අන් අයගේ ගුණ දොස් කීම පුණ්‍ය ක්‍රියාවක්ද, පාප ක්‍රියාවක්ද, නොකියා සිටීම උතුම්ද?

මෑතකදී අසන ලද දහම් දේශනාවකදී දේශක භික්ෂූන් වහන්සේ "ඒකයි මං කියන්නේ කිසීම කෙනෙක් කිසී කෙනෙකුට කිසීම දෙයක් කියන්න යන්න හොදත් නැහැ, මොකුත් ඕන්නෑ, නිකාන් තියෙන කට ඔහෙ අපි සකස් කර ගන්න ඕනැ." යැයි පවසනවා අසන්න ලැබුනා. එම භික්ෂූන් වහන්සේ එසේ පැවසුවේ ගෞතම බුදු සසුනේ පැවිදිව සිව්පිළිසිඹියා සහිත රහත් භික්ෂූණින් වහන්සේ නමක් වූ අම්බපාලී ගණිකාව විසින් පෙර භවයක සිඛී බුදුරජානන් වහන්සේගේ කාලයේ රහත් මෙහෙණකට "වෛශ්‍යාවක මෙන් අනාචාර ඇති වැ බුදුසසුන දූෂණය කරන්නී" යැයි අක්‍රෝශ කර එම පාපය නිසා නිරයට ගොස් බොහෝ දුක් විඳීම සහ ඉපදුණු ජාති දස දහසක් ගණිකාවකම වීම ගැන කීමෙන් පසුවයි. එම අම්බපාලී කථා පුවත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ අපදාන පාළියේ ථෙරීඅපදානයේ ඛත්‌තියා වග්ගයේ අම්බපාලී අපදානයේ දැකිය හැකියි.

අන් අයගේ ගුණ දොස් කීම අයහපත් දෙයක්ද?

දේශක භික්ෂූන් වහන්සේ විසින් "කිසීම කෙනෙක් කිසී කෙනෙකුට කිසීම දෙයක් කියන්න යන්න හොදත් නැහැ..." ආදී ලෙස කීම එහිමියන් විසින් තමන් දරන මතය නිවැරදි පද වලින් කීමක් නොවෙයි. "කිසීම කෙනෙක් කිසී කෙනෙකුට කිසීම දෙයක් කියන්න යන්න හොදත් නැහැ..." යැයි කීවාම හැමෝම ගොළුවන් සේ සිටිය යුතුය යන අර්ථයයි ඇති වන්නේ. මෙම ලිපියේ මාතෘකාවට එම කරුණ අදාළ නැති උවත් දහම් දෙසීමේදී මනා වචන භාවිතයක් නැති උවොත් සිදුවන අර්ථ විකෘතිය පිළිබඳව දැන සිටීම ප්‍රයෝජනවත් නිසයි ඒ ගැනත් මෙසේ සඳහන් කළේ. භික්ෂූන් වහන්සේ එම පද වලින් අදහස් කළේ "ඒකයි මං කියන්නේ කිසීම කෙනෙක් කිසී කෙනෙකුට ගුණ හෝ දොස් කියන්න යන්න හොදත් නැහැ, මොකුත් ඕන්නෑ, නිකාන් තියෙන කට ඔහෙ අපි සකස් කර ගන්න ඕනැ." යැයි සළකමු. සමහර විට භික්ෂූන් වහන්සේ දොස් කීම ගැන විතරක් හිතුවා වෙන්නත් පුළුවන්.

දේශක භික්ෂූන් වහන්සේ පවසන ලදැයි සලකන ලද අර්ථයට අනුරූපව "අන් අය කරන කියන දේවල් හරි වේවා, වැරදි වේවා, ඒ ගැන කුමටද ගුණ කීමක් හෝ දොස් කීමක් කරන්නේ, ගුණ කීම හෝ දොස් කීම නොකර සිටීම වඩාත් නිවැරදි, සුදුසු සහ යහපත් ආකාරය වේ" යැයි යම් අයෙකුට හිතෙන්න පුළුවන්. යම් අයෙක් එවන් කාරණාවන්හිදී උපේක්ෂා සහගතව, මධ්‍යස්තව සිටීම සුන්දර යැයි සලකා එසේ සිතන්න පුළුවන්.

නමුත් බුදුරජානන් වහන්සේ අන්‍ය පරිද්දෙකින් එම කාරණය ගැන විස්තර කොට තිබෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ චතුක්ක නිපාතයේ දුතිය පණ්ණාසකයේ අසුර වග්ගයේ පොතලිය සූත්‍රයේ මෙසේ සඳහන්:

පොතලිය, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලොකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:

පොතලිය, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් යුක්තප්‍රාප්ත කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අවර්‍ණය කියන්නේ වේ. යුක්තප්‍රාප්ත කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්‍ණය නො කියන්නේ වෙයි.

පොතලිය, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ වර්‍ණය කියන්නේ වේ. නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අයුණු නො කියන්නේ වෙයි.

පොතලිය, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අයුණු, නො කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්‍ණය නො කියන්නේත් වෙයි.

පෝතලිය, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අයුණු කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්‍ණය කියන්නේ වෙයි.

පෝතලිය, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.

පොතලිය, මේ සතර පුද්ගලයන් අතුරින් යම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ අවර්‍ණය කියන්නේ වේ ද, නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ සත්‍ය වූ වර්‍ණය කියන්නේ වේ ද, මෙ තෙම මේ සතර පුඟුලන් අතුරින් කල්‍යාණතර ද උත්තමතර ද වෙයි. ඒ කවර හෙයින යත්: පොතලිය, ඒ ඒ කරුණෙහි කල් දන්නා බවෙක් ඇද්ද, තෙල කල්‍යාණතර වෙයි.

බුදුරජානන් වහන්සේගේ එම පැහැදිලි කීරීමට පෙර අන්‍යන්ගේ ගුණ හෝ දොස් නොකියා සිටීම වඩාත් සුදුසු යැයි සිතූ පොතලිය පිරිවැජි දහම් අසා තම මතය වෙනස් කරගන්නා අයුරු එම සූත්‍රයේ විස්තර වෙනවා.

අන්‍ය පුද්ගලයින්ගේ ගුණ කීම බොහෝ පව් සිදුවන ක්‍රියාවක් විය හැකියි, අන්‍ය පුද්ගලයින්ගේ නුගුණ කීමත් බොහෝ පව් සිදුවන ක්‍රියාවක් විය හැකියි, අන්‍ය පුද්ගලයින්ගේ ගුණ කීම බොහෝ පින් සිදුවන ක්‍රියාවක් විය හැකියි, අන්‍ය පුද්ගලයින්ගේ නුගුණ කීමත් බොහෝ පින් සිදුවන ක්‍රියාවක් විය හැකියි. එම නිසා අන්‍ය පුද්ගලයින්ගේ ගුණ කීමකදී හෝ නුගුණ කීමකදී හුදෙක් එම ක්‍රියාව පමණක් සලකා එය යහපත් හෝ අයහපත් යැයි කියන්න බැහැ.

මිනිසුන් බොහෝ විට ගුණ කීමෙන් සතුටු වෙනවා, නුගුණ කීමෙන් නොසතුටු වෙනවා. ඒ නිසා ගුණ කීම යහපත්ය, නුගුණ කීම අයහපත්ය යන මතය බොහෝ දෙනෙක් දරනවා. නමුත් ගුණ කීම බොහෝ පව් සිදුවන අයහපත් ක්‍රියාවක් වෙන්නත්, නුගුණ කීම බොහෝ පින් සිදුවන යහපත් ක්‍රියාවක් වෙන්නත් පුළුවන්.

අන්‍ය පුද්ගලයින්ගේ ගුණ කීමෙන් බොහෝ පව් සිදුවීම, නුගුණ කීමෙන් බොහෝ පව් සිදුවීම, ගුණ කීමෙන් බොහෝ පින් සිදුවීම සහ නුගුණ කීමෙන් බොහෝ පින් සිදුවීම ගැන බුදුරජානන් වහන්සේගේ දේශනාවක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ චතුක්ක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ භණ්‌ඩගාම වග්ගයේ පඨමඛත සූත්‍රයේ දැකිය හැකියි.

සබැඳිය: