වාසනාව අතහැරගන්නා මෝඩ පුද්ගලයින්ගේ ක්‍රියාවක් වූ නැකැත් බැලීම

නක්ඛත්තං පතිමානෙන්තං අත්‍ථො බාලං උපච්චගා
අත්‍ථො අත්‍ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා

අර්ථය නැකැත් බලන අඥානයා ඉක්මැ යෙයි. අර්ථය (අභිෂ්ට ප්‍රතිඵල ලාභය ම) බලාපොරොත්තු වන අභිවෘද්ධිය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද (නො යොදත් ම ය.)

- නක්ඛත්ත ජාතකය

මේ සිංහල හා දෙමල අලුත් අවුරුදු සමයේ තමන්ට සෞභාග්‍යය උදාවේවා යි පතමින් මිනිසුන් නැකැත් අනුව නොයෙකුත් ක්‍රියාවන්හි නියුතු වෙනවා. සඳ බැලීම, ස්නානය, ආගමික වතාවත්වල යෙදීම, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම, රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම, පැළ සිටුවීම ආදිය එම ක්‍රියාවන්ට ඇතුලත්. මීට අමතරව ගමන් බිමන් යෑම, දරුවන්ට අකුරු කියවීම, නිවෙස් සෑදීම, විවාහ කටයුතු ආදිය කරන විටත් නැකැත් අනුව කටයුතු කිරීමට බොහෝ දෙනෙක් උත්සුක වෙනවා. නැකැත් බලමින් කටයුතු කිරීම බුදු දහමට අනුකූල ද?

නැකැත් බැලීම බුදු දහමේ දැක්වෙන්නේ අඥාන ක්‍රියාවක් ලෙස. බුදු දහමේ නැකැත් බලන මිනිසුන්ව හඳුන්වන්නේ වාසනාව අතහැරගන්නා මෝඩ පුද්ගලයින් ලෙස. සියල්ල දන්නා, සියල්ල දක්නා භාග්‍යවත් සම්මාසම්බුදුරජානන් වහන්සේ සැප උපදවා ගැනීම පිණිස මිනිසුන් කෙසේ ක්‍රියා කළ යුතු ද යන්න පිළිබඳ දේශනා කොට තිබෙනවා. කර්මය, කර්මඵල අදහා දානාදී ක්‍රියාවන්හි නියුතුවීම මිනිසුන්ට මතු සැප විපාක උපදවනවා. යම් යම් අභිවෘද්ධීන් ඇතිකර ගැනීම පිණිස උත්සාහ කිරීම, විර්යයෙන් කටයුතු කිරීම ආදිය ද බුදුරජානන් වහන්සේ පසසනවා.

මතු සෞභාග්‍යය උදාකරන්නේ යැයි පිළිගත හැකි ක්‍රමවේදයක් පෙනෙන්න නොමැති, අඩුම තරමින් සෞභාග්‍යය උදාවේ යැයි දැනුමැති පණ්ඩිත පුද්ගලයින් වත් නොපවසා ඇති ක්‍රම පසුපස යෑමෙන් කුමක් ලබන්නද?

නැකැත් බලා කටයුතු කිරීමෙන් සෞභාග්‍යය උදාවේ යැයි යමෙක් හිතනවා නම් එය දෘෂ්ටි ආස්වාද මාත්‍රයක් පමණයි, එසේ කරන ක්‍රියාවන්හි යථාර්ථවාදී බවක් නැහැ.

තිසරණ සරණ යන පුද්ගලයින් කළ යුතු වන්නේ උත්සාහයෙන් වීර්යයෙන් කටයුතු කිරීම සහ නොපමාව කුසල් දහම් රැස් කිරීම. ඒ ක්‍රමය ඵලදායකයි.