නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම

වලස්මුල්ලේ අභය හිමි අනිච්ච සහ අනිච්ඡ පටලවා ගැනීම ගැන විස්තරයක් "වලස්මුල්ලේ අභය හිමි අනිච්ච සහ අනිච්ඡ පටලවා ගැනීම" යන ලිපියේ දැක්වෙනවා. එහිමියන් තමන් නිවැරදිය යන මතයේ සිට තම වැරදි වැටහීම අන් අයට විස්තර කිරීමේදී ත්‍රිපිටක සූත්‍ර ආදිය නොමනා ලෙස භාවිතා කරනවා. පහත දැක්වෙන "අනාත්ම යනු මිත්‍යා දෘෂ්ටියක් බව (20-11-2016)|(Season 08)9/30" යන මාතෘකා ඇති වීඩියෝවේ එබඳු නොමනා විස්තර කිරීම් කිහිපයක්ම දැකිය හැකියි. "වෙනස් නොවන නිත්‍ය දේ ඇති බවට ත්‍රිපිටක සාක්ෂි." යැයි පවසමින් අනිච්ච යන්න අනිත්‍යය ලෙස ගැනීම නොගැළපේ යැයි එහිමියන් ඉදිරිපත් කරන කරුණුද එහිමියන්ගේම වරදවා ගැනීම්.

ඉහත වීඩියෝවේ විනාඩි 30යි තත්පර 16න් පමණ ඉදිරියට ආසන්නයේ වලස්මුල්ලේ අභය හිමි මෙසේ පවසනවා:

ත්‍රිපිටකයේ සූත්‍රයක් තියෙනවා සබ්බං අනිච්චං. සබ්බං අනිච්චං කියන එක සිංහලට පරිවර්තනය කරලා සියල්ල අනිත්‍යයි, සියල්ල ස්ථිර නෑ කියලා.

"වෙනස් නොවන නිත්‍ය දේ ඇති බවට ත්‍රිපිටක සාක්ෂි."

ඒ තියෙන ත්‍රිපිටකයේම තියෙනවා වෙනස් නොවන ඒවා තියෙනවා කියලා.

සංයුත්ත නිකායේ පහේ දෙකේ තථ සූත්‍රය, දෙසීය අසූ හතර වන පිට.

මහණෙනි, මේ සතරක් සත්‍ය ය. මොකක්ද මේ තියෙන්නේ? චතුරාර්ය සත්‍යය, අ, සියල්ල වෙනස් වෙනවා, චතුරාර්ය සත්‍යය වෙනස් වෙන්නෙ නෑ.

සියල්ල වෙනස් වෙනවා, චතුරාර්ය සත්‍යය වෙනස් වෙන්නෙ නෑ. ගැළපෙනවද මෙවා?

ඈ?

ජීවිතං අනියතං, මරණං නියතං. ඔය තියෙන්නේ. ජීවිතය අනියතයි, මරණය? ඉතින් නියත ඒවා තියෙන්නෙ, ස්ථිර ඒවා තියෙන්නෙ, අනිවාර්යයෙන් මැරෙනවා. මැරෙන්නැති කවුරුවත් ඉන්නවාද? සියල්ල අනිත්‍යයි කියන්නෙ, ස්ථිර නෑ කියන්නෙ? දැන් සියල්ල අස්ථිරයි, ස්ථිර නෑ කියන වාක්‍ය කාණ්ඩය ඇතුලේම කියනවා ජීවිතං අනියතං, මරණං නියතං. දෙක දෙපැත්තට පරස්පර දෙකක් ඈත්වෙලා කියනවා. ඇයි මේ? කිව්වෙ කොහොමද? ගිරවා දාලා. ගිරවා දාලා. කොහෙන්ද ඕක අහගත්තේ? ඇයි අපේ ගුරුතුමා කියනවානේ. ගුරුතුමා කියන නිසා අපිත් කිය කියා හිටියා.

එහෙනං මේක විමර්ශනය කර බැලුවාම තේරෙනවා, මේ තියෙන්නේ. මේ සතරක් සත්‍යය නොවෙනස් වන සුලු ය. අන් පරිදි නොවන සුලු ය. කවර සතරෙක ද යත් ඇහුවොත් දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරොධ සත්‍යය, මාර්ග සත්‍යය කියලා විස්තර කරනවා. චතුරාර්ය සත්‍යය වෙනස් වෙන්නෙ නෑ.

ඉතින් විමර්ශන බුද්ධියෙන් ඇස් ඇරලා, අර අපි කියන්නෙ ඇක්ටිව් රීඩිං, ඇක්ටිව් ලිස්නිං, විවෘත්ත බැලුවාම තේරෙනවා, මේ වෙනස් වෙන්නැති ඒවා තියෙනවානෙ.

හැබැයි තව එකක් තියෙනවා ත්‍රිපිටකයේ සියල්ල අනිච්චයි. ඒ කිව්වෙ මොකක්ද? සියල්ල කැමැත්ත ඉෂ්ට කරන්නෑ. පරිවර්තනයෙ තියෙනවා සියල්ල ස්ථිර නෑ. දැං මේ තියෙන්නෙ ස්ථිර ඒවා. තව තියෙනවා පටිච්චසමුප්පාදය වෙනස් වෙනවා ද? වෙනස් කරන්න පුළුවන්ද? ආර්ය අෂ්ඨාංගික මාර්ගය? බෑනෙ ඉතින්. ...

බුදුරජානන් වහන්සේ "සබ්බං අනිච්චං" යැයි පවසා තිබෙන බව සත්‍යයක්. එය ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතන වග්ගයේ සළායතන සංයුත්තයේ සබ්‌බානිච්‌ච වග්ගයේ අනිච්‌ච සූත්‍රයේ දැක්වෙනවා. වලස්මුල්ලේ අභය හිමි ගෙන හැර දක්වන තථ සූත්‍රය ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ මහා වග්ගයේ සච්ච සංයුත්තයේ ධම්‌මචක්‌කප්‌පවත්‌තන වග්ගයේ දකින්න පුළුවන්.

අනිච්ච සූත්‍රයේ දැක්වෙන "සබ්බං අනිච්චං" යන වදන් "සියල්ල අනිත්‍යයි" ලෙස මනාව සිංහලට පරිවර්තනය කොට තිබෙනවා. වෙනස් නොවන නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේ සඳහන් බැවින් "සියල්ල අනිත්‍යයි" ලෙස ගැනීම නොගැළපේ, එබැවින් "සබ්බං අනිච්චං" යන්න "සියල්ල අනිත්‍යයි" ලෙස පරිවර්තනය කිරීම වැරදි යැයි කීම නොමනා කීමක්. එහිදී වලස්මුල්ලේ අභය හිමි පවසා ඇති එබඳු කරුණු නිවැරදි නොවන්නේ බුදුරජානන් වහන්සේ "සියල්ල" යැයි පනවා ඇත්තේ කුමක්ද යන්න වලස්මුල්ලේ අභය හිමි නිවැරදි අර්ථයෙන් භාවිතා නොකිරීම නිසා.

බුදුරජානන් වහන්සේ සියල්ල යැයි පනවා ඇත්තේ කුමක්ද යන්න ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ සළායතන සංයුත්තයේ සබ්බ වග්ගයේ සබ්බ සූත්‍රයේ දැක්වෙනවා. ඒ මෙපරිද්දෙන්:

23. සැවැත්නුවර -

මහණෙනි, තොපට සියල්ල දෙසමි. එය අසව. මහණෙනි, සියල්ල යනු කිම යත්: චක්ෂුස යැ රූපයෝ යැ ශ්‍රොත්‍ර යැ ශබ්දයෝ යැ ඝ්‍රාණ යැ ගන්ධයෝ යැ ජිහ්වා යැ රසයෝ යැ කාය යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ මනස යැ ධර්මයෝ යි. මහණෙනි, මේ සියල්ල යි කියනු ලැබේ.

මහණෙනි, යමෙක් "මම තෙල සියල්ල පිළිකෙව් කොට අන් සියල්ලක් පනවමි" යි මෙසේ කියා නම් ඔහුගේ ඒ වදන් වචන මාත්‍ර මැ වන්නේ යැ. ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය හෙයිනි යි.

බුදුරජානන් වහන්සේ සබ්බ සූත්‍රයේ සියල්ල ලෙස දක්වා ඇත්තේ අනිත්‍ය කාරණාවන්. අනිච්ච සූත්‍රයේ දැක්වෙන "සබ්බං අනිච්චං" යන වදන් "සියල්ල අනිත්‍යයි" ලෙස සිංහලට පරිවර්තනය කර තිබීම මනා පරිවර්තනයක් වන්නේ ඒ නිසා. සියල්ල යන්නෙහි අර්ථය බුදුරජානන් වහන්සේ පවසා ඇති අර්ථයෙන් නොගෙන සියල්ල යැයි කීවාම ත්‍රිපිටකයේම දැක්වෙන වෙනස් නොවන නිත්‍ය දෑද ඊට අඩංගු යැයි ගෙන "සබ්බං අනිච්චං" යන්න "සියල්ල අනිත්‍යයි" ලෙස පරිවර්තනය කිරීම වැරදි යැයි කීම නොමනා කීමක්.

"අනිච්ච දුක්ඛ අනත්ත" යන පාලි වදන් "අනිත්‍ය දුක්ඛ අනාත්ම" ලෙස සිංහලට පරිවර්තනය කර තිබීම මනා පරිවර්තනයක්. එහි ඇති විකෘතියක් නැහැ. "අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු විකෘතියකි" යැයි දැක්වීම සහ "අනාත්ම යනු මිත්‍යා දෘෂ්ටියක්" යැයි දැක්වීම වලස්මුල්ලේ අභය හිමි විසින්ම ඇති කරනා විකෘතීන්.