තපෝවනයේ ආචාර්යයාගේ නාමරූප බේගල්

Submitted by Kamal Wickramanayake on

ඉහත දැක්වෙන්නේ "Thapowanaya(සිත නිවෙන තැන)" යන නම් ඇති යූටියුබ් නාලිකාවක පළව ඇති වීඩියෝවක්. එම වීඩියෝවේ නාමරූප ධර්මයන්ගේ මූලය මෙසේ වේ යැයි අධාර්මික විස්තර අඩංගු වෙනවා.

වීඩියෝවේ දැන්වීම් රූපයේ (poster image) "ධර්මය කියන්නේම සොබාදහමයි" ලෙස සඳහන් වෙනවා. එය එසේ වේ නම් අධර්මය යනු කුමක් ද? තව ද එය එසේ නම් ලොව නොනැසී පැවතියදී ධර්මය යම් කාලයකට පසු අතුරුදන් වෙනවා යැයි කියන්නේ කුමක් ද? මෙසේ සිතීමේදී "ධර්මය කියන්නේම සොබාදහමයි" කීම අසත්‍යයක් ලෙස දකින්න පුළුවන්.

වීඩියෝවේ එක් තැනක උඩුබැලි අතට ඉන්න දරුවෙකුගේ කන් ඇසීම පරික්ෂා කිරීමේදී දරුවාගේ කන අසල යම් ශබ්දයක් කළ විට දරුවා ගැස්සෙන බවත් එසේ වුවත් නාමරූප හටගෙන නැති බවත් පැවසෙනවා. එය අසත්‍ය ප්‍රකාශයක්. දරුවෙකුට යම් දැනීමක් හටගත්තොත් ඒ නාමරූප ධර්මයන්ගේ සම්පූර්ණ ක්‍රියාකාරිත්වය නිසාම තමයි ඒ දැනීම හටගන්නේ.

වීඩියෝවේ තවත් ඉදිරියට යන විට ඇසෙන් රූපයක් ගෙන නාමරූප ධර්මයන්ගෙන් එක් ධර්මයකුත්, පංචේන්ද්‍රියේ අනෙකුත් ආයතන හතරෙන් එකකින් දැනීමක් ලබාගෙන නාමරූප ධර්මයන්ගෙන් අනෙකුත් ධර්මයත් ගෙන අභ්‍යන්තරයේ නාමරූප සැකසෙන ආකාරයක් ගැන මනස්ගාතයක් විස්තර කෙරෙනවා. බුදු දහමේ ඒ ආකාර විකාරයක් විස්තර වන්නේ නැහැ.

නාම යනු මොනවාද, රූප යනු මොනවාද? ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්තනිකායේ නිදානවග්ගයේ අභිසමයසංයුත්තයේ බුද්ධවග්ගයේ ඇති විභඞ්ග සූත්‍රයේ ඒ පිළිබඳ මෙසේ සඳහන්ව තිබෙනවා:

මහණෙනි, නාමරූප කවරේ ද? වේදනා ය, සංඥා ය, චේතනා ය, ස්පර්ශ ය, මනස්කාරය ය යන මෙය නාම ය යි කියනු ලැබේ. සතර මහාභූතයෝ ද සතර මහාභූතයන්ගේ උපාදායරූප ද යන මෙය රූප ය යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ නාමය ද මේ රූපය ද යන මේ නාමරුප ය යි කියනු ලැබේ.

ත්‍රිපිටකයේ එම විස්තරයට අනුව ගත් විට ඇස කී පමණින් එය රූපයට අයත් වෙනවා. ඇසෙන් පෙනෙනවා යැයි කී විට නාම ධර්මයන්ගේ ක්‍රියාකාරිත්වයත් අඩංගු වෙනවා. ඒ හේතුවෙන් උඩුබැලි අතට ඉන්න කුඩා දරුවෙකු වුවත් ඇසින් දැක්කොත් ඒ තුළ සම්පූර්ණ නාමරූප ක්‍රියාකාරිත්වයක් පවතිනවා. කනින් යමක් ඇසුවොත් ඒ තුළත් නාමරූප ධර්මයන්ගේ සම්පූර්ණ ක්‍රියාකාරිත්වය පවතිනවා.

තපෝවනයේ ආචාර්යයාගේ නාමරූප විග්‍රහය බුදු දහමට නොගැළපෙන ප්‍රලාපයක්.

තපෝවනයේ ආචාර්යයාගේ යූටියුබ් නාලිකාවේ අහවල් අහවල් පුද්ගලයින් ධර්මයෙන් සැනසුනු බව කියැවෙන වීඩියෝ බොහෝ ප්‍රමාණයක් පළ කොට තිබෙනවා. මේ වාචාල පුද්ගලයාගේ ප්‍රලාප ඇසීමෙන් ලැබෙන මොන සැනසීමක් ද? අහවල් අහවල් පුද්ගලයින් අධර්මයෙන් රැවටුනා කියලා තමයි කියන්න වෙන්නේ.