හේන්පිටගෙදර ඤාණසීහගේ අන්තරාභව සහ මනෝමය කාය ප්‍රලාප

හේන්පිටගෙදර ඤාණසීහ යනු එක්දහස් නවසීය අසූ එක වසරේ අගෝස්තු මස පළමු වැනි දින අපවත් වී ඇති එකල බෙහෙවින්ම ජනප්‍රිය ව සිට ඇති භික්ෂුවක්. අපවත් වීමට සතියකට මත්තෙන් පටිගත කර ඇති උන්දෑ විසින් කරන ලද දේශනාවක් ඉහත වීඩියෝවේ දැක්වෙනවා. සමහරු උන්දෑ ගැන සඳහන් කරන විට ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, දර්ශන චක්‍රවර්තී, රාජකීය පණ්ඩිත ආදී ගුණ නාම භාවිතා කරත් උන්දෑ බඳු මිසදිටු ගත් අඥාන තැනැත්තෙකුට එබඳු ගුණ නාම භාවිතා කිරීම ලැජ්ජා නැති ක්‍රියාවක්. උන්දෑ ගිලී සිට ඇති මිසදිටු සාගරය කෙබඳු දැයි ඉහත දැක්වෙන උන්දෑගේ අවසාන ගුවන් විදුලි දේශනා පටිගත කිරීමේ කියැවෙන දෑ විමසා බැලීමෙන් වටහා ගන්න පුළුවන්. ප්‍රලාප රැසක් කියැවෙන එම දේශනාවේ අන්තරාභවය සහ මනොමය කයක් පිළිබඳව උන්දෑ දෙසන ප්‍රලාප මදක් පිළිබඳ මෙම ලිපියේ විස්තර වෙනවා.

අන්තරාභවය බුදු දහමේ ප්‍රතික්ෂේපිත කරුණක්. ඒ පිළිබඳ විස්තරයක් ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ කථාවස්තුප්‍රකරණයේ අට්ඨමවග්ගයේ අන්තරාභවකථා යටතේ දැක්වෙනවා. එසේ උවත් අන්තරාභවයක් ඇතැයි මිසදිටු ගත් හේන්පිටගෙදර ඤාණසීහ එය එසේ යැයි කීමට ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ සීලක්ඛන්ධවග්ගයේ ඇති පොට්ඨපාද සූත්‍රය ද උපකාර කර ගැනීමට උත්සුක වන අයුරු ඉහත වීඩියෝවේ අඩංගු දේශනාවේ දැක්වෙනවා.

[ කාලය 29:01 ]

එසේ නම් තණ්හාව විසින් සිතින් අල්ලා ගනු ලැබූ රූපස්කන්ධය විඤ්ඤාණය සමඟ යනවා. ඒ මේ ඕළාරික රූපස්කන්ධය නෙවෙයි. ඒ කියන්නේ මේ අපේ ඇට, සම්, මස්, නහර ස්කන්ධය මෙලොවට ඉතිරිවෙලා ඒක වළලලා දානවා, පුච්චලා දානවා. ඒසේ නම් ඊළඟට ඉතුරුවෙන්නේ මොකක්ද රූපස්කන්ධය? මේ ශරීරයෙන් යට ඉතුරුවෙන නාමස්කන්ධය, ඒ කියන්නේ රූපස්කන්ධය, නාමයක් වශයෙන් දක්වනු ලබන රූපස්කන්ධය.

ඒ කියන්නේ පොට්ඨපාද සූත්‍රයේ වදාළා බුදුරජානන් වහන්සේ "තයො මේ පොට්ඨපාද, අත්තපටිලාභා". "පොට්ඨපාදය, අත්තපටිලාභ තුනක් තියෙනවා.", ශරීර තුනක්. කුමක් ද? "ඕළාරිකො අත්තපටිලාභො කබලීකාරාහාරභක්ඛො". හපා කෑම කාකා පෝෂණය කරන මේ ඕළාරික ශරීරය සහිත ස්කන්ධය, රූපස්කන්ධය. "මනොමයො අත්තපටිලාභො". "රූපී, සබ්බඞ්ගපච්චඞ්ගී, අහීනින්ද්‍රියො". තව රූපයක් තිබෙනවා මනොමයො අත්තපටිලාභො, ඒක මනොමයයි. එය රූපියි, රූපයක් සහිතයි. සබ්බඞ්ගපච්චඞ්ගී, හැම අත් පා ආදී අඟ පසඟක්ම තිබෙනවා. ඒ වගේම අහීනින්ද්‍රියො, සියලුම ඉන්ද්‍රියන්ගෙන් යුක්තයි. ඒ මොකක්ද? මනොමය අත්තපටිලාභය.

ඒ මනොමය අත්තපටිලාභය දැනට අපේ සිරුර ඇතුලෙම තිබෙනවා. ඒක ඉතාම ප්‍රසිද්ධ කරුණක් වශයෙන් දැන් ප්‍රකටයි. ආරෝග්‍යශාලාවල ශල්‍යකර්ම කරන අවස්ථාවලදී වෛද්‍යවරු ලෙඩා සිහි නැතිකරවනවා. ශල්‍යකර්මය කරලා අවසාන වෙලා ලෙඩා සිහි ගැන්වූවාට පස්සේ ලෙඩා කියනවා මගේ අහවල් තැන කැපුවා, අහවල් තැන කැපුවා, අහවල් අහවල් දොස්තර මහත්තුරු මේ මේ තැන් මැහුවා, ඔක්කොම සේරම විස්තර කියනවා. සිහි වෙනකොට අර මනොමය ශරීරය ඕළාරික ශරීරය ඇතුලට කිමිදෙනවා.

එච්චරක් නෙවෙයි තථාගතයන් වහන්සේ බොහෝ තැන්වලට වැඩියේ තමන් වහන්සේගේ මනොමය රූපයෙන් බව පේනවා. ...

බුදුරජානන් වහන්සේ ඕළාරික, මනොමය සහ අරූප ආත්මප්‍රතිලාභ ගැන පවසා ඇති දෑ පොට්ඨපාද සූත්‍රයේ (424 පිටුව) සඳහන්ව තිබෙන බව ඇත්ත. එසේ උවත් පොට්ඨපාද සූත්‍රයම ඉදිරියට කියවාගෙන ගියහොත් හේන්පිටගෙදර ඤාණසීහ පවසා ඇති "ඒ මනොමය අත්තපටිලාභය දැනට අපේ සිරුර ඇතුලෙම තිබෙනවා." යන්න සහ ඒ මත සිට ගොඩනගන අන්තරාභව කතාව අඥාන ප්‍රලාප බව වටහා ගන්න පුළුවන්. ඒ ඕළාරික ආත්මප්‍රතිලාභය පවත්නා කළ ඊට මනොමය හෝ අරූප යැයි ව්‍යවහාර නොකරන බව බුදුරජානන් වහන්සේම විස්තර කර ඇති නිසා. හත්ථිසාරිපුත්ත චිත්ත තෙමේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බුදුරජානන් වහන්සේ ඒ පිළිබඳව කර ඇති විස්තරය පොට්ඨපාද සූත්‍රයේම (430 - 435 පිටු) සඳහන්ව තිබෙනවා.

කිරි කිරි ලෙස ඇති කළ ඊට කිරි කියනවා මිස බටර් යැයි කියන්නේ නැහැ. කිරිවලින් බටර් සෑදූ කළ ඊට බටර් කියනවා මිස කිරි යැයි කියන්නේ නැහැ. ඕළාරික අත්තපටිලාභය තුළ මනොමය අත්තපටිලාභය පවතිනවා යැයි කීම කිරි තුළ බටර් පවතිනවා යැයි කියන්නාක් මෙන් වූ අන්ධබාල ප්‍රකාශයක්.

ඕළාරික අත්තපටිලාභය තුළ මනොමය අත්තපටිලාභය පවතිනවා යැයි හේන්පිටගෙදර ඤාණසීහ කර ඇති ප්‍රකාශය පොට්ඨපාද සූත්‍රය ඇසුරෙන්ම බොරුවක් බව එආකාරයෙන් දකින්න පුළුවන්. එබැවින් ඒ බොරුව මත සිට හේන්පිටගෙදර ඤාණසීහ ගොඩනගන අන්තරාභව කථාව ද පුස්සක්. ධර්මය යැයි ඔවැනි පච දෙසූ අයෙකුට ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, දර්ශන චක්‍රවර්තී, රාජකීය පණ්ඩිත යැයි ව්‍යවහාර කිරීමත් පුස්සක්. වසර හැට දෙකකට මදක් වැඩි වූ පැවිදි දිවියේ මරණාසන්නයට පැමිණත් ඔවැනි මිසදිටු අදහස් දැරුවා නම් හේන්පිටගෙදර ඤාණසීහගේ මහණකමත් පුස්සක්.

සබැඳිය: