කොළඹ කොටුව පෞද්ගලික බස් නැවතුම්පොළේ වැසිකිළි කාමර තුළට ගිය පිරිමින්ව කැමරාකරණය කරන පිරිමි

දෙදහස් විසි තුන වසරේ මාර්තු දොළොස් වන ඊයේ දින හවස්කාලයේ දුර ගමනක යෙදෙන්න වීම නිසා රාත්‍රී නමය හමාරට ආසන්නයේ පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස්නැවතුම්පොළ හරහා යෑමට මා හට සිදුවුනා. තවත් බසයකට මාරු වීමට පෙර සුළුදිය පහ කෙරුම පහසුවක් වේ යැයි සිතූ බැවින් මම එම බස්නැවතුම්පොළේ පැත්තකින් ඇති වැසිකිළියට ගොඩ උනා. මට කලින් යම් ගමනක යෙදෙන භික්ෂූන්වහන්සේ නමක් ඒ තුළට ගියා. ඒ එක්කම පසුපසින් මම ඒ තුළට ගියා. උන්වහන්සේ වැසිකිළි කාමරයකට ඇතුළු උනා. මම මදක් ඉදිරියට ගොස් මගේ අවශ්‍යතාවය ඉටුකර ගත්තා. ඉන් පසු ආපසු පැමිණීමට හැරුණු විට මම දුටුවේ වයස අවුරුදු විසි හයක්, විසි හතක් පමණ වන තරුණයින් දෙදෙනෙක් එකතුව ජංගම දුරුකථනයක් වැසිකිළි කාමරයක දොරට උඩින් අල්ලමින් වැසිකිළි කාමරය තුළ ඉන්නා පිරිමියාව කැමරාකරණය කරන බව. මට එකවර හිතුනේ වැසිකිලි කාමරය තුළට ගිය තමන්ගේම යහළුවෙකුට කොලොප්පම් කෙරුමට මේ තරුණයින් දෙදෙනා මෙසේ කරනවා වෙන්ඩ ඇති බව. ඒත් තවත් බලා සිටිමේදී මම දුටුවේ මේ පුද්ගලයින් දෙදෙනා එහි වූ සෑම වැසිකිළි කාමරයකම දොරට උඩින් ජංගම දුරකථනය අල්ලමින් කැමරාකරණය කිරීමට කටයුතු කරන බව. ජංගම දුරකථනයේ තිරය මත වැසිකිළි කාමරය තුළ සිටිනා පුද්ගලයින්ව දිස්වන බව මම යන්තමින් දුටුවා.

මේ පුද්ගලයින් මෙසේ කරන්නේ ඇයි? මම මදක් වික්ෂිප්ත උනා. එළියට පැමිණීමට දොර ආසන්නයට මදක් පැමිණ නැවත බැලීමේදී මේ පුද්ගලයින් දිගටම ඒ ක්‍රියාව කරමින් ඉන්නා බව මම දුටුවා. අන් මිනිසුනුත් එතැනින් එහා මෙහා යන ගමන්මයි මේ පුද්ගලයින් මේ ක්‍රියාව කරමින් සිටියේ.

මේ කරන දේ නුසුදුසු ක්‍රියාවක් යැයි සිතූ බැවින් අන් පිරිමින් එහා මෙහා යන අතරම මම ඔවුන්ගෙන් "ඇයි ඔය වීඩියෝ කරන්නේ?" යැයි විමසුවා. ඊට මට ලැබුණේ "යනවා යන්ඩ අයිසේ!" යන තර්ජනාත්මක ප්‍රතිඋත්තරය. අන් පිරිමින්ද එවිට එම පුද්ගලයින් දෙස බැලුවත් ඒ පිළිබඳ කිසිත් කීවේ නැහැ. මම තනියම ඔවුන් සමඟ රණ්ඩුවක පැටලී ඔවුන්ව යටපත් කළ හැකි බවක් මම දුටුවේ නැහැ. ඒ නිසා ඒ තර්ජනයෙන් පසු මම කට පියාගෙන එළියට පැමිණියා. ඒ වන විට වේලාව රාත්‍රී නමයයි විස්සයි. පසුව මම මගේ ඉතිරි ගමනේ යෙදුනා.

එම තරුණයින් දෙදෙනා රස්තියාදුකාරයින් බවක් දිස් වූයේ නැහැ. ඒත් කවර අරමුණකින් එසේ කරන්නට ඇති දැයි යන්න තවමත් මට ප්‍රහේලිකාවක්. සමහර විට ළාමක ආශාවන් නිසා එසේ කරන්නට ඇති. සමහර විට වැසිකිළි ගිය පුද්ගලයින්ගෙන් කප්පම් ලබා ගැනීමට එසේ කරන්නට ඇති. සමහර විට වැසිකිළි තුළ මත්කුඩු බොනවා දැයි සොයා බලන්න නොමනා උත්සායක් ගත් ආරක්ෂක අංශයකට අදාළ පුද්ගලයින් දෙදෙනෙකු වෙන්නත් ඇති. කුමන හේතුවක් නිසා කළත් එම පුද්ගලයින් කරමින් සිටි ක්‍රියාව බොහොම අශිෂ්‍ටයි, බොහොම අශීලාචාරයි.

මට මේ තරුණයින් දෙදෙනා ගැන අනුකම්පාවක් ඇතිවෙනවා. මේ වාගේ ළාමක ක්‍රියාවන් කරමින් මේ පුද්ගලයින් අනාගතයේ කවර සැපක් ලබන්නද? මට සිතෙන්නේ මෙවැනි ක්‍රියාවන් කර මොවුන් මරණින් මතු දැඩි දුක් විඳින ප්‍රේතයින් ලෙස ඉපදේවි යන්න. මරණින් මතු කෙසේ උවත් මෙසේ වූ ළාමක ක්‍රියාවක් කිරීමම මොවුන් වර්තමානයේම විඳින අභාග්‍යයක්. මේ තරුණයින් දෙදෙනාට මීට වඩා සැප ඇති අනාගතයේත් සැප විපාක ගෙන දෙන ක්‍රියාවන්හි යෙදෙන්න මේ ජීවිතයේදීම අවස්ථාව උදා වෙනවා නම් කෙතරම් අගනා ද?

අන් මිනිසුනුත් මේ වාගේ ක්‍රියාවන් සිදුවන විට හැකි පමණින් ඒවා වැළැක්මට කටයුතු කරනවා නම් තමයි හොඳ. ඒ අදාළ තරුණයින්ට දඩුවම් පැමිණවීමේම අදහසින් නොවෙයි. මෙවන් ක්‍රියාවන් සමාජයේ පැතිරුණු විට ඒවා මහත් ව්‍යසන ඇතිකරනවා. මෙවන් ක්‍රියාවන්ගෙන් දුකට පත්වන්නේ නොමනා ක්‍රියාවන්ට ගොදුරුවන අය පමණක්ම නොවෙයි, නොමනා ක්‍රියාවන් කරන අයත් වැඩි වැඩියෙන් දුකට පත්වෙනවා. ශ්‍රී ලංකා පොලිසිය උනත් අගතියට පත් පාර්ශවයක්ම පැමිණිලි කිරීම කළ යුතු යැයි (අදාළ සබැඳිය) නොහඟවා තිබුණා නම් මම මේ සිදුවීම ගැන පොලිසියට නිල වශයෙන් පැමිණිලිත් කරනවා. අදාළ තරුණයින්ගේ නොමනා ක්‍රියාව නිසා අගතියට පත් යම් පුද්ගලයෙක් පොලිසියට පැමිණිලි කරනවා නම් කලාතුරකින් හෝ සමහරවිට මවිසින් මේ තබන සටහන උපකාර වන්න පුළුවන්.

ආරක්ෂාව පිණිස අන් අයට මට කියන්න ඇත්තේ පොදු වැසිකිළි භාවිතයේදී පරික්ෂාකාරී වන ලෙසයි. වැසිකිළි කාමරයක් තුළට යෑමට පෙර අවට සැරිසරන්නන්, වැසිකිළි කාමරය තුළ කැමරා ආදිය ඇතිද යන වග, වැසිකිළි කාමර ඇතුලත පිටතට පෙනෙන පරිදි කණ්ණාඩි පවතිනවා ද යන වග, දොරවල් ආදියේ හිල් පවතිනවාද යන වග, වැසිකිළි කාමරය තුළ සිටින විට ඒ තුළට එබිකම් කරන්නට යම් යම් අය උත්සාහ කරනවා ද යන වග ආදිය ගැන සැලකිලිමත් වීම සුදුසුයි. වැඩි ආරක්ෂාවට දන්නා අයෙක් ළඟ පාතක සිටිනවා නම් අගෙයි. වැඩිහිටියන්ටත් මෙසේ සිදුවන එකේ ළමයින්ව යවනවා නම් දෙමාපිය නෑදෑ ආදී වැඩිහිටියන් ඔවුන්ගේ ආරක්ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වීම සුදුසුයි.

තවත් යමක් කීම වටිනවා. තමන් මෙවන් කරදරයකට පත්වෙනවාට අකමැති නම් අන් අයව මෙවන් කරදරවලට පත්වීමට ඉඩක් ඇති බවක් වත් දුටුවොත් ඒ අන් අයව ඒ කරදරවලට පත්වීම වැළැක්වීමට තමන්ගේ ආරක්ෂාව ගැනත් සලකා බලා හැකි පමණින් කටයුතු කරන්න.

අවසානයේ තවත් යමක් කීම වටිනවා. මෙවන් ක්‍රියාවන් කෙරුමට යොමු නොවන ආකාරයේ අවබෝධයක් මිනිසුන් තුළ ඇතිවන පරිදි ඔවුන්ව යහමඟට යොමු කිරීමට කටයුතු කරන්න. එයින් බොහෝ අයහපත් දෑ නැතිව යනවා, බොහෝ යහපත් දෑ සිදුවෙනවා.