උඩුදුම්බර කාශ්‍යප හිමිගේ නොමනා මාරාන්තික උපවාසය

රටටත්, බුදු දහම සහ රටේ අනෙකුත් ආගම්වලටත්, රටවැසි ජාතීන්ටත් සිදුවිය හැකි අනතුරු සලකා ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකා රජය Millennium Challenge Compact නම් යෝජිත ගිවිසුමකට එළඹීම නොකරන්න යැයි ඉල්ලමින් 2019 වසරේ නොවැම්බර් 5 වන ඊයේ දින උදෑසන උඩුදුම්බර කාශ්‍යප හිමි මාරාන්තික උපවාසයක් ආරම්භ කොට තම ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී යැයි ඊයේ දිනම රාත්‍රියේ එම උපවාසය අවසන් කළා. භික්ෂූන් වහන්සේලා නිරාහාරව කරන මෙබඳු උපවාස බුද්ධ ආඥාවට අනුකූල නැහැ.

ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ දැක්වෙන පරිදි තෙවනපාරාජිකය පනවා ඇත්තේ භික්ෂුවක් තමන්ගේම දිවි තොර කර ගැනීම පිළිබඳ නොවුනත් එසේ කිරීම බුදුරජානන් වහන්සේ ගරහා ඇති බවත්, එය දුකුළා ඇවතක් ලෙස පනවා ඇති බවත් දකින්න පුළුවන්.

තෙවනපාරාජිකයේ මුල්පැණවීමට අදාළ උපුටා ගැනීමක් (158 - 159 පිටු):

[ පාලියෙන් ]

15. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “සච්චං කිර භික්ඛවෙ භික්ඛූ අත්තනාපි අත්තානං ජීවිතා වොරොපෙන්ති. අඤ්ඤමඤ්ඤම්පි ජීවිතා වොරොපෙන්ති. මිගලණ්ඩිකම්පි සමණකුත්තකං උපසඞ්කමිත්වා එවං වදන්ති: සාධු නො ආවුසො ජීවිතා වොරොපෙහි, ඉදං තෙ පත්තචීවරං භවිස්සතී”ති. “සච්චං, භගවා.” විගරහි බුද්ධො භගවා, “අනනුච්ඡවියං භික්ඛවෙ තෙසං භික්ඛූනං අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම තෙ භික්ඛවෙ භික්ඛූ අත්තනාපි අත්තානං ජීවිතා වොරොපෙස්සන්ති, අඤ්ඤමඤ්ඤම්පි ජීවිතා වොරොපෙස්සන්ති, මිගලණ්ඩිකම්පි සමණකුත්තකං උපසඞ්කමිත්වා එවං වක්ඛන්ති: “සාධු නො ආවුසො ජීවිතා වොරොපෙහි, ඉදං තෙ පත්තචීවරං භවිස්සතී”ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය - පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්‍යාථ:–

[ සිංහල පරිවර්තනය ]

15. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ නිදානයෙහි ඒ ප්‍රස්තාවයෙහි බික්සඟන රැස් කරවා භික්ෂූන් විචාළසේක. “සැබෑ ද මහණෙනි, භික්ෂූහු තුමූ ද තමන් දිවියෙන් තොර කෙරෙත්, ඔවුනොවුන් ද දිවියෙන් තොර කෙරෙත්. මහණවෙස් ගත් මිගලණ්ඩිකයා වෙත එළඹ ‘ඇවැත, අප දිවියෙන් තොර කරණු මැනව, මේ පාසිවුරු තට වන්නේය’ යි මෙසේ කියද්ද?' “සැබව භාග්‍යවතුන් වහන්සැ” යි. භාග්‍යවත් බුදුරජානන් වහනසේ ගැරහූ සේක: “මහණෙනි, ඒ භික්ෂූන්ගේ ක්‍රියාව නුසුදුස්සෙක. අනුලොම් නුවූවෙක. නොගැළපෙන්නෙක. නොමහණකමෙක. නොකැපයෙක. නොකටයුත්තෙක. “මහණෙනි, ඒ භික්ෂූහු කෙසේ නම් තුමූ තමනු දු දිවියෙන් තොරකර ගන්නාහු ද, ඔවුනොවුනුදු දිවියෙන් තොරකර ගන්නාහු ද, මහණ වෙස්ගත් මිගලණ්ඩිකයා වෙත එළඹ ‘ඇවැත්නි, අප දිවියෙන් තොර කරණු මැනව. මේ පා සිවුරු තට වන්නේය’ යි මෙසේ කියන්නාහු ද? මහණෙනි, මේ කරුණ නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස ද නො වෙයි. ... මහණෙනි, මේ සික පදය මෙසේ උදෙසවු:–

තෙවන පාරාජිකයට අදාළ විනිශ්චිත කථාවස්තුවලින් උපුටා ගැනුමක් (180 - 181 පිටු):

[ පාලියෙන් ]

26. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අනභිරතියා පීළිතො ගිජ්ඣකූටං පබ්බතං අභිරුහිත්වා පපාතෙ පපතන්තො අඤ්ඤතරං විලීවකාරං ඔත්ථරිත්වා මාරෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. න ච භික්ඛවෙ අත්තානං පාතෙතබ්බං. යො පාතෙය්‍ය, ආපත්ති දුක්කටස්සා”ති. (31)

[ සිංහල පරිවර්තනය ]

26. එසමයෙහි එක්තරා මහණෙක් සස්නෙහි උකටලී බැවින් පෙළුනේ ගිජුකුළුපව්වට නැඟී ප්‍රපාතයෙහි වැටෙන්නේ එක්තරා නලකරුවකු යට කොට මැරී ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. මහණෙනි, ආත්මඝාතනය නො කටයුතුයි, යමෙක් ආත්මඝාතනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. (31)

සමන්තපාසාදිකා විනයට්ඨකථාවේ "න ච භික්ඛවෙ අත්තානං පාතෙතබ්බං" යන වදන් පිළිබඳ කෙරී ඇති විස්තරයෙහි (333 - 334 පිටු) යටත් පිරිසෙයින් ආහාර නොගෙන සිටීමෙන් ද නොමැරිය යුතු බව කියැවෙනවා. බොහෝ කල් පවත්නා මහා ආබාධයක් ඇති විට උපස්ථාන කරන භික්ෂූන් වෙහෙසෙයි නම්, පිළිකුල් කරයි නම්, කවදා නම් ගිලනාගෙන් මිදේ දැයි පෙළෙයි නම් සහ විස්තර කොට ඇති අන් සීමිත අවස්ථාවන් කිහිපයකදී ද ආහාර වැළැක්මේ වරදක් නොමැති බව ද එහි කියැවෙනවා.

සඳහන් කරන ලද විනය කරුණුවලට අනුව යම් යම් ඉල්ලීම් අරභයා මාරාන්තික උපවාසයන්හි යෙදීම භික්ෂූන්වහන්සේලාට නොගැළපෙන, බුදුරජානන් වහන්සේගේ ආඥාචක්‍රය කෙලෙසන ක්‍රියාවක් බව දකින්න පුළුවන්.