දික්කුඹුරේ සුභූති සඞ්ඛත, අසඞ්ඛත යන වචනවල අර්ථ වරදවාගෙන ප්‍රලාප දෙසීම

* ඉහත දැක්වෙන වීඩියෝවේ මුල සිට අගට කියැවෙනුයේ ස්වල්ප මාත්‍ර වූ ධර්මය කළවම්ව ඇති අධර්මය කන්දරාවකි.

[ කාලය 1:34:18 ]

මෙන්න මේ හේතු නිසා හටගන්න එකට, කාරණා තුනක් නිසා හටගන්න එකට කියනවා සඞ්ඛත ධාතුව කියලා. ඇයි සඞ්ඛත ධාතුවක් කියලා කියන්නේ? අතින් අල්ලන්ඩ බෑ, ඇහැට පේන්නේ නෑ. ඒ නිසා සඞ්ඛතයි කියනවා. හොඳ ද? සඞ්ඛතයි කියන්නේ සකස්වෙනවා කියන එකයි.

[ කාලය 1:40:45 ]

අපි ඇහැ කියන දැනගැනීම තියෙනවා; සුදුපාටයි කියන දැනගැනීම තියෙනවා; කෝප්පෙ කියන දැනගැනීම තියෙනවා. මේ චේතනා තුන තුන් වතාවකට නෙවෙයි ද දැනගත්තේ? තුං වතාවකටයි දැනගත්තේ. එහෙනං ඇහැ කියලා හිතන තැන අනිත් චේතනා දෙක පහළ වෙලා නෑ. සුදුපාටයි කියලා හිතන තැන අනිත් චේතනා දෙක පහළ වෙලා නෑ. පීරිසිය කියලා දැනගන්න තැන අනිත් චේතනා දෙක පහළ වෙලත් නෑ. චේතනා තුනක් එකතු උනොත් විතරයි සඞ්ඛතයක් තියෙන්නේ. එක විට එක චේතනාවක් නං පහළ වෙන්නේ, එතෙන්ට කියනවා අසඞ්ඛතයි කියලා. සඞ්ඛතයක් නෑ.

[ කාලය 1:42:11 ]

අන්න, උතුම් රහත් මාර්ගයේදී මේ නිරෝධය සාක්ෂාත්(?) වෙලා, එකවිට එක චේතනාවයි පහළ වෙන්නේ කියලා නුවණ හම්බවෙලා, එතනින් පස්සේ ඒ හටගන්න චේතනාවත් හටගෙන නිරුද්ධ වෙන බව දැක්කහම සඞ්ඛතයෙන් නිරෝධ වෙලා යනවා.

--

ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ ධම්මසඞ්ගණිප්පකරණයෙන් (410 වෙනි පිටුව):

[ පාලි භාෂාවෙන් ]

1090. කතමෙ ධම්මා සඞ්ඛතා?

යෙව තෙ ධම්මා සප්පච්චයා, තෙව තෙ ධම්මා සඞ්ඛතා.

1091. කතමෙ ධම්මා අසඞ්ඛතා?

යො එව සො ධම්මො අප්පච්චයො, සො එව සො ධම්මො අසඞ්ඛතො.

[ සිංහල පරිවර්තනය ]

1090. කවර ධර්‍මයෝ සඞ්ඛත වෙති යත්:

ඒ යම් ම ධර්‍ම කෙනෙක් සප්‍රත්‍යයෝ ද, එ ම ධර්‍මයෝ සඞ්ඛතයෝ යි.

1091. කවර ධර්‍මයෝ අසඞ්ඛත වෙති යත්:

ඒ යම් ම ධර්‍මයෙක් අප්‍රත්‍යය වේ ද, එ ම ධර්‍මය අසඞ්ඛත යි.

ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ ධම්මසඞ්ගණිප්පකරණයෙන් (520 වෙනි පිටුව):

[ පාලි භාෂාවෙන් ]

1454. කතමෙ ධම්මා සඞ්ඛතා:

චතූසු භූමිසු කුසලං, අකුසලං, චතූසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාබ්‍යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා සඞ්ඛතා.

1455. කතමෙ ධම්මා අසඞ්ඛතා:

නිබ්බානං, ඉමෙ ධම්මා අසඞ්ඛතා.

[ සිංහල පරිවර්තනය ]

1454. සඞ්ඛතධර්‍මයෝ කවරහ යත්:

සියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය ද, යන මේ ධර්‍මයෝ සඞ්ඛතයෝ යි.

1455. අසඞ්ඛතධර්‍මයෝ කවරහ යත්:

නිර්‍වාණය යි. මේ ධර්‍මයෝ අසඞ්ඛතයෝ යි.