බුද්ධ ශාසනය ශ්‍රාවකයින් විසින් නොතකා නොසිටිය යුතු විවිධාකාර ගැටලු මතයි වර්තමානයේ පවතින්නේ. භික්ෂූන් වහන්සේලා ඇතුලු නොයෙකුත් පුද්ගලයින් සහ නොයෙකුත් පිරිස් විසින් ධර්මයට සහ විනයට විකෘති අර්ථ සැපයීම, නොයෙකුත් ආකාරයන්ගෙන් භික්ෂූන් වහන්සේලාගේ විනය පිරිහීම, තෙරුවන් පිළිබඳ ප්‍රසාදය නූපදින ආකාරයේ කටයුතුවල ගිහි පැවිදි දෙපාර්ශවයම යොමුව සිටීම හා ඒ හා සබැඳි තවත් ගැටලු වර්තමාන සමාජයේ දකින්න පුළුවන්. මේ ගැටලුවලට පිළියම් මොනවාද? මෙම ලිපියේ අරමුණු වන්නේ එම පිළියම් මොනවා විය යුතු ද යන්න ගැනත්, ඒ පිළිබඳ මම කරගෙන යන කටයුතු පිළිබඳවත්, අන් අයව ද හැකි පමණින් ඊට එක්කාසු කර ගැනීම පිණිසත් සටහන් තැබීමයි. මෙහිදී මාතෘකාවට අදාළ බව සලකා මම කරගෙන යන ව්‍යාපාරික ස්වභාවයේ ක්‍රියාවන් කිහිපයක් පිළිබඳවත් සටහන් තබා තිබෙනවා. එම කරුණු ද ශාසනයේ මනා පැවැත්ම පිළිබඳ සිතන සමහරෙකුට වැදගත් වනු ඇතැයි යනු මගේ අදහසයි.
බුද්ධ ශාසනය වර්තමානයේ මුහුණ දී ඇති ගැටලුවලට ප්‍රධාන පසුබිම් හේතුවක් වී ඇත්තේ සංඝයාගේ සමඟිය දුර්වල වීම. සමඟිය යන්නෙන් මම අදහස් කරන්නේ "ඔබ වහන්සේ ඔබ වහන්සේගේ වැඩේ කරගෙන යන්න, මම වහන්සේ මම වහන්සේගේ වැඩේ කරගෙන යන්නම්, ඒ ආකාරයට අපි දෙන්නාම වාද විවාද කරගන්නේ නැතුව වැඩ කරගෙන යමු." ආකාරයේ ආකල්ප ඇතුව පවතින සමඟියක් ගැන නොවෙයි. සංඝයාගේ සමඟිය සැබැවින්ම පැවතිය යුත්තේ ධර්මය සහ විනය පාදක කරගෙන. භික්ෂූන් වහන්සේලා ධර්මය විනය පිළිගෙන ධර්මයෙන් විනයෙන් සමඟි වූවොත් ශාසනයෙහි ගැටලු ඇති වූවත් ඒවා පහසුවෙන්ම සමනය කර ගැනීමට හැකියාව පවතිනවා.
කොහොමද ධර්මයෙන් විනයෙන් සමඟිය ඇති කර ගන්නේ? මේ සඳහා අවශ්‍ය වන්නේ සාකච්ඡාව. භික්ෂූන් වහන්සේලා ධර්මය සහ විනය සාකච්ඡා කරමින් ඒකත්වයකට පැමිණීම සඳහා රජය විසින් සහ ගිහියන් විසින් ද අනුග්‍රහ දැක්වීම ප්‍රයෝජනවත් වෙනවා. උදාහරණයකට මට මතක් වෙනවා මීට වසර කිහිපයකට පෙර ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පතක් පිළිබඳ භික්ෂූන් වහන්සේලා රාජ්‍ය අනුග්‍රහය ද සහිතව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට රැස්ව සාකච්ඡා කිරීම. එහිදී රැස්ව සිටි සියලුම භික්ෂූන් වහන්සේලා එකම මතයකට පැමිණියේ නැති මුත් ඒ සිදුවූ සාකච්ඡාව ඉතාම වටිනවා. අන්න ඒ ස්වභාවයේ සාකච්ඡා තව දුරටත් සිදුවිම වටිනවා. අපි ධර්ම සංගායනා ලෙස හඳුනාගන්නේ අන්න ඒ ආකාරයේ සාකච්ඡා වඩාත් ක්‍රමවත්ව සහ වඩාත් පිළිගන්නා ආකාරයෙන් සිදුවීම.
වඩාත් විධිමත් ආකාරයෙන් පැවැත්වෙන ධර්ම සංගායනාවක් වේවා, ඊට මෙහා සාකච්ඡා කිරීම් වේවා, ඒ සඳහා රජයේ අනුග්‍රහය ලැබෙනවා නම් ඉතාම වටිනවා.
ධර්ම සංගායනාවට පසුබිම් සැකසීම පිණිස පුද්ගලිකව මම www.sangayana.org යන නමින් වෙබ් අඩවියක් ටික කලකට පෙර ආරම්භ කළා. විශේෂයෙන්ම එහි ඇති සාකච්ඡා මණ්ඩපය වෙත පිවිස ධර්මය විනය සාකච්ඡා කරන මෙන් ගිහි පැවිදි දෙපාර්ෂවයෙන්ම මම අයැද සිටිනවා.
ශාසනය මුහුණ දී ඇති යම් යම් ගැටලුවලට පිළියමක් ලෙස සංඝාධිකරණයක් පිහිටුවීම සහ ඊට අදාළ නීති සම්මත කරගැනීමේ උත්සාහයක් පිළිබඳ මේ දිනවල සමාජයේ කතාබහක් ඇතිව තිබෙනවා. වැඩි විස්තර නොදැන ඒ පිළිබඳ අදහස් දැක්වීමට හැකියාවක් මට නැහැ. එසේ වුවත් ඒ ආකාරයේ ක්‍රියා ඉතාම පරිස්සම් සහගතවයි කිරීම සුදුසු. බුදුරජානන් වහන්සේ දේශනා කර ඇති ධර්මය විනය පරිපූර්ණයි. එහි අහවල් දෙය අඩුය, ඒ අඩුපාඩුව භික්ෂූන් විසින් හෝ ගිහියන් විසින් පූර්ණය කළ යුතුය ලෙස කියන්න දෙයක් ඇත්තේ නැහැ. ශාසනය අරභයා රාජ්‍ය පාලනයට අදාළ දෙයක් ධර්මයට විනයට අනූකූල වන පරිදි නීතියක් ලෙස සම්මත කර ගැනීමේ වරදක් මම දකින්නේ නැහැ. හැබැයි ශාසනයේ පවතින දේවල් නව නීති මගින් යටපත් වන ආකාරයේ කටයුතු සිදුවීම සුදුසු නැහැ. උදාහරණයකට ගතහොත් සංඝාධිකරණයක් පිහිටුවීම යන්නෙන් කියැවෙන්නේ කුමක් ද? ඒ පිළිබඳ මට කුකුස් පවතිනවා. ශාසනය තුළ අධිකරණ කටයුතු සිදුවිය යුතු ආකාරය ගැන බුදුරජානන් වහන්සේ දේශනා කොට තිබෙනවා. ත්‍රිපිටකයේ විනය පිටකයේ ඒ පිළිබඳ බොහෝ විස්තර පවතිනවා. ඒ අධිකරණ ක්‍රියාත්මක කිරීම සංඝයාට අයිති කටයුත්තක්. ගිහියන් ඊට ඇඟිලි ගහන්න යෑම සුදුසු ක්‍රියාවක් නොවෙයි. භික්ෂූන් වහන්සේලා ද ශාසනය තුළ තමන් කළ යුතු අධිකරණ කටයුතු සිදු නොකොට රටේ නීතියෙන් නව සංඝාධිකරණ පිහිටුවා භික්ෂූන් වහන්සේලාට දඬුවම් ලබා දෙන්න උත්සාහ ගැනීම සිදු නොවිය යුතු දෙයක්. එය ශාසන අනුලෝම ක්‍රියාවක් නොවෙයි.
ශාසනය තුළ පවත්නා අධිකරණ පිළිබඳ කෙටි විස්තර කිරීමක් ගෞරවනීය වටගොඩ මග්ගවිහාරි හිමි විසින් සිදුකරන අයුරු පහත දැක්වෙන වීඩියෝවේ අන්තර්ගතව තිබෙනවා:
හැබැයි ශාසනයේ මනා පැවැත්ම උදෙසා රාජ්‍ය කෙසේ පැවතිය යුතු ද යන්න විමසා බලා ඊට අදාළ නීති සම්මත කරගෙන ක්‍රියාත්මක කිරීම ඉතාම සුදුසු ක්‍රියාවක් ලෙසයි මම දකින්නේ. දිගු කාලීනව එවන් නීති පැවැත්මේ ප්‍රයෝජනයක් මම දකිනවා.
බුද්ධ ශාසනයේ මනා පැවැත්ම උදෙසා රාජ්‍ය අනුග්‍රහය මෙන්ම ගිහියන්ගේ අනුග්‍රහය ඉතාම වටිනවා. මේ හේතුව නිසා යහපත් රාජ්‍ය පාලනයක් පැවතීම සහ රටේත්, රටවැසියන්ගේත් සශ්‍රීකත්වය බුද්ධ ශාසනයේ මනා පැවැත්මට තුඩු දෙන ප්‍රභල සාධක ලෙස දකින්න පුළුවන්. මේ නිසා බුද්ධ ශ්‍රාවකයින් ලෙස ඒ ගැන නොතකා සිටීම සුදුසු නැහැ. ඒ පිළිබඳ කටයුතු කිරීම සඳහා මම www.lankagov.org යන ලිපිනය ඇතිව නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එයට ද හැකි පමණින් එක්වන මෙන් සියලු දෙනාගෙන් මම අයැද සිටිනවා.
Lanka Gov වෙබ් අඩවියේ බුද්ධ ශාසනයට අදාළ යම් ක්‍රියාවක් ගැනත් මේ වන විට සඳහන් වෙනවා. ඒ විශ්වවිද්‍යාලවල රැකියා කරන භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නතර කරන ලෙස මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීමට අදාළ විස්තරයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ ඉල්ලීම පිළිබඳව ධනාත්මකව කටයුතු නොකරයි නම් තව මාස කිහිපයකින් ගරු අභියාචනාධිකරණයේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ස්ථාවරය අභියෝගයට ලක් කිරිමට මම තීරණය කර තිබෙනවා.
ලංකාවේ රාජ්‍ය පාලනය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ලෙස පාලන බලය බෙදුනු රාජ්‍ය ව්‍යුහ තුනක් හරහායි ක්‍රියාත්මක වන්නේ. බුද්ධ ශාසනයේ මනා පැවැත්මට යහපත් රාජ්‍ය පාලනයක් පැවැත්ම වැදගත් වන හෙයින් මේ කියන ලද ව්‍යුහ තුනම නිසි ලෙස පැවැත්ම අවශ්‍යයි.
පසුගිය වසර දෙකකට අධික කාලයක් තිස්සේ මම රටේ අධිකරණ පද්ධතිය පිළිබඳ ප්‍රායෝගික තලයේ අධ්‍යයනයක් සහ ඇගැයීමක් සිදුකලා. මගේ අදහස රටේ අධිකරණ පද්ධතිය සෑහෙන පමණ වෙනස් විය යුතු බවයි. මිනිසුන් අධිකරණවලට පැමිණ බොරු කීයා සහන පැතීම මහා පරිමාණ ගැටලුවක්. නීතිඥවරුනුත් කිසිදු ලැජ්ජාවක් නැතුව බොරු කියා අධිකරණ නොමඟ යැවීම ඉතාම සුළඹ ක්‍රියාවක්. නඩු විනිශ්චය කිරීමට අදාළව ගරු විනිසුරු තුමන්ලාගේ කුසලතාවයත් වැඩි දියුණු විය යුතු බවයි මගේ අදහස. ගරු අභියාචනාධිකරණය සහ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හැරෙන්නට අන් අධිකරණවල රාජකාරි කරන කාර්ය මණ්ඩලවලට ඇති පහසුකම්ද බොහෝම අල්පයි. බහුළ ලෙස නඩු ගොඩ ගැසී ඇති බැවින් කාර්ය මණ්ඩලවල බොහෝ දෙනා බෙහෙවින්ම වෙහෙසට පත්ව කටයුතු කරන බවයි පෙනෙන්නට ඇත්තේ. නඩු කියන පාර්ෂවත් බෙහෙවින්ම වෙහෙසට පත්වෙනවා නඩු කල්යෑම් සහ අධිකරණ පද්ධතියේ ඇති වෙනත් කල් ගත වීම් නිසා. සමහර කාර්ය පටිපාටියට අදාළ නීති ද නඩු විභාග වීම කාර්යක්ෂම වීම සඳහා සංශෝධනය විය යුතු බවයි මගේ අදහස.
රටවැසියාගේ නීති අවබෝධය වැඩි දියුණු කිරීමේ සහ රටේ අධිකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ අදහසින් මම www.adhikarana.org යන ස්ථානයේ නව වෙබ් අඩවියක් ආරම්භ කොට තිබෙනවා. මේ අවස්ථාවේ එම වෙබ් අඩවියේ ඇති අන්තර්ගතයක් නැති තරම්. එහෙත් ඔබට ඒ සමඟ එක්වීමටත් මා වෙත ඔබගේ අදහස් දැන්වීමටත් හැකියාව පවතිනවා.
ඔය ආකාරයට බුද්ධ ශාසනයේ මනා පැවැත්මට හේතු වන සාධක එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය විමසා බැලීමේදී මට නම් පේන්නේ බුද්ධ ශාසනයේ මනා පැවැත්ම හුදු භික්ෂූන් වහන්සේලාට හෝ ශාසනයට පමණක් සීමා නොවන බව. එයට සමාජයේ සම්පූර්ණ ක්‍රියාකාරිත්වයම අදාළ වන බවයි පෙනෙන්න තියෙන්නේ.
පුද්ගලිකව ව්‍යාපාරික කටයුතු ලෙස මම කිරීමට යොමුව ඇති ලිපියේ මාතෘකාවට ද අදාළ යැයි මම හිතන කටයුතු දෙකක් පිළිබඳවත් මම මේ අවස්ථාවේ සටහන් තබන්න කැමතියි.
කාලයක් තිස්සේ මම සිතමින් සිට තිබෙනවා පාසැල් දරුවන්ව සහ ඔවුන්ගේ දෙමාපියන්ව මොන අකාරයට ධර්මයට නැඹුරු කරන්න හැකි ද යන වග. ධර්මය "ගිරවා දාන ආකාරයට" ඉගෙන ගෙන විභාග සමත් වූවත් මට වුවත් පාසැල් දිවියේදී ප්‍රායෝගික සහ ප්‍රමාණවත් දහම් දැනුමක් ලැබී නැහැ. මීට එක් විසඳුමක් ලෙස www.teacher.lk වෙබ් අඩවිය හරහා විශේෂයෙන්ම පාසැල් දරුවන්ට උපකාරක අධ්‍යාපන සේවා සපයන ගමන් ඔවුන්ගේත්, ගුරුවරුන්ගේත්, දෙමාපියන්ගේත් ධර්මාවබෝධය වැඩි කිරීමට කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මෙය ව්‍යාපාරික ස්වරූපයකින් කෙරුනත් එය ද බුද්ධ ශාසනයේ මනා පැවැත්මට රුකුලක් වනු ඇතැයි යනු මගේ අදහසයි.
මම ජීවත් වන්නේ කුරුණෑගල සහ මහනුවර අතර ඇති මාවතගම ප්‍රදේශයේ. බුදු සසුනේ චිරස්ථිතිය ගැන කටයුතු කිරීමට මා තුළ ඇති වූ නැඹුරුව හේතුවෙන් පසු කාලීනව රාජ්‍ය පාලනය පිළිබඳ මට ඇති උනන්දුව මත මගේ සිතට ආ තවත් අදහසක් වන්නේ ප්‍රාදේශීය පාලනය කෙසේ විය යුතු ද යන්න. මේ නිසා මේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කරන්න උත්සාහ ගත යුතු යැයි අදහසක් මා තුළ ඇතිව තිබෙනවා. එක් අතකට එය අන් ප්‍රදේශවල ජනතාවගේ ද ජීවන තත්වය උසස් කිරීමට උපකාරී විය හැකි ඉගෙනීමක් වන්නත් පුළුවන්. තොරතුරු තාක්ෂණය පිළිබඳ මම යම් කුසලතාවයක් දක්වන නිසා මේ කාර්යයට ද මම www.mawathagama.com යන නමින් නව වෙබ් අඩවියක් ලියාපදිංචි කළා. එම වෙබ් අඩවියේද මේ වන විට ඇති අන්තර්ගතයක් නැති තරම්. ඔබ මාවතගම ප්‍රදේශයේ ජීවත්වන අයෙකු නම් ඒ සමඟ ඔබට එක්වන්න හැකියි. සෘජුවම ප්‍රාදේශීය ආර්ථිකය ද ඉලක්ක කෙරෙන බැවින් මෙය ද ව්‍යාපාරික ස්වරූපයක් ඇතිව ක්‍රියාත්ම කෙරුමටයි මම බලාපොරොත්තු වන්නේ. එසේ වුවත් මෙයින් ද මම බලාපොරොත්තු වන්නේ බුදු සසුනේ උණුසුමෙන් පෝෂිත මිනිසුන් පිරිසක් බිහිකරලීම. ඒ නිසා ඒ නැඹුරුව තිබෙන පරිදි එම කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.
සාරාංශ වශයෙන් ගතහොත් බුද්ධ ශාසනයට වර්තමානයේ මුහුණ දීමට සිදුව ඇති ගැටලුවලට සාර්ථක විසඳුමක් අවශ්‍ය වේ නම් එය සංඝ සමඟිය ඇති කර ගැනීමෙන් ලබනවා මිස වෙන ක්‍රමයකින් එය ලඟා කර ගන්න බැහැ. ඒ සඳහා විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලා ධර්මය විනය සාකච්ඡා කිරීම අවශ්‍ය වෙනවා. ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා නම් ඉතාම අගෙයි. අතිරේක වශයෙන් බුද්ධ ශාසනයේ මනා පැවැත්ම රාජ්‍ය පාලනය සහ රටවැසියාගේ ආධ්‍යාත්මික සහ භෞතික සශ්‍රීකත්වය මත ද රඳා පවතිනවා. ඒ නිසා ශාසනය රැක ගැනීමට මහා පරිමාණ සමාජ පරිවර්තනයකුත් අවශ්‍යයි. ඊට ඔබෙත්, මගේත්, අන් අයගේත් එකමුතු උත්සාහය අවශ්‍යයි.
අද වන් වූ වෙසක් පුන් පොහෝ දිනක උපත ලද, අද වන් වූ වෙසක් පුන් පොහෝ දිනක සියලු කෙලසුන්ගෙන් මිදුණු, අද වන් වූ වෙසක් පුන් පොහෝ දිනක සියලු දුක් නිමා කළ ඒ අසිරිමත් ශාස්තෲන් වහන්සේගේ අමා දම් පහසින් ඔබ සිත් නිවේවා!
ගෞතම බුදු සසුන ලොව බොහෝ කල් පවතීවා!