බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ පටිසම්භිදාමග්ගප්පකරණයේ විපස්සනා කථාවේ සඳහන් "අසාරකතොති අනත්තානුපස්සනා" යන්න "අසාරකතොති අනිච්චානුපස්සනා" ලෙස සැලකිය යුත්තේ ඇයි?

පංචස්කන්ධය විපස්සනා කෙරෙන ආකාර හතළිහක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ පඤ්ඤාවග්ගයේ විපස්සනා කථා යටතේ විස්තර වෙනවා. මෙම ලිපියෙන් විස්තර කෙරෙන්නේ එම ආකාර හතළිහ ගැන සඳහන් බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ පටිසම්භිදාමග්ගප්පකරණ II ග්‍රන්ථයේ 236 පිටුවේ පාලි බසින් දැකිය හැකි "අසාරකතොති අනත්තානුපස්සනා" යන්න "අසාරකතොති අනිච්චානුපස්සනා" ලෙස සැලකිය යුතු බව සහ ඊට අදාළ සිංහල පරිවර්තනය ද අනුරූපව "අසාරකතෝ යනු: අනිත්‍යානුදර්ශනා යැ." ලෙසින් සැලකිය යුතු බව.

"අසාරකතොති අනත්තානුපස්සනා" ලෙස බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථයේ ලියැවී තිබුනත් සද්ධම්මප්පකාසනී පටිසම්භිදාමග්ගට්ඨකථාවේ පඤ්ඤාවග්ගවණ්ණනාවේ විපස්සනාකථාවණ්ණාව අවසානයට ආසන්නව (523 පිටුව) අසාරකතෝ යන්න අනිච්චානුපස්සනාවට අයත් සේ දක්වා තිබෙනවා.

පංචස්කන්ධය අසාර ලෙස දැකීම අනාත්මානුපස්සනාවක් සේ බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථයේ සඳහන්ව තිබීමටත්, එය අනිච්චානුපස්සනාවක් සේ අර්ථකථාවේ සඳහන්ව තිබීමටත් හේතුව කුමක් විය හැකි ද? එය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථයේ පාලි සහ සිංහල යන භාෂා දෙකෙන්ම සටහන්ව ඇති දෝෂයක් බවයි පෙනෙන්නේ. එය "අසාරකතොති අනිච්චානුපස්සනා" ලෙසින් පැවතුනා නම් එසේ පැවතීම නිවැරදි බව පෙනෙනවා.

එසේ කියන්නේ ඇයි?

එසේ කීමට එක් හේතුවක් ලෙස "අසාරකතොති අනත්තානුපස්සනා" ලෙස ගතහොත් අදාළ විපස්සනා කථාවේම සඳහන් පංචස්කන්ධය අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම ලෙස විපස්සනා කෙරෙන ආකාරයන් ගණන් වශයෙන් නොගැළපෙන බව දක්වන්න පුළුවන්. පංචස්කන්ධයේ ස්කන්ධ පහ වෙන් වෙන්ව සැලකුවහොත් ස්කන්ධයන් විපස්සනා කෙරෙන ආකාර දෙසීයක් විපස්සනා කථාවේ සඳහන්ව පවතිනවා. ඉන් ආකාර පනහක් අනිච්චානුපස්සනාවට අයත් බව විපස්සනා කථාව අවසානයට ආසන්නව සඳහන්ව තිබෙනවා. නමුත් බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථයේ එම විපස්සනා කථාවේ අනිච්චානුපස්සනාවට අයත් ලෙස දක්වා ඇති පද ගණන් කර පහෙන් වැඩි කර බැලුවොත් අනිච්චානුපස්සනාවට අයත් යැයි දැකිය හැක්කේ ආකාර හතළිස් පහයි. එනිසා අර්ථකථා විස්තරය නොබැලුවත් බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථයේ එම විපස්සනා කථාව ඇසුරින් එම ග්‍රන්ථයේම අදාළ ස්ථානයේ යම් වරදක් තිබෙන බව දකින්න පුළුවන්. අර්ථකථාවේ අදාළ බෙදීම නිවැරදි ගණන් ඇතිව දක්වා තිබෙනවා. මේ "අසාරකතොති අනත්තානුපස්සනා" යන්න "අසාරකතොති අනිච්චානුපස්සනා" ලෙසින් පැවතුනා නම් එසේ පැවතීම නිවැරදි යැයි දැක්මට එක් හේතුවක්.

ඊට තවත් හේතුවක් දක්වන්න පුළුවන්. ඒ එම විපස්සනා කථා විස්තරයේම 232-233 පිටුවල මෙසේ සටහන්ව පැවතීම:

පාලියෙන්:

"පඤ්චක්ඛන්ධෙ අසාරකතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො සාරං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති."

සිංහල පරිවර්තනය:

"පඤ්චස්කන්ධය අසාර හෙයින් දක්නේ අනුලොමක්ෂාන්තිය ලබයි, පඤ්චස්කන්ධයාගේ නිරොද සඞ්ඛ්‍යාත නිර්වාණය සාර යැ' යි දක්නේ සම්‍යක්ත්වනියාමයට බස්නේ යැ"

ඉන් පංචස්කන්ධයේ අසාර බව සහ නිර්වාණයේ සාර බව ගැන කියැවෙනවා. පංචස්කන්ධය අසාර ලෙසින් දැකීම අනාත්මානුපස්සනාවට අයත් නම් නිර්වාණය සාර ලෙසින් දකින්න යෑමේදී නිර්වාණය ආත්ම සේ දැකිය යුතු බවට ඉන් විකෘති අර්ථයක් ඇති කරනවා. නිර්වාණය ආත්ම සේ දකින්න බැහැ, නිර්වාණය අනාත්මයි. නිර්වාණය නිත්‍ය සේ දැකීම මනා දැකීමක්. එම අර්ථය ඉහත දක්වන ලද වාක්‍යයේ විකෘති අර්ථයක් ඇති කරන්නේ නැහැ. මේ "අසාරකතොති අනත්තානුපස්සනා" යන්න "අසාරකතොති අනිච්චානුපස්සනා" ලෙසින් පැවතුනා නම් එසේ පැවතීම නිවැරදි යැයි දැක්මට තවත් හේතුවක්.

තවත් කරුණක් සඳහන් කිරීම සුදුසුයි. ඒ පටිසම්භිදාමග්ගප්පකරණයේ යම් යම් තැන්වල දැකිය හැකි "අනත්තා අසාරකට්ඨෙන" යන්න සමඟ "අසාරකතොති අනිච්චානුපස්සනා" යන්න පටලවා නොගත යුතු බව. උදාහරණයකට මහාවග්ගයේ ඤාණකථාවල එන සුතමයඤාණ විස්තරයේ ලක්ඛණතතික නිද්දෙසයේ "අනත්තා අසාරකට්ඨෙන" යන්න යෙදී තිබෙනවා. කෙසෙල් ගසක හරය නොමැති යැයි දැකීම එක් අර්ථයක් ගෙන දෙනවා. හරය නොමැති බැවින් කෙසෙල් ගස දුබලතාවයෙන් පහසුවෙන් බිඳෙන බව දැකීම තවත් අර්ථයක් ගෙන දෙනවා. එම අර්ථ දෙකට අනුරූපී අයුරින් "අනත්තා අසාරකට්ඨෙන" යන්නෙහි සහ "අසාරකතොති අනිච්චානුපස්සනා" යන්නෙහි අර්ථ විමසා බලන්න.

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථයට "අසාරකතොති අනත්තානුපස්සනා" යන්න කවර අයුරකින් ඇතුළු වූවා දැයි කීමට අපහසුයි. ඡට්ඨ සංගායනා ත්‍රිපිටකයේ ද එය (යොමුව) පවතින්නේ බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථයේ පරිදිමයි. එසේ පැවතියත් මෙම ලිපියේ විස්තර කළ පරිදි එය "අසාරකතොති අනිච්චානුපස්සනා" ලෙසින් විය යුතු බව සැලකීම සුදුසුයි.