* කෝරලයාගම සරණතිස්ස හිමි හට නිවන් දැකපු කෙනාට නැවත උපතක් ඇතැයි ලාමක මිත්‍යාදෘෂ්ටියක් ඉපදීම

* [ 2023 පෙබරවාරි 12 ] විශේෂ සටහන:

මෙම ලිපියේ ලියැවී ඇති කරුණ පිළිබඳ 2023 පෙබරවාරි මස 11 වන දින කෝරලයාගම සරණතිස්ස හිමිගෙන් පෞද්ගලිකව සැකෙවින් විමසීමට අවස්ථාවක් යෙදුනා. එහිදී එහිමියන් පැවසුවේ වීඩියෝවේ පැවසෙන අයුරින් තමන් මිත්‍යාදෘෂ්ටි නොගෙන ඇති බවත් යම් අතපසුවීමකින් එසේ කියවී ඇති බවත්. ඉදිරියේදී එහිමියන් අදාළ කරුණු නිවැරදිව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවක් ද දැන්වූවා.

[ කාලය 19:39 - 23:48 ]

පින්වතුනි, මේ නිවන, මොකක්ද හැබෑවටම මේ නිවන කියලා කියන්නේ? පින්වතුනි, නිවන හරියටම අර්ථකථනය කරන්න මේ ලෝකේ අපිට තේරෙන්නේ නෑ. තේරෙන්නැති හේතුව තමයි මේ ලෝකයේ තියෙන හැම සැපයක්ම ඉක්මවපු අතිශ්‍රේෂ්ඨතර සැපය නිවන් සැපයයි. "නිබ්බානං පරමං සුඛං." නිවන් සැපය පරම සැපය යැයි භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනවා. නිවන් සැපය පරම සැපයක් කියලා දේශනා කළාට ඒක කොහොම සැපයක් ද කියලා දන්නේ නිවන් දැකපු අය. නිවන් දැකපු අය යම් විදිහකට දේශනා කළානං ඒ නිවන මෙන්න මේ වාගේ සැපයි කියලා ඒ කාරණාවෙන් විතරයි අපිට ඒක තේරම්ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට පින්වතුනි කෙනෙකුට හිතෙන්ඩ පුළුහං "ඉතිං නිවන් දැක්ක අය කොහොම ද ඒ කාරණාව විස්තර කරන්නේ? නිවන් දැකපු කෙනා ආයේ උපදින් නැහැනේ." කියලා. ඒ කථාව හරි පින්වතුනි. නිවන් දැක්ක කෙනා ආයේ උපදින් නැහැ. හැබැයි හරි කියලා කීවට නිවන් දැකපු කෙනා ආයෙ උපදින්නේ නැහැ කියලා කියන්නේ මේ කාම ලෝකේ උපදින්නේ නැහැ. එහෙම නැත්තං? මේක ගැඹුරින් විස්තර කරනකොට මේ නිවන් දැකපු කෙනා ආයේ උපදින්නේ නැහැ කියලා කියන්නේ කාම ලෝකේ උපදින්නේ නැහැ කියන එකයි. ගැඹුරින් විස්තර කරනකොට "නිවන් දැක්ක කෙනා ආයේ නැද්ද?" කියන කාරණාව ඇහුවොත් පින්වතුනි අපි හැමෝම කියන්නේ නැහැ කියලානේ. හැබැයි ධර්මයේ සඳහන් කරනවා "නිවන් දැක්ක කෙනා නැවත ලෝකේ නැද්ද?" කියනකොට නැහැ කියලා කිව්වොත් ඒක මිත්‍යාදෘෂ්ටියක් කියලා. එහෙමනං අපට තේරෙන්නේ නිවන් දැකපු කෙනා ඉන්නවා කොහෙ හරි. නැත්තේ කොහෙද? කාම ලෝකේ නෑ. මේ කාරණාව පිංවතුනි හරී සංකීර්ණ කාරණාවක්. මතභේදයට තුඩු දෙන කාරණාවක් බොහෝ දෙනාට. නමුත් පිංවතුනි, ධර්මයේ සදහන් කරන්නෙම මොකක් ද? නිවන් දකින කෙනා, දැක්ක කෙනා නැවත නැහැ කියලා කිව්වොත් මිත්‍යාදෘෂ්ටියක් කියලා. එතකොට මෙච්චර කල් අපි ගාවා තියෙන්නෙත් ඒ මිත්‍යාදෘෂ්ටියම ද? බලන්න බුදු දහමට ඇතුල්වෙන්ඩ කොයි තරං අමාරු ද කියලා? අපේ ත්‍රිපිටකයේ තියෙනවා යමක කියලා සූත්‍රයක්. මේ යමක භික්ෂුවට ඇතිවුනා එක්තරා මිත්‍යාදෘෂ්ටියක්. ඒ තමයි "නිවන් දැක්කහම ආයේ නැද්ද" කියන කාරණාව. තීරණය කළේ නිවන් දැක්කහම ආයේ නැහැ කියලා, කවදාවත්ම නැහැ, නිවන් දැක්ක කෙනා කවදාවත්ම නැහැ කියලා සඳහන් කළේ. නමුත් භාග්‍යවතුන් වහන්සේම යමක සූත්‍රයේ දේශනා කරනවා එහෙම කිව්වොත් ඒක මිත්‍යාදෘෂ්ටියක් කියලා. හැබැයි ඒ කොහොමද කියන කාරණාව මම දැන් මේ දේශනාවෙදි පැහැදිලි කරන්න උත්සාහ ගන්නේ නැහැ. එහෙම උනොත් අපිට කාල වේලාවත් මදි වෙනවා, කාරණාව භාගයක් සාකච්ඡා කරලා නිමා කරන එකේ තේරුමක් නෑ. ඒකයි මම සඳහන් කළේ යමක සූත්‍රය කියවලා ඇයි එහෙම කියන්නේ කියන කාරණාව හොයාගන්න ඕනෑ. එහෙම නැති උනොත් අපි ඉදිරියට යමක සූත්‍රය පිළිබඳ සාකච්ඡාවක් කරමු ධර්ම දේශනාවක් හැටියට.

යමක භික්ෂුව නිවන් දැකීම යැයි ළාමක මිත්‍යාදෘෂ්ටියක් වන උච්ඡේදවාදය ගෙන සිටි අයුරු යමක සූත්‍රයේ දැක්වෙනවා. කෝරලයාගම සරණතිස්ස හිමි ඊට ප්‍රතිවිරුද්ධව සිතා නිවන් දැකීම යැයි ළාමක මිත්‍යාදෘෂ්ටියක් වන ශාස්වතවාදය ඉදිරිපත් කරන අයුරු ඉහත වීඩියෝවේ දැක්වෙනවා.

කෝරලයාගම සරණතිස්ස හිමි බොහෝම මිහිරි කටහඩකින් විස්තරාත්මකව ධර්ම දේශනා කරන භික්ෂූන්වහන්සේ නමක්. ගෙන ඇති මිත්‍යාදෘෂ්ටිය බැහැරලන්න එහිමියන්ට හැකි වේවා!

සබැඳි:

  1. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ ඛන්ධවග්ගයේ ඛන්ධසංයුක්තයේ ථෙරවග්ගයේ යමක සූත්‍රය
  2. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ සීලක්ඛන්ධවග්ගයේ බ්‍රහ්මජාල සූත්‍රය