වලස්මුල්ලේ අභය හිමි ත්‍රිපිටකයේ නැතැයි කී 'සබ්බං දුක්ඛං'

"අනාත්ම යනු මිත්‍යා දෘෂ්ටියක් බව (20-11-2016)|(Season 08)9/30" යන මාතෘකා ඇති ඉහත වීඩියෝවේ විනාඩි 18යි තත්පර 15න් පමණ ඉදිරියට ආසන්නයේ වලස්මුල්ලේ අභය හිමි මෙසේ පවසනවා දැකිය හැකියී:

දුක්ඛ කියන්නේ මොන අර්ථයෙන්ද කියලා බලමු.

සියලු සඞ්ඛාරයෝ දුඃඛයෝ ය. ත්‍රිපිටකේ කොහෙ හරි දැකලා තියෙනවද සබ්බං දුක්ඛං කියලා සූත්‍රයක්? සබ්බං දුක්ඛං. දැකලා තියනවද කොහෙ හරි? තියෙනව නං හොයා ගෙන එන්න. එහෙම එකක් මේ වෙනකං නං දැක්කෙ නෑ. සබ්බ සඞ්ඛාර දුක්ඛයි. සබ්බං දුක්ඛං කිව්වෙ නෑ. සබ්බං අනිච්චං කියලා තියෙනවා. මේක හොඳට තෝර ගන්න ඕන. සබ්බං දුක්ඛං කිව්වොත් එහෙම වැඩේ පරස්පරයි. ඇයි? පංචස්කන්ධයේ තියෙනව වේදනා තියෙනවා සැප, දුක්, උපේක්ෂා. පංචස්කන්ධය සැප, දුක්, උපේක්ෂා කියලා වේදනා තුනක් තියෙනවා, පංචස්කන්ධය සැප වේදනා තියෙනවා. උපාදානස්කන්ධය දුක්ඛක්ඛන්ධස්සය කිව්වා. පංචස්කන්ධය සැප, දුක්, උපේක්ෂා තියෙන නිසා සබ්බං දුක්ඛං කියලා කොහෙවත් කියලා නෑ. මට නං හම්බෙලා නෑ මේ වෙනකං. හම්බුනොත් ඇවිල්ලා කියන්න. සබ්බේ සඞ්ඛාරා දුක්ඛාති කියලා තියෙනවා. යමක් සඞ්ඛාර කර ගත්ගොත් ඒක දුකයි. ඒක හරි. සඞ්ඛාර කර ගන්නේ මොකෙන්ද? රාග, ද්වේෂ, මෝහයන්ගෙං. මෙන්න මේ රාග, ද්වේෂ, මෝහයන්ගෙං සඞ්ඛාර කර ගත්තොත් මෙන්න මේ අභිසඞ්ඛාර හරහා කරන සඞ්ඛාරයෙන් හටගන්න[?] ඒක ආශ්වාදය දුකක්. ...

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතනවග්ගයේ සබ්‌බානිච්‌චවග්ගයේ දුක්ඛ සූත්‍රයේ "සබ්බං භික්ඛවේ දුක්ඛං. කිඤ්ච භික්ඛවෙ සබ්බං දුක්ඛං: චක්ඛුං භික්ඛවෙ දුක්ඛං,..." ලෙස වලස්මුල්ලේ අභය හිමි නැතැයි කී කරුණ පවතිනවා.

"සබ්බං දුක්ඛං" යන්න ත්‍රිපිටකයේ සඳහන් නිසා "අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු විකෘතියකි", "අනාත්ම යනු මිත්‍යා දෘෂ්ටියක්" යැයි වරදවා ගෙන ඉන්නා වලස්මුල්ලේ අභය හිමි පවසා ඇති ඉහත දක්වන ලද කරුණු සමහරක් සත්‍යය සමඟ පරස්පරයි.