පිටරට ඇති හොරකම් කළ ඩොලර් ලංකාවට ගේන්න උත්සාහ ගන්නා සිංහල භාෂාවේ සහ සිංහල ජාතියේ වටිනාකම නොදත් අපි එකයි සංවිධානය

අපි එකයි - We are one Sri Lanka

ලංකාවට ඩොලර් ගෙන ඒම ගැන ඉහත දැක්වෙන වීඩියෝවල අදහස් ඉදිරිපත් කරන ආචාර්ය චානක සේනානායක මහතාට සහ එතුමා නියෝජනය කරන අපි එකයි නම් සංවිධානයට සිංහල භාෂාවේ සහ සිංහල ජාතියේ වටිනාකම වටහාගන්නට බැරි වී ඇති බවයි පෙනෙන්නේ. මීට හේතුව නොමේරූ බුද්ධිය. වසර බොහෝ ගණනකට පෙර මටත් එවැනි අදහස් පැවතියා. පසු කලෙක වැඩි වැඩියෙන් බුදු දහමට නැඹුරු වූ විටයි ඒ පැවති මෝඩ අදහස් මා තුළින් පහව ගියේ.

සිංහල භාෂාව සහ සිංහල ජාතිය වටින්නේ හුදු අනන්‍යතාවයක් පවත්වාගෙන යෑමට නොවෙයි. තව ද සිංහල භාෂාව සහ සිංහල ජාතිය වටින්නේ අන් භාෂාවන් සහ අන් ජාතීන් යටපත් කිරීමට, ඒ මගින් බලය පවත්වාගෙන රටේ සම්පත් වැඩිපුර භුක්තිවිදීමට ද නොවෙයි. සංක්ෂිප්තව කියුවොත් සිංහල භාෂාව සහ සිංහල ජාතිය වටින්නේ මිනිසුන්ගේ බුද්ධි වර්ධනයට සිංහල භාෂාවෙන් සහ සිංහල ජාතියෙන් ලැබෙන අති මහත් පිටුවහල නිසා. මතු පරපුරේ බුද්ධි වර්ධනය වෙනුවෙන් කරන අනුග්‍රහයක් වශයෙනුත් සිංහල භාෂාව සහ සිංහල ජාතිය රැකගත යුතුයි.

හැබැයි ඉතින් බුද්ධි වර්ධනයට සිංහල භාෂාවෙන් සහ සිංහල ජාතියෙන් අති මහත් පිටුවහලක් ලැබෙනවා කියුවාම ඒ ප්‍රකාශය සෑහෙන දෙනෙකුට විහිළු සහගත ප්‍රකාශයක් ලෙසෙ පෙනෙන්න පුළුවන්.