඝ භේදය පිළිබඳ කරුණු වැරදවීම

ඉහත වීඩියෝ වල දැක්වෙන්නේ මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති සඞ්ඝභෙදය පිළිබඳ ධර්ම විනය කරුණු විකෘති කිරීමයි. එම වීඩියෝ වල මෙම ලිපියේ විස්තර වන කරුණු වලට අමතරව සංඝ යන වචනයට විකෘති අර්ථයක් දීම වැනි තවත් ධර්ම විනය විකෘති කිරීම් පවතිනවා.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දසක නිපාතයේ උපාලි වග්ගයේ සඞ්ඝභෙද සූත්‍රය හා ප්‍රථම-ආනන්ද සූත්‍රය ආදී සූත්‍ර වල සඞ්ඝභෙදය ගැන ඉතාම පැහැදිලිව දේශනා කර ඇති බවට මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ම විස්තර ඉදිරිපත් කළත් එම සූත්‍ර වල සඳහන් සඞ්ඝයා වෙන්ව කර්ම කිරීම, වෙන්ව පාමොක් උදෙසීම ආදී කොටස් එහිමියන්ම නොසැලකීම නිසා එහිමියන්ම සඞ්ඝභෙදය ගැන විස්තර කරන්නේ විකෘති ආකාරයකට. එහිදී බුදුරජාණන් වහන්සේ මෙපමණකින් සඞ්ඝභෙදය වේ යැයි යම් යම් කරුණු පවසා තිබියදී මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් බුදුරජාණන් වහන්සේ පවසන ලද අර්ථය විකෘති වන ලෙස සඞ්ඝභෙදය ගැන විස්තර කරන්නේ ඊට වඩා අඩු කාරණාවන් ප්‍රමානයක් පූර්ණ වූ විට සඞ්ඝභෙදය සිදුවන්නේ යැයි යන අර්ථයෙන්.

බුදුරජාණන් වහන්සේ සඞ්ඝයා හට විනය පනවා ඇත්තේ ඔවුන් අතර එකමුතු බව පවතින ආකාරයට. සඞ්ඝභෙදය සිදු වීමට නම් සඞ්ඝයාම ඒ විනය කඩ කරන්න වෙනවා. එසේ කිරීම භික්ෂුනීන් වහන්සේ නමකටවත්, සික්ඛමානාවකටවත් (සික්ඛමානා - උපසම්පදා පිණිස හික්මෙන සාමණේරීය ලෙස සිංහලෙන් විස්තර වී ඇති බව පෙනෙනවා), සාමණේර නමකටවත්, සාමණේරී නමකටවත්, උපාසකයෙකුටවත්, උපාසිකාවකටවත් කරන්න බැහැ. භික්ෂූවක් යැයි ප්‍රකාශිත වූ, සමාන සංවාසක වූ, සමාන සීමාවේ වූ අයෙකුට සඞ්ඝභෙදය කරන්න පුළුවන්.

භික්ෂුනීන් වහන්සේ නමකට, සික්ඛමානාවකට, සාමණේර නමකට, සාමණේරී නමකට, උපාසකයෙකුට හෝ උපාසිකාවකට කළ හැක්කේ සඞ්ඝභෙදයට තැත් කිරීම පමණයි. සඞ්ඝභෙදය පිණිස නොයෙක් ආකාරයේ වස්තු බීජ ඇතිකිරීම, සඞ්ඝභෙදය පිණිස නොයෙක් ආකාරයෙන් රුකුල් දීම යන දේ ඔවුන්ට කරන්න පුළුවන් උවත් සඞ්ඝභෙදය කිරීමට ඔවුන්ට බැහැ.

එපමණක් නොවෙයි. සඞ්ඝභෙදය සිදු උනා යැයි සැලකෙන්න අඩු තරමින් ධර්මවාදීන් හතර දෙනෙකුත්, අධර්මවාදීන් හතර දෙනෙකුත්, "මේ ධර්මයයි, මේ විනයයි, මේ ශාස්තෘශාසනයයි, මෙය ගන්න, මෙයට කැමති වන්න" ලෙසින් පවසන නව වැන්නෙකුත් සිටින්න ඕනෑ. මෙලෙස නව දෙනෙක් හෝ ඊට වැඩි සඞ්ඝ පිරිසක් උවමනායි සඞ්ඝභෙදය සිදු උනා යැයි සැලකෙන්න.

එපමණකුත් නොවෙයි. පිරිස වශයෙන් අඩු තරමින් ඉහත පරිදි නව දෙනෙක්වත් ඉදලා ඔවුන් අතර ඇති බෙදීම මෙපමණ වූ විට සඞ්ඝභෙදය වේ යැයි බුදුරජාණන් වහන්සේ පවසා ඇති පරිදි වන ලෙස බෙදීම සිදු උනාම තමයි සඞ්ඝභෙදය සිදු උනා යැයි සැලකෙන්නේ. සඞ්ඝභෙදය මෙපමණකින් වේ යැයි බුදුරජාණන් වහන්සේ පවසා ඇති සඞ්ඝයා අතර ඇති වන බෙදීමේ ප්‍රමාණය ගැන කරුණු හා අතිරේක කරුණු විනය පිටකයේ චුල්ලවග්ග පාළියේ සඞ්ඝභෙදක ඛන්ධයේ දීර්ඝ ලෙසින් විස්තර වෙනවා. මෙම ලිපියේ විස්තර කෙරුනු යම් යම් කාරණාවන් සඞ්ඝභෙදක ඛන්ධයේ 321 පිටුවේ සාරාංශව තිබෙනවා.